Search This Blog

Sunday, July 1, 2018

උත්තුංග වු පිය සෙනෙහසට තිතක් නොව කොමාවක්

උත්තුංග වු පිය සෙනෙහසට තිතක් නොව කොමාවක්,,,,

සාහිත්‍යකරුවන් අතර දැකිය හැකි සුලබ ප‍්‍රවණතාව වන්නේ ව්‍යවසනකාරි සමාජ අවස්ථාවන්, පීඩාවට පත් ජන කොටස්, මංකොල්ලකරුවන්, ගණිකාවන් වැනි අපගාමිකයින් උද්දීපනය කොට එක්තරා සමාජ සත්‍යතාවක් මතු කරීමයි. වේගයෙන් සමාජ සංචලතාවට බඳුන්වන සමාජය එම  වෙනස්වීම් හමුවේ බිඳ වැටෙන ජිවිත හා කඩා වැටෙන ආයතන යලි නගා පිහිටුවීමේ සාහිත්‍යයික ක‍්‍රමෝපායන් නූතන කලා විචාරකයින්ගේ අවධානයට පාත‍්‍ර වීම වඩාත් යහපත් සමාජ පරිසරයක සහනදායි,  සහනශීලි මිනිසුන් නිර්මාණය කිරිමට අවශ්‍ය පසුතලය සැපයිමයි.
නවිකරණ ක‍්‍රියාවලිය හේතුවෙන් අපගෙන් දුරස්ථව යන ඇගයීම් පද්ධති යම් ප‍්‍රමාණයකට හෝ සමාජ දේහයේ රදා පවත්වා ගැනීමට සාහිත්‍යකරුවාට යම් මෙහෙයක් කළ හැකිය. එසේම සොබා දහම හා මිනිසා අතර හෘදයාංගම ගණුුදෙනුව ඇති වී ඇති පරතරය අවම කිරිමට සාහිත්‍යකරුවෙකුට විශාල මෙහෙවරක් කිරිමට ද අවකාශ උදා වී තිබේ. සමාජ ක‍්‍රියාවලිය හා ඉන් අත්විය හැකි ප‍්‍රතිඵල ගැන සිංහල සාහිත්‍යකරුවෝ සවිඥානිිකව සිටිත් ද ? ඔවුන්ගේ නිර්මාණවල මේ සමාජ චල්‍යතා ප‍්‍රතිරාව දෙන්නේ් ද ? ඔවුන් මේ වෙනස්විම් ග‍්‍රහණය කොට ඇත්තේ කුමන ස්වරූපයෙන් ද ඔවුුන් ග‍්‍රහණය කොටගත් සමාජ යථාර්තය සෞන්දර්යාත්මකව, සත්‍යවාදීව සන්නිවේදනය කොට ඇත්තේ කෙසේ ද යන්න සුනිල් එදිරිසිංහ විසින් ගායනා කළ රත්න ශ‍්‍රී‍්‍ර විජේසිංහයන් විසින්  පබැදුණු නිදර්ශණයක් ඇසුරින් විද්‍යමාන කළ හැකිය.

                        චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ
                        මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
                        පාන නිවුණ සේ පාළුයි ලැයින් කාමරේ
                        මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

                                   ලාබ රත්තරං දිලිසෙන පාළු වීදීයේ
                                   ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
                                  උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
                                  අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ

                         මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
                         මාල ගිරවු ගේ දොරකඩ සිංදු කිවු වෙලේ
                         හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ
                         පාර මතකනම් තාමත් ගේ ළඟයි දුවේ....

බැලූ බැල්මට මෙය සරල ගීතයක් ලෙස පෙනුන ද වැදගත් සමාජීය කරුණක්, සමාජ යථාර්තයක්, සමාජ සත්‍යතාවක් මේ තුළ ගැබ් වී ඇත. ඈත අතීතයේ සිංහල ජන සම්ප‍්‍රදායි හා බැඳුණු සංස්කෘතිය, සමාජ සාරධර්ම, සිරිත් විරිත් නවීකරණය හමුවේ දෙදරුම්කෑමකට ලක් වි හමාරය. අතීත සදාචාර සම්පන්න ආචාර ධර්ම රටාවකට අනුව පෝෂණය වු විවාහය අද වන විට සිදු වන්නේ සියළු සමාජ සන්තාපයන් පසෙකලා තරුණ තරුණියන්ගේ අභිමතය පරිදිය. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි  යන චතුර්විධ සංකල්පයෙන් පෝෂණය වු හෙළ සංස්කෘතියේ විවාහය සිදු වුයේ දෙමාපියන්ගේ ආශිර්වාදය, සොබාදහමේ ආදර්ශය ලබමින් චාරිත‍්‍රානුකුලවය. එයට කදිම නිදසුනක් ලෙස,

                                     කුලගෙදරින් දුම්බර කඳුවැටියේ පතිකුලයට අද
                                     කැන්දන් එනවා දුම්බර මැණීකේ
                                     මනුකුල සිරිතට පති කුලයට අද
                                     කැන්දන් එනවා දුම්බර මැණීකේ ............
                                    වාසනාවන් ............ හරි වාසනාවන් .............
                                    වාසනාවන් ............ හරි වාසනාවන් .............

අතීත සම්ප‍්‍රදාය තුළ මෙවන් විවාහ සිදු වුයේ දෙමාපියන්ගේ මග පෙන්වීම් ඔස්සේය. පතිව‍්‍රතාව වු කල්හී අතීත සමාජය තුල ගැහැනියකගේ පවිත‍්‍රතාවේ කැඩපත බඳුවිය. එම නිසා මනුකුල සිරිතට අනුව මෙම විහාහය සිදුකරමින් දෙමාපියන් නෑදැ හිතවතුන් පමණක් නොව සොබාදහම ද වාසනාව, සශ‍්‍රීකත්වය, සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරයි.

නමුත් නවීකරණය හමුවේ දොරට වැඩි නව මාධ්‍ය සංස්කෘතිය නිසාම අද වන විට අත්තනෝමතිකව සිදුකර ගන්නා විවාහ කොතෙකුත් අධ්‍යතනය වන විට අපට අසන්නට දකින්නට ලැබේයි. දස මසක් කුස දරා තුනුවගෙහි රුධිරය කිරට හැරවු මවටත්, මහමෙරක් තරම් ආදරය සෙනෙහස හද පතුලේ හුවාගෙන, ඇති දැඩිකල පියාටත් අනේකවිද දුක්ඛ දෝමනස්නයන් ලබා දී නොදැමුණු ලෙසින් පේ‍්‍රම සම්බන්ධතා ඇති කොටගෙන ජීවීතයේ විදීන්නට ඇති සතුට විඳවීමක් බවට පත් කරගත් දියණි වරුන්ගේ, පුතණුුවන්ගේ දුක්ඛිත කතා කොතෙකුත් ඇත.

නවීකරණ කි‍්‍රයාවලියත් සමග අපගෙන් සෑහෙන දුරස්ව ගොස් ඇති දෙයක් නම් සොබාදහම පිළිබද සංවේදීතාවයයි. මිනිසා සොබාදහමට එරෙහිව කටයුතු කිරීමේ අනිෂ්ඨ ප‍්‍රතිඵල ඇස්පනාපිට අත්දකිමින් සිටින යුගයක් ලෙස මේ යුගය හදුන්වා දිය හැකිය. සම්ප‍්‍රදායික සමාජයේ සමාජ හර සියල්ලම පාහේ ගොණු වී පැවතියේ සොබාදහමට එකග අන්දමටයි. එසේ වුවත් නුතන යාන්ති‍්‍රක යුගයේ සොබා දහමේ සියල්ලටම මූල්‍යමය වටිනාකමක් හිමිව ඇත. මිනිසෙකු සතුව පවත්නා මානුෂිකත්වය අපට මිල කළ හැකිද? නමුත් අධ්‍යතනය වන විට මිනිසත්කම රුපියල් සත වලට අභියෝග කොට හමාරය. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් විඳිමින් ආදරණිය මැණියන් සහ පියාණන් තම දරුවන් පෝෂණය කරනුයේ අහිංසක දහසකුත් බලාපොරොත්තු කරපින්නාගෙනය. නමුත් ජිවිතයේ මිල කල නොහැකි වටිනාම බුදුවරුන් වැනි දෙමාපියන්ගේ ජීවිත කඳුළින් පුරවා දියණිවරුන් අත්තනෝමතිකව විවාහයන් සිදු කිරිම, විශ්වාභිමුඛ ලෝකයේ සුලභ අත්දැකිම් මාලාවට එක් වි හමාරය.

සාර්ථක පවුලක් උදෙසා දරුවන් සඳහා දොමාපියන් විසින් කළ යුතු කාර්යයන් ගණනාවක් වේ. එනම් මවගෙන් සහ පියාගෙන් දරුවන්ට යහපත් මගපෙනවීමක් ලැබිය යුතුය. දියණිවරුන්ට, අම්මාවරුන්ගෙන් තම ජීවිත ගමන සාර්ථක කර ගැනීමට ලබා ගත හැකි දායාද බොහෝය. අම්මා යන අකුරු ත‍්‍රිත්වය තුළ ගැබ්ව ඇති ගුණ දහම් සාගරය විශ්වකෝශයක් බඳු වේ. අම්මාගේ ගුණ කීමට සිංහල හෝඩිය තුළ අක්ෂර ද ප‍්‍රමාණවත් නොවන තරම්ය. බිහිවුවත් කොතරම් අමරණීය පෙම් අන්දර අප විශ්වතලය තුළ කෙදිනකවත් අම්මාගේ සෙනෙහසට දෙවෙනි කරන්නට තරම් සෙනෙහසක් උත්පාදනය විය නොහැක. තම දරුවන්ට වරදින සෑම අවස්ථාවකම ළගින්හිඳ සවිමත් කරන්නට නොමියෙන පහනක් ලෙසින් තම දරුවාගේ මුලු විජිතයම රජ කරවන්නට, අලෝකමත් කරන්නට දැයේ දහසකුත් මව්වරු අනෙක විධි දුක්ඛ දොමනස්සයන් විඳිති. විඳවති. එහෙත් අම්මා නොමැතිව දරුවන් රැක බලා ගන්නට කොතරම් අසීරුද ? ජීවිතයේ සියලු හර පද්ධතීන් අතැඹුලක් කරමින් අම්මා තම දරුවන්ගේ ජිවිත සුචිත මුදිත කරනුයේ, ජීවිතය නම් වු විශ්වය තරණය කිරිමට ශක්තියක් වෙමිනි. එහෙත් මව අහමි වූ කල්හි දරුවන්ටත්, පියාටත් අත්වන ඉරණම කවර ආකාර වේද ?

ගහට පොත්ත සේ, මුහුදට රළ සේ, ඉරට චන්ද්‍රයා සේ බැඳී පිහිටියා වු තම ශක්තිය මිය ගිය කල්හි පියෙකු තම එකම දියණිය අනේක විධ දුක් ගැහැට විඳිමින්, දහදිය වගුරවමින් පෝෂණය කර අවසානයේ එම දියණිය තම සෙනෙහෙබර පියාණන්ටවත් නොකියා ජිවිතයේ වැදගත්ම තීන්දුව නොවැදගත්ම අයුරින් ගත් ආකාරය පිළිබඳ ශෝකාලාපයක් සුනිල් එදිරිසිංහ මනාව වා තලයට යොමු කරයි. චන්ද්‍ර මණ්ඩලේ ගීතය තුළ ගැබ්ව ඇත්තේ ගාල්ල ප‍්‍රදේශයේ සිදු වු සත්‍ය සිදුවීමකි. මෙම දියණියගේ මව කුඩා කාලයේදිම රෝගාතුර ව මිය යයි. එතැන් පටන් දියණියට මව වුයෙත් පියාණන්මය. විශ්ව ශක්තිය සේ බැඳි  සිටියා වු තම එකම පතිනිය මිය ගිය කල්හී මෙම දියණිය පෝෂණය කරීමට පියාණන් දහඩිය වගුරුවමින් අති විශාල දුක්ඛිත කර්යන් සිදු කරයි. නමුත් මෙම දැරියගේ මව දියණිය මෙලොවට බිහි කරද්දී කොතරම් බලාපොරොත්තු සිත තුළ පොදි බඳින්නට ඇත්ද? මල් කැකුළ නැති වී මලක් පිපෙන්නා සේ මල පරවි ගෙඩියක් හට ගන්න සේ, මේරූ ගෙඩියක් වැනසී අංකුරයක් හට ගන්නා සේ මරණයට මුහුණ දෙමින් මව් කෙනෙකු දරුවෙකු බිහි කරයි.

චන්ද්‍රමණ්ඩලේ ගීතයට කථාවස්තු වූ කථාංගයේ දියණියට මව අහිමිවීම, ඇයගේ ජීවිතයේ ලද උත්තරීතරම රැජින අහිමි වීමකි. තම දියණිය මෙලොවට බිහිකරන විට දැණුනු වේදනාව, මිහිරි සෙත් කවියක් සේ සිතමින් තම සිඟිති දියණිය දුටු පසු මව අප‍්‍රමාණික සතුටක් ලබන්නට ඇත. ඇය ඉපදුන දින පවිත‍්‍ර යුවතියක සේ මනුකුල සිරිතට අනුව යුග දිවියකට ප‍්‍රවිෂ්ඨ කරවීමට සිත්හී රූවා ගන්නට ඇත. නමුත් නොසිතු විටෙක මව මිය යාමෙන් දියණිය ජීවිතයේ ලැබිය යුතු සෙනෙහස, ගුණධර්ම අතර මගදී අහිමිවුවාක් බදුය. දරුවාගේ යහපත ඉටුකර දෙන පන්සල අම්මාය, දරුවාගේ නොයෙක් දුක් ගිණි අසා සිිටින දෙවොලත් අම්මාය. දරුවාගේ කුසට ආහාර දෙන කුඹුරත් අම්මාය. නමුත් මෙම දියණියගේ මව මරණයට පත්වීමෙන් ඇයගේ දුක් පවසන්නට සිටි එකම යෙහෙලිය, අහමි වුවාක් බදුය. එම නිසාම ඇය පියාටවත් නොපවසා ජිවිතේ වැදගත්ම තීන්දුව නොවැදගත් අයුරින් සිදුකරයි. 

පියෙකුගේ සිත තුල තෙරපෙන, කැකෑරෙන දුක, වේදනාව, කදුල, ශෝකය මෙම ගීතය පුරාවට ශෝකාලපයන් ලෙසින් මුදාහැරෙයි. අම්මා ඉපදී ඇත්තේ, කඳුලූ කුලයේය. ඒ නිසා ඇගේ දෙනෙතට කඳුලූ ආගන්තුක නැත. එහෙත් ඇයගේ හදවතේ තමන් වෙනුවෙන් කඳුලූ ඉනුවේ නැත. ඇගේ දෙනෙතින් වැගිරෙන සෑම කඳුලක්ම වැටුනේ තව දරුවන් වෙනුවෙනි. එහෙත් පියවරු එලෙසින් සෑමවිටම කදුලූ හෙලන්නේ නැත. කොතරම් දුක්, කඳුලූ, බාධක පැමිණිය ද, මහ පොලව සේ සියලූ දුක් දරා සිටියි. නමුත් දෙනෙත වන් තම දියණියට මව වී ඇය දැඩි සෙනෙහසින්, දයාවෙන් පෝෂණය කළ පසු එක් වර පැමිණි චණ්ඩ මාරුතයක් සේ ඇයව අහිමි විම නිසා පියාණන් කොතෙකුත් නම් හඩන්නට ඇත් ද? දරුවන් පිළිබද අම්මාගේ හදවත තුළ ඇති ආදරය, ස්නේහය, අසිරිමත්ය. පියවරුන්ගේ ළයට වඩා මවුවරුන්ගේ ළය මොලොක් බව විද්‍යාචක‍්‍රවර්තීන් පවසා ඇත. එයට හේතුව විය හැක්කේ මහපොළව සේ සියලූ අනේකවිධි දුක්ඛ දෝමනස්සයන් තම සිත් තුළ රදවාගෙන ලෝකයා අභිමුඛ පර්වථයක් සේ නොසැලි සිටි නියාව නිසාය. නමුත් තම දියණිය නාගරීකරණය වු නව පියසකට නොපවසා ගිය නිසාම පියා කඳුලූ වගුරවමින් හුදකලා වී සිටියි. ජීවිතයේ තවත් එක් සතුටුදායක කාලසීමාවක මෙම පියාණන්ට තම පතිනිය අහිමි වෙයි. නමුත් තම පතිනිය නැති දුක, වේදනාව, තනිකම පහව ගියේ ඇයගේ කැඩපත බඳු දියණිය තමා අසලම රැදුණු නිසාවෙනි. නමුත් ඇය ද අහිමි වු කළ පියතුමෙකුගේ හදෙහි දෝංකාර දෙන වේදනාව මෙපමණ යැයි කිවහැකි වනුයේ කෙසේද ?

සංකේත භවිතයට යොමු වු රත්න ශ‍්‍රි විජේසිංහයන් සිදාදියේ නිතර ගැවසෙන තරුණයන් ලාභ රත්තරන්වලට සමාන කොට දැක්වුයේ, ගුණධර්ම වලින් හීන දියණියගේ ජීවිත ශෝකාලාපයක් බවට පත් කරවන සල්ලාලයින්ටයි. මෙය ගැඹුරු සමාජ යථාර්ථයකි. මෙලෙස ගුණධර්ම වලින් හීන ව්‍යාජ පුද්ගලයින්ට හසු වීම නිසා අද වන විට නීති විරෝධි ගබ්සා කිරිම් වසරකට 290,000 ක් පමණ සිදු වන බව නවීන සමීක්ෂණ මගින් හෙළි වී ඇත. එනිසාම මෝරා එන දුක්ඛිත තත්වයන්,

                                        උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුණේ
                                       අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ .....

සුදු යකඩ වලින් සමාජයට ලබාදෙන ව්‍යංගාර්ථය නම්, මිල අධික රත‍්‍රං, මුතු, මැණික් බහුල සමාජයේ සුදු යකඩ
සදහා නියම වෙන මිල ඉතාමත් අඩුය. සුදු යකඩ දීප්පතියෙන් ආලෝකයෙන් අඩුසේම, සුදු යකඩ මාල පලදින්නන් සමාජය දකිනුයේ උගත් කමින් තොර පුද්ගලයන් ලෙසය. මන්ද සුදු යකඩ මාලවලට සේම, සුදු යකඩ මාල පලදින්නන්ට සමාජයේ නියම වනුයේ අඩු තක්සේරුවකි. රත‍්‍රං, මුතු, මැණික් වන් වු යහපත්, උගත් මිනිසුන් සිටින සමාජයක සුදු යකඩ මාලයක තරම් අඩු තක්සේරුවක් ඇති පුද්ගලයෙකු සමග තම දියණිය ජීවිතයේ සුන්දරම කාලසීමාව ආරම්භ කිරීම පිළිබද පශ්චාත්තාපයෙන් පසුවෙයි. තම දියණිය තම නිවසේ සිටින කල පියානන්ට ඇය සුපිපුණු රෝස කුසුමක් තරමට පියකරුය. පවිත‍්‍රය නමුත් සුපිපුණ කුසුමේ පෙති කඩා දමන්නට, රොන් ගෙනයන්නට උරුවන් බාමින්, සිංදු කියමින් සල්ලාලයින් නිරන්තරයෙන් ගැවසුනද, පියානන්ගේ හෘද සාක්ෂිය සිහිනෙන්වත් තම දියණිය අවිස්වාසයක් තැබුවේ නැත.

                              පාර මතක නම් තාමත් ගේ ළගයි දුවේ....

 දෙමාපියන් නම් දරුවාගේ කවර වරදක් ඇතත් මොළොක් අදහස් ඇත්තෝය යන්න කිවයුතු මනාය. පියාණන්ගේ චිත්ත සන්තානය තුළ බුර බුරා නැග එන දුක්ඛ දෝමනස්සයන් රත්න ශ‍්‍රි විජේසිංහයන්  දැයේ දහසකුත් දියණිවරුන් අභියස තබනුයේ පීතෘත්වය පිළිබද නොකිවු කතාන්දරයක්   පාර මතක නම් තාමත් ගේ ළ`ගයි දුවේ” යනුවෙන් ස්වල්ප වචන කිහිපයකට කැටි කොට දක්වමිනි. මවුන් තරමටම පියවරුන්ගෙද මෘද්‍ර වන බව රත්න ශ‍්‍රි විජේසිංහයන් දක්වනුයේ,

                              පිය සෙනෙහසට කවි ගි ලියවුණා මදි....... 

යන නොක්කාඩුවද නැවතත් ත්‍රිවුර කරමිනි.

සමාජය විනිවිද දැකිම නැතහොත් සියුම් ලෙස අවබෝධ කර ගැනිම යනු අතිශය සුක්ෂම සංවේදී කාරණයකි. අප නොමග යවන සාවද්‍ය සංසිද්ධින් නිරවද්‍ය සත්‍ය කාරණය ලෙස පෙනී යාම මෙහිදී වෙසෙසින්ම සඳහන් කළ යුක්තකි. පෙනෙන දෙය තුළින් නොපෙනෙන හඳුනාගත නොහැකි ප‍්‍රපංචයනුත් අතර ඇත්තේ අහසට පොළව මෙන් ඉතාම දුර සම්බන්ධතාවක් බව පැහැදිලිය. මෙම සංකිර්ණ සමාජ රටාව තේරුම් ගැනිමට උපකාරී වන අසිරිමත් දැනුම්  වේදයක් ලෙස කලාව හා සාහිත්‍ය හඳුන්වා  දිය හැකිය. එක් අතකට සාහිත්‍යනරුවෙකු කරන්නේ සමාජය සමග සංවාදයකි. එම සංවාදයේ පුද්ගලයින් තේරුම් ගැනිම මෙන්ම ඔහුන් නිශ්චිත අරමුණක් වෙනුවෙන් හැඩගැසිම ගීත සාහිත්‍යයට කළ හැකිය. අනෙක් අතට එම සංවාදයේ දී කුමන හෝ සමාජ චල්‍යතාවක් හඳුනාගත හැකි වීම ද වැදගත් වේ. පුද්ගලයාගේ ආකල්ප හෝ සමාජයේ පවතින සංස්ථාවන් යන දෙඅංශයේම දැකිය හැකි මේ චල්‍යතාව නැත්නම් විපරිණාමය පෙරළා මිනිස් ජීවිතවලට බලපාන්නේ කෙසේද යන කරුණ සාහිත්‍යකරුවා අතින් සුක්ෂ්ම ලෙස විවරණය වන බව සත්‍යයකි. කලාව හා අලංකාරය සම්බන්ධ සංකල්ප සහ මත සෞන්දර්ය යන්න තීන්දු වේ. කලාව හා මානව සමාජය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව මානව ජිවිතයේ ආරම්භයේ සිටම දැකිය හැකිය. බිළිදෙකු වැඞී වර්ධනය වන්නේ මවකගේ ලයාන්විත ගීයක් රසවිදිමිනි. එතැන් පටන් මරණය දක්වාම අපට මුහුණ දීමට තිබෙන සෑම සිදුවිමක්ම සමග බැඳුණු කලාවක්, සාහිත්‍යයක් මිනිසා සන්තකව පවතින බව සත්‍යයකි. කිසිදු වර්ගීකරණයකින් තොරව සෑම මිනිසෙක්ම සාහිත්‍යයට, කලාවට ආසාවක් ඇති වන්නේත්, ආදරය කරන්නේත් මෙසේ සාහිත්‍යයේ පවත්නා සර්වව්‍යාපී ගුණය නිසාය. මෙහි දී ලේඛකයාත්, කෘතියත්, පාඨකයාත් සමාජ පරිස්ථාතියක් අතර පවත්නා අන්තර් සම්බන්ධය හෙවත් ගී සාහිත්‍ය සන්නිවේදනය වැදගත්ය. රෝලන්ඞ්බාත්ගේ ආකල්පය වුයේ, පාඨකයාගේ පුනරුත්පත්තිය සමග කතුවරයාගේ මරණය සිදු වී ඇති බවය. ඉන් ඔහු අදහස් කළේ පාඨකයාට සන්නිවේදන කාර්යභාරය කිරිමත් සමග කතුවරයාට සාහිත්‍ය කෘතියක අර්ථය පාලනය කිරිමට ඇති බලය අඩු බවය.

සාහිත්‍ය හා සමාජය අතර පවත්නා උක්ත අවියෝජනීය බැදිම නුතන තාක්ෂණය හා විද්‍යාත්මක ආවිෂ්කරණය මගින් සවිමත් තත්වයට පත් කිරීම ද මේ සමගම අවධාරණය කළ යුක්තකි. මෙලෙස කලාව, නුතන තාක්ෂණය හා සමිප වන විට සමාජ සාරධර්ම දෙදරුම් කෑමකට ලක් වී හමාරය. ඒ නිසා තම පැවැත්ම සුරක්‍ෂිත කර ගැනීමට නම් පොදුවේ මානව පරපුරේ සුබසිද්ධිය පිළබද අවධානය යොමු කළ යුතුය යන තැනට නුතන මිනිසා පත්ව ඇත. සාහිත්‍යකරුවා මෙම ගුණය නුතනයේ කේන්ද්‍රීය සංරචනයක් බවට පත් කරගෙන ඇත. ඉහත සාකච්චා කළ ආකාරයට   චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ  ගීතය  සමාජ සංවිධානයේ එක් සත්‍ය සිදුවිමක් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමකි.

                               උත්තුංග වු පිය සෙනෙහසට තිතක් නොව කොමාවක්,,,,,,,,,,,






-- චාමලී වනිගසිංහ --

2 comments: