Search This Blog

Tuesday, July 17, 2018

ලොව වටා තොරතුරු ඔබේ දැනුමට .....


පොදු වශයෙන් චීනය ලෙසින් හැදින්වෙන චීන මහජන සමූහාණ්ඩුව යනු බිලියන 1.3 ට වැඩි ජනතාවක් වෙසෙන ලොව වඩාත්ම ජනාකීර්ණ රාජ්‍ය වෙයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි පක්ෂ රාජ්‍යයකි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළාත් 22ක් මතද ස්වතන්ත‍්‍ර ප‍්‍රදේශයන් පහක් මතද සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප‍්‍රදේශයන් සතරක් (බෙයිජිං, ටියාජිං, ෂැංහයි, සහ වොංකිං) මත ද විශේෂ පරිපාලන ප‍්‍රදේශයන් දෙකක් මත ද සිය ආධිපත්‍ය පතුරුවයි. එහි අගනගරය බෙයිජිං වෙයි. චීනයේ නිරපේක්ෂ පිහිටීම අනූව අක්ෂාංශ අංශක 22.210928 ද දේෂාංශ අංශක 113552971 ද චීනය පිහිටයි. සාපේක්ෂ පිහිටීම ගත් විට මෙය ස්වාභාවික ආරක්ෂකයන් පිරිවරාගත් මහා ක්ෂේම භූමියක් වැනිය. දකුණ සහ නැගෙනහිරත් පැසිෆික් සාගරයත් බටහිරින් මොංගෝලියානු සානුව , උතුරු ගෝබි කාන්තාරය ඊසාන එවරස්ට් ලෙස හදුනා ගත හැක. වර්ග කිලෝ මීටර් මිලියන 9.6ක පමණ භූමි ප‍්‍රමාණයකින් යුක්ත චීනය සම්පූර්ණ වර්ග ප‍්‍රමානය අතින් ලොව 3 වැනි හෝ 4 වැනි තැන ද ගොඩබිම් ප‍්‍රමාණය අතින් ලොව 2වනි තැන ද ගනී. ලොව පැරණිතම ශිෂ්ඨාචාරයක් වූ චීන ශිෂ්ඨාචාරය උතුරු චීන තැන්න හරහා ගලා බසින කහ ගගෙන් පෝෂණය විය. වසර 6000කට වැඩි කාලයක් තිස්සේ චීන දේශපාලන ක‍්‍රමය පදනම් වූයේ පාරම්පරික රාජාණ්ඩු ක‍්‍රමයක් මගිනි. මේ අතරින් පළමුවැන්න කි‍්‍ර.පූ 2000 පමණ තිබූ සියා රාජවංශය වුවද චීනය මුලින්ම එක්සේසත් කළේ කි‍්‍ර.පූ 221 දී කින් රාජ වංශය විසිනි.අවසාන රාජ වංශය වූ කිං රාජ වංශය 1911දී සමාප්ත වූයේ කූඹිමින්ටැං හෙවත් චීන ජාතික පක්ෂය විසින් චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් පසුවයි. රට කූඹිමින්ටැං සහ කොමියුනිස්ට් යනුවෙන් දේශපාලන කදවුරු 2ට බෙදීම නිසා 20 වන සියවස මුල් භාගයේ චීනය අසමගියෙන් සහ සිවිල් යුද්ධ වලින් පිරී පැවතිණි. තුරින් පාලනය හා චීනයේ දුර්වලතාවය හේතුවෙන් තරුණ නිලධාරීන් හමුදා නිලධාරීන් හා ශිෂ්‍යයන් සුත් යන් සෙන් ගේ විප්ලවීය අදහස් මත කුයින් රාජවංශය බිද දමාසමූහාණ්ඩුවක් ඇති කිරීමට පියවර ගත්හ. චීනයේ වහල් සේවය 1910 දී අහෝසි කරන ලදි. 1912 මාර්තු 12 නැන්ජින්හ සංසැන් සෙත් ජනාධිපති යටතේ චීන සමූහාණ්ඩුව පිහිට විය. 1949 දී මෙම ගැටුම් අවසන් වූයේ කොමියුනිස්ට් පෙරමුණ සිවිල් යුද්ධයෙන් ජයගෙන චීනයේ ප‍්‍රධාන භූමි ප‍්‍රදේශයේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් අනතුරුවයි. කූඹිමින්ටැං පෙරමුණ විසින් තම චන සමූහාණ්ඩුවේ අගනුවර තායිවානයේ තායිපේ නුවර පිහිටුවා ගනු ලැබූ අතර දැනට එය මගාන් පාලනය වන්නේ තායිවානය කින්මෙන් මට්සු සහ තවත් කුඩා දූපත් කිහිපයක් පමණි. එතැන් සිට තායිවානයේ ස්වාධිනත්වය සහ දේශපාලන තත්වය පිළිබදව මහජන චීන සමූහාණ්ඩුව හා චීන සමූහාණ්ඩුව අතර දේශපාලන ආරවුල් ගහණ විය. 1949 ඔක්තෝම්බර් 01 දැ මා ඕ සේතුන් විසින් මහජන චීන සමූහාණ්ඩුව ප‍්‍රකාශයට පත් කරන ලදි. ඒ වගේම වර්තමාන චීනය පිළිබද කතා කිරීමේදී ජනාධිපති වශයෙන් ෂි ජින්ග්පින් හා අගමැති වශයෙන් ලී කචීයාං හදුනා ගත හැකිය. අගනුවර ලෙස බෙයිජිං ද විශාලතම නගරය ලෙස ෂැංහයි හදුනා ගත හැකිය. නිල භාෂාව සම්මත මැන්ඩරීන් වේ. රාජ්‍ය අක්ෂර මාලාව සරල චීන වේ. අතිතයේ පටන් වර්තමානය දක්වා හදුනා ගැනීමේදී රාජ්‍ය පාලන ක‍්‍රමය, චීනයේ ආර්ථික තත්වය, ආගමික සංසකෘතික හා සමාජීය වශයෙන් විශාල වෙනසක් චීනය තුළ ඇති වී ඇති බව මින් පැහැදිලි වේ.

චීනයේ ඓතිහාසික පසුබිම.

චීන ඉතිහාසය පිළිබද ප‍්‍රථම ලිඛිත වාර්තා හමුවන්නේ ක‍්‍රි.පූ 1500 තරම් ඈත දී ෂෑං රාජවංශය යටතේදීය. (ක‍්‍රි.පූ. 1600-1046 පමණ) ඓතිහාසික මූලාශ‍්‍ර වල ෂෑං රාජවංශයට පෙර පැවති ස්ථීර ලිඛිත මාධ්‍යයක් නොමැති වූ ශියා රාජවංශය (ක‍්‍රි.පූ.2070- 1600 පමණ) නම් රාජවංශය පිළිබද සදහන් වේ. වසර දහස් ගණනක අඛණ්ඩ ඉතිහාසයක් සහිත චීනය ලොව පැරණිතම ශිෂ්ඨාචාරවලින් එකක් ලෙස සැලකෙයි. එය ශිෂ්ඨාචාරයේ තොටිලි වලින් එකක් ලෙසද හදුන්වයි. ලොව පැරණිතම ශිෂ්ඨාචාරයක් වූ චීන ශිෂ්ඨාචාරය උතුරු චීන තැන්න හරහා ගලා බසින කහ ගගෙන් පෝෂණය විය.වසර 6000කට වැඩි කාලයක් තිස්සේ චීන දේශපාලන ක‍්‍රමය පදනම් වූයේ පාරම්පරික රාජාණ්ඩු ක‍්‍රමයක් මගිනි.මේ අතරින් පළමුවැන්න ක‍්‍රි.පූ 2000 පමණ තිබූ සියා රාජ වංශය වුවද චීනය මුලින්ම එක් සේසත් කළේ ක‍්‍රි.පූ 221 දී කින් රාජවංශය විසිනි. අවසාන රාජ වංශය වූ කිං රාජවංශය 1911දී සමාප්ත වූයේ කූඹිමින්ටැං හෙවත් චීන ජාතික පක්ෂය විසින් චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් පසුවයි. එ් අනූව ඉතිහාසයේ පටන් වර්තමානය දක්වා ප‍්‍රාග් ඓතිහාසික යුගය, පුරාතන යුගය, මහේශාක්‍ය චීනය, චීන සමූහාණ්ඩුව සහ මහජන චීන සමූහාණ්ඩුව ලෙස චීන රාජ්‍යය හදුනා ගැනීමට පුළුවන.

ප‍්‍රාග් ඓතිහාසික යුගය
  • පේලියොලිතික

මීට අවුරුදු මිලියන ගණනකට පෙර හෝමෝ ඉරෙක්ටස්ගෙන් චීනය ජනාවාස වන්නට ඇතැයි සැලකේ. යුවාන්මූ සහ පසුව ලැන්ටියන් ප‍්‍රදේශවල කැනීම් මගින් ආදිතම ජනාවාස වීම් හදුනා ගත හැකිය. චීනයෙන් සොයා ගනූ ලැබූ වඩාත් ප‍්‍රසිද්ධම හෝමෝ ඉරෙක්ටස් නිදර්ශකය පීකිං මිනිසා ලෙස හදුන්වනු ලබන අතර එය 1923-27 කාලයේ සොයාගෙන තිබේ. හුනාන් හි දාඹ් ප‍්‍රාන්තයේ ෆුයාන් ගුහාවෙන් සොයාගන්නා ලද ෆොසීලභවනය වූ හෝමෝ සේපියන්ස්ගේ දත් ක‍්‍රි.පූ. 125000- 80000 පමණ කාලයට අයත් යැයි සැළකේ.
  • නියෝලිතික

ක‍්‍රි.පූ. 10000 අවට කාලය චීනයේ නියෝලිතික යුගය පැවති සමයයි. චීනයේ මෙනේරි වගාවේ ඉතිහාසය ක‍්‍රි.පූ 7000 පමණ දක්වා දිවෙයි. වී වගා කළ ඇති බවට යැංසි ගංගාවෙන් පැරණිතම සාක්ෂි අනූව වසර 8000ක් පමණ පැරණි බව හෙළි වී ඇත. ගොවිතැන ජියාහූ සංස්කෘතියෙන් පිබිදීමට හේතු විය. නිංෂියාහි දමයිඞ් ප‍්‍රදේශයෙන් ගල් කැටයම් 3172ක් හමූ වී ඇති අතර එ්වා ක‍්‍රි.පූ. 6000-5000 අතර කාලයට අයත් යැයි සැළකේ. හෙනාන්හි ෂින්හෙං ප‍්‍රාන්තයේ පෙයිලිගැං සංස්කෘතික භූමියකින් ක‍්‍රි.පූ 5500 සිට 4900 අතර කාලයට අයත් ජනාවාස හමු වු අතර එම ස්ථානයේ කෘෂිකර්මය පිළිබද සාක්ෂි ගොඩනැගිලි ඉදිකිරිම් කුඹල් කර්මාන්තය සහ මියගිය පුද්ගලයන් භූමදානය කිරීම වැනි අභිචාර ක‍්‍රම පැවතී ඇත. ජනගහන වර්ධනයත් සමග කෘෂි කර්මාන්තය දියුණුවට පත් විය. බෝග ගබඩා කිරීම බෙදා හැරීමද දියුණු විය. පසුකාලීන නියෝලිතික සමයේ කහ ගංගා නිම්නය යැංෂාඞ් සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වූ අතර පළමු ගම් හමු විය. පසු කාලීනව යැංෂා ඕ සං අභාවයට පත් කරමින් ලොංෂාන් සංස්කෘතිය මධ්‍යගත විණ.
  • ලෝකඩ යුගය

ලෝකඩ යුගයට අයත් නිර්මාණ මජියායා ඕ සංසකෘතියෙන් හමු වේ. මීට අමතරව ලෝකඩ යුගයට අයත් මෙවලම් ඊසාන දිග චීනයේ පහළ ෂියා ජියාඩියන් සංස්කෘතියෙන්ද හමු වේ.

චීනයේ දේශපාලන පසුබිම
  • පුරාතන යුගය

පුරාතන චීනය පිළිබද හදුනා ගැනීමේදි පාලන තන්ත‍්‍රය ක‍්‍රියාත්මක වූයේ විවිධ වූ රාජ වංශ අනුවය.
  • ශියා රාජවංශය (ක‍්‍රි පූ2100- 1600 පමණ)

චීනයේ ඓතිහාසික වාර්තාවල විස්තර වන පැරණිම රාජ වංශය ශියා රාජවංශය නම් වේ. ශියා රාජවංශයේ ආරම්භය ක‍්‍රි.පූ. 2200 අවට සිදු වී ඇත. බොහෝ පුරා විද්‍යාඥයින් විසින් ශියා සහ මධ්‍යම හෙනාන් පළාතේ අර්ලිටොවු කැනීම් සමග සම්බන්ධයක් ගොඩ නැගීමට උත්සාහ දරනු ලබයි. හේතුව ක‍්‍රි.පූ. 2000ට පමණ අයත් ලෝකඩ උණුකළ මෙවලම් එම පෙදෙසින් සොයා ගැනීමයි. මෙම භූමියෙන් සොයාගත් මැටි බදුන් සහ කවචවල ඇති සලකුණු නූතන චීන අක්ෂරවල පූර්වජයන් ලෙස සැක කෙරේ. මිථ්‍යාවන්ට අනූව මෙම රාජ වංශය ක‍්‍රි පූ 1600 අවට මිංටියා ඕ හි සටනට සමගාමීව අවසන් වන්නට ඇත.
  • ෂෑං රාජවංශය (ක‍්‍රි පූ 1600- 1046 පමණ)

ක‍්‍රි පූ 1600- 1046 කාලයේ දී ෂෑං රාජවංශය පැවැත්ම ගැන කියවෙන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් කොටස් 2කි. මුල් කොටස ආදී ෂෑං යුගයට අයත් වේ. දෙවන කොටස අයත් වන්නේ පශ්චාත් ෂෑං යුගයටය. ෂෑං හි අග නගර නවය අතුරින් අන්තිම අග නගරය වූයේ අන්යංය. ෂෑං රාජවංශයේ රජවරු 31 රජකම් කරන ලදි. මෙහි අගනුවර සය වරක් මාරු කර ඇත. ක‍්‍රි පූ 1350 දී අවසන් අගනුවර ලෙසින් තෝරා ගැනුනු අතර එය රාජ වංශයේ ස්වර්ණමය යුගය විය. අංයංවලින් සොයා ගන්නා ලද ලේඛන ෂෑං රාජවංශයේ පැවැත්ම තහවුරු කරයි. එ් අනූව ෂෑං රාජ වංශය විසින්ම පාලනය කරන ලද අන්යං නගරය ප‍්‍රදේශයේ වෙනත් නානාප‍්‍රකාර සංස්කෘතික ජනාවාස සමග සමකාලීනව පැවතුණු බව හා ඔව්නොවුන් අතර වෙළදාමද සිද්ධ වුණු බවය.
  • ෂෝවු රාජ වංශය (ක‍්‍රි පූ 1046 - 256)

ෂෝවු රාජවංශය චීනයේ වැඩිම කාලයක් පැවති රාජවංශය ලෙස සැලකෙයි. ක‍්‍රි. පූ. 2වන සහශ‍්‍රය වන විට කහ ගංගා නිම්නයේ ෂෝවු රාජවංශය නැගී විත් ෂෑං රාජ්‍යය පුරා පැතිර ගියේය. ෂෝවු රාජවංශය යටතේ අර්ධ වැඩවසම් ක‍්‍රමයක් පැවති බව සැළකෙයි. ෂෝවුවරු ෂෑංවරුන්ට බටහිරින් ජීවත් වූහ. ෂෑං රාජවංශය විසින් ෂෝවු නායකයා බටහිර ආරක්ෂකයා ලෙස පත් කර ඇත. ෂෝවු හි පාලකයා වූ රජු සිය සොහොයුරා වූ ෂෝවුහි ආධිපාදවරයාගේ ආධාර ඇතිව මූ යේහි සටනේදී ෂෑංවරුන්ව පරාජය කළේය. ෂෝවුවරු සිය අගනුවර බටහිර දෙසට වෙයි ගග අසළ නූතන ෂියෑං ආසන්න පෙදෙසට විස්ථාපනය වු අතර එය යැංසි ගංගා නිම්නය තෙක් ව්‍යාප්ත විය. මෙය චීන ඉතිහාසයේ උතුරේ සිට දකුණට සිදු වූ සංක‍්‍රමණ අතරින් ප‍්‍රථම සංක‍්‍රමණයයි.
  • වසන්ත සහ සරත් සමය (ක‍්‍රි පූ 722- 476)

8 වන ශතවර්ෂයේ වසන්ත සහ සරත් සමයේ දී බලය විමධ්‍යගත විය. මෙම යුගය නම් කෙරුනේ වසන්ත සහ සරත් අනුවාර්ෂික වාර්තා අනූවය. මෙම කාලයේ ෂෝවු රාජවංශය විසින් යෙදවූ ප‍්‍රාදේශිය හමුදා නායකයෝ නායකත්වය සදහා සිය බලය යෙදවූහ. වයඹ දිගින් ක්වින් ජනයා වැනි ආක‍්‍රමණිකයින්ගේ පැමිණිමත් සමග මෙම තත්වය උග‍්‍ර විය. මේ නිසා ෂෝවූ අගනගරය නැගෙනහිර පිහිටි ලූවෝ යැං වෙත ගෙන යෑමට සිදු විය. එයින් ෂෝවු රාජ වංශයේ දෙවන විශාලතම අවධිය වූ නැගෙනහිර ෂෝවු බිහි විය. වසන්ත සහ සරත් සමය මගින් මධ්‍යගත ෂෝවු බලය බිද වැටීමක් පෙන්නුම් කරයි. එහි ප‍්‍රාන්ත සිය ගණනක් ඇති විණි. එ්වායෙහි විසූ දේශිය බලවතුන් දේශපාලන බලය ලබා ගත් අතර ෂෝවු රජුට නාමික වශයෙන් පමණක් සේවය කළේය. චීන දර්ශනයේ සිතුවිලි පාසල් සියය මෙම යුගයේ මල්ඵල ගැන්වුණු අතර එය කොන්ෆියුසියානුවාදය තාවෝවාදය නීතිගරුකවාදය සහ මොහිවාදය සදහා පදනම දමමින් වෙනස්වන දේශපාලන ලෝකයට ප‍්‍රතිචාර ලෙස ඇති විය .
  • සතරු රාජ්‍ය කාලය (ක‍්‍රි පූ 476- 221)

ක‍්‍රි පූ 5 වන ශතවර්ෂයෙන් පසු මුලික රාජ්‍යයන් 7ක් ඉතිරි විණි. එම රාජ්‍යයන් එකිනෙකා සමග සටන් කළ කාල වකවානුව සතුරු රාජ්‍ය කාලය ලෙස හැදින්විය. මෙම සතුරු රාජ්‍යයන් අතර වර්තමාන පිචුවාන් හා ලියා ඕනිං විය. මේවා පාලනය වන ලද්දේ ආඥාපති හා ආණ්ඩුකාරයකු විසින් පාලනය කරනු ලබන ප‍්‍රාන්තයක් ලෙසිනි. වසන්ත හා සරත් කාලයේ භාවිතා වූ මෙම පද්ධතියේ ශේෂයන් වර්තමානයේ ෂෙං සහ ෂියෑං ප‍්‍රාන්තවල දක්නට ඇත. මෙහි අවසාන ව්‍යාප්ත කිරීම ක්වින්හි රජු වු යිං ෂෙන්ගේ වකවානුවේදි සිදු විය. මොහු තවත් ප‍්‍රාන්ත 6ක් එක්සත් කළ අතර ක‍්‍රි.පූ. 214 දී වර්තමාන ෂේජියෑං ෆූජියෑන් ග්වැංදොං සහ ගුවැංෂි ප‍්‍රදේශවලට අයත් භුමි ඈදාගෙන තමන් පළමු අධිරාජයා ලෙස නිවේදනය කළේය.

මහේශාක්‍ය චීනය

ක්වින් රාජවංශයේ සිට ක්විං රාජවංශය අවසානය දක්වා සමග ඉතිහාසඤයන් මහේශාක්‍ය චීනය ලෙස හදුන්වයි. ක්වින් රාජවංශයේ වැදගත් සංසිද්ධීන් අතර මධ්‍යගත රජයක සංකල්පය හදුන්වාදීම නීතිමාලාව එ්කාබද්ධ කිරීම ලිඛිත භාෂාවේ ප‍්‍රගමනය මිනුම් කිරීම සහ චීනයේ මුදල් භාවිතය දියුණු වීම යන සිදුවීම් වැදගත් වේ. මධ්‍යගත වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ක්වින් රාජ්‍යය උතුරු සීමා ප‍්‍රාකාරය සම්බන්ධ කළ අතර මෙය චීන මහා ප‍්‍රාකාරයේ ආරම්භය ලෙස සැළකෙයි.

  • හන් රාජවංශය

කෙටි කලක් පැවති එ්කාබද්ධ ක්වින් රාජවංශය සිවිල් යුද්ධයකින් පරාජය කොට හන් රාජ වංශය ආරම්භ කරනු ලැබූවේ ලියු බං විසිනි. හන් රාජවංශයේ දිගු පාලන සමය චීන ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙයි. හන් රාජවංශ සමයේ චීන රාජ්‍යය ඈත බටහිර පෙදෙස් දක්වාද ව්‍යාප්ත විය. කොන්ෆියුසියානුවාදය දර්ශනයක් ලෙස ඔසවා එය චීන ශිෂ්ඨාචාරයේ කලාව සංස්කෘතිය සහ විද්‍යාවේ දියුණුවට හේතු විය. හන් අධිරාජ්‍ය ටාරීම් දෝණියේ රාජ්‍ය දක්වා ව්‍යාප්ත වු අතර චීනය සහ බටහිර යා කළ සේද මාවත විවෘත විය. වු අධිරාජයාගෙන් පසු අධිරාජ්‍යයේ ව්‍යාප්තිය නතර වු අතර එය ක‍්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගත්තේය.
  • ෂින් රාජවංශය

වැං මැං පුළුල් භූමි සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඒ අතර වහල් සේවය අහෝසි කිරීම ඉඩම් ජනසතු කිරීම සහ බෙදාදීම ප‍්‍රධාන විය. මෙම ප‍්‍රතිසංස්කරණ සදහා ඉඩම්හිමි විද්වතුන් ප‍්‍රවේණිදාස ක‍්‍රමය නිසා මීට සහාය නොවීය. ක‍්‍රි. ව. 23දී කළහකාරී ගොවීන් පිරිසක් විසින් වැං මැං මරා දමන ලදි.
ජින් රාජවංශය, උතුරු සහ දකුණු රාජවංශ, සුයි රාජවංශය, මෑං රාජවංශය, පංච රාජවංශ හා දස රාජධානි යුගය, සොං ලියා ඕ ජින් සහ බටහිර ශියා රාජ වංශය, යුවාන් රාජවංශය, මිං රාජවංශය ලෙස විවිධ රාජධානි පැවතුණි
  • ක්විං රාජවංශය (ක‍්‍රි ව 1644- 1911)

චීනයේ අවසාන රාජවංශය ක්විං රාජවංශය ලෙස සැලකේ. මෙය මැංචුවරුන් විසින් පිහිටුවන ලද අතර එය මුළු චීනයම සහ එහි ජනයාව පාලනය කළ දෙවන ආක‍්‍රමණික රාජවංශය ලෙස සැලකේ. මැංචූ ආක‍්‍රමණ සමය ඉමහත් ජීවිත විනාශයකට හේතු වු අතර චීන ආර්ථිකයේ සීඝ‍්‍ර බිද වැටීමට හේතු විය. ක්විං රාජවංශය විසින් අෂ්ට පතාක පද්ධතිය හදුන්වා දුනි. ඊළග අඩසියවස තුළ මිං රාජවංශය යටතේ පැවති සියලූ ප‍්‍රදේශ ක්විං රාජ්‍යය යටතේ ඒකාබද්ධ කෙරිණි. 1683දී දකුණු තායිවානයේ උභය පාලනයක් ගෙන ගියේය.

චීීන සමූහාණ්ඩුව( 1912 - 1949)

ප‍්‍රතිසංස්කරණ කෙරෙහි ක්විං රාජ සභාව දැක්වූ ප‍්‍රතිරෝධය සහ චීනයේ දුර්වලතාවය හේතුවෙන් තරුණ නිළධාරීන් හමුදා නිළධාරීන් සහ ශිෂ්‍යයන් එක්ව ක්විං රාජවංශය බලයෙන් පහකර සමූහාණ්ඩුවක් නිර්මාණය කළ යුතුය යන මතය ප‍්‍රචාරණය කළහ. 1911 ඔක්තෝම්බර් 10 දින වුහාන් හිදී විප්ලවීය යුධමය පිබිදීමක් වූ චූවාං පිබිදීම ඇරඹිණි. 1912 මාර්තු 12 වන දින නැන්ජිං හිදී චීන සමූහාණ්ඩුවේ තාවකාලික රජය පිහිටුවන ලදි. ෂින්හායි විප්ලවය මගින් වසර 2000ක් පැවති රාජවංශ පාලනය නිමා විය.

ක්විං රාජවංශය බලයෙන් පහකළ පසුව සුන්යත් - සෙන් විසින් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනලදි. නමුත් සුන් හට නව හමුදාවේ ප‍්‍රධානියා වු යුවාන් ෂිකායි වෙත බලය පැවරීමට සිදු වු අතර පැරණි ක්විං පාලකයාට සිහසුන අත්හැරීමට අවස්ථාව දීමේ කොන්දේසිය මත ක්විං රජය යටතේ අගමැති තනතුර හිමි විය. යුවාන්ට එරෙහිව කැරැුල්ලක් ඇති වීම හේතුවෙන් 1916 මාර්තු මස යුවාන්ට බලය අත් හැරීමට සිදු වූ අතර එම වසරේ ජූනි මස ඔහු මිය ගියේය. මේ නිසා චීනයේ බල ඌනතාවක් ඇති වූ අතර සමූහාණ්ඩුව දෙදරා ගියේය.

1920 දී සුන් යත් -සෙන් භේද වූ ජාතිය එක්සත් කරමින් දකුණු චීනයේ විප්ලවකාරී පදනමක් දැරීය. සෝවියට් සංගමයේ ආධාර ඇතිව ඔහු අදක්ෂ චීන කොමියුනිස්ට් පක්ෂය සමග සන්ධානයකට එළැඹියේය. 1925දී පිළිකාවක් නිසා සිදු වු සුන්ගේ මරණයත් සමග ඔහුගේ ආරක්ෂකයකු වූ චියැං – කායි - ෂෙක් විසින් ක්වෝමින්ටාං පක්ෂයේ බලය ලබාගෙන උතුරු ගවේෂණය නම් වු යුධ ව්‍යාපාරයක් මගින් දකුණු සහ මධ්‍යම බොහෝ ප‍්‍රදේශ එහි පාලනයට නතු කරගත්තේය. දකුණු සහ මධ්‍යම චීන යුධ ප‍්‍රධානීන් පරාජය කළ චියැංට උතුරේ යුධ ප‍්‍රධානීන් පක්ෂපාතීත්වය දැක්වූහ. 1934දී චීන සෝවියට් සමුහාණ්ඩුව වැනි සිය මූලස්ථාන මෙහෙයවන ලදුව ජචජ හමුදා දීර්ග පා ගමන මෙහෙයවූහ. මෙය චීනයේ බොහෝ ජන ශූන්‍ය දුෂ්කර ප‍්‍රදේශවල සිට වයඹ දිග චීනය තෙක් විහිදිනි. දීර්ඝ පා ගමනේදී කොමියුනිස්ට් වාදීන් නව නායකයෙකු වූ මා ඕ සේතුං යටතේ ප‍්‍රතිසංවිධානය විය. වර්ෂ 14ක් පුරා රටේ විවිධ ප‍්‍රදේශවල ජපනුන් පාලනය ගෙන ගිය සමයන්හිද (1931- 1945) විවෘතව හෝ රහසිගත අයුරින් ණඵඔ සහ ජචජ පක්ෂ අතර අමිහිරි අරගලය පැවතිණ.ි දෙවන ලෝක යුද්ධයට සමගාමිව පැවති දෙවන චීන - ජපන් යුද්ධයේදි (1937 – 1945) චීනයේ මෙම ප‍්‍රධාන පක්ෂ දෙක ජපානයට විරුද්ධව 1937 දී නාමිකව එක්සත් පෙරමුණක් ගොඩනැගූහ. 1945 ජපානයේ පරාජයෙන් පසු සාමධාන සාකච්චා අසාර්ථක වීමෙන් පසු ජාතිකවාදී රාජ්‍ය හමුදා සහ ජචජ අතර නැවතත් අරගල ඇති විය. 1949 වන විට ජචජ පක්ෂය රටේ බොහෝ ප‍්‍රදේශවල බලය පතුරුවා තිබිණ.ි දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග තායිවානයේ ජපන් හමුදා චීන සමූහාණ්ඩුවට යටත් වීමත් සමග ජාතිකවාදි හමුදා තායිවානයේ පාලනය අතට ගත්හ.

මහජන චීන සමූහාණ්ඩුව ( 1949 සිට වර්තමානය දක්වා)

1949 ඔක්තෝම්බර් 01 වනදා මා ඕ සේතුං විසින් මහජන චීන සමුහාණ්ඩුව ප‍්‍රකාශයට පත් තරන ලදි. මා ඕගේ රජය ඉඩම්හිමියන්ට දරුණු දඩුවම් පැන වූ අතර ජනසතු ව්‍යාපාර සහ ලා ඕගායි කදවුරු පද්ධතිය හදුන්වා දෙන ලදි. මා ඕ යටතේ දඩුවම් ශ‍්‍රමය සැපයීම සහ යුද්ධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිසා මිලියන ගණන් ජන ජීවිත විනාශ විය. 1966 දී මා ඕ සහ ඔහුගේ ආධාරකරුවන් විසින් සංස්කෘතික විප්ලවය අරඹන ලද අතර එය දශකයට පසු මා ඕගේ මරණය තෙක් ක‍්‍රියාත්මක විය. මෙම සංස්කෘතික විප්ලවය පක්ෂය තුළ බල අරගල සහ සෝවියට් සංගමයට දැක්වූ භීතිය මැදින් ක‍්‍රියාත්මක වූ අතර එය චීන සමාජයේ මහත් විප්ලවයක් විය.

1972 දී චීන - සෝවියට් බෙදීමේ උච්චස්ථානයේ දී මා ඕ සහ ෂොවු එන්ලායි එක්සත් ජනපද ජනපති වූ රිචඞ් නික්සන් බීජිං නුවරදී හමුවී එක්සත් ජනපදය සමග සබදතා ස්ථාපනය කර ගත්හ. එම වර්ෂයේම චීන සමූහාණ්ඩුව වෙනුවට මහජන චීන සමූහාණ්ඩුවට එක්සත් ජාතීන්ට ඇතුළු වීමට අවසර හිමි විය. එසේම ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකත්වය හිමි විය.
1976 මා ඕගේ මරණින් පසුව බල අරගලයක් පැවතිණි. සතර දෙනාගේ කල්ලිය අත්අඩංගුවට ගැණුනු අතර සංස්කෘතික විප්ලවය ඉක්මවා කටයුතු කිරිම පිළිබද ඔවුනට දෝෂාරෝපණය කෙරිණි. මෙලෙසින් චීනයේ ආකූල දේශපාලන යුගය නිමා විය. මා ඕ විසින් පත්කළ අනුප‍්‍රාප්තික සභාපතිවරයා වූ හුවා ගු ඕෆෙං අභිබවා යමින් ඩෙං ෂියා ඕජිං ඉදිරි වසර කිහිපය තුළ නායකයා ලෙස බලයට පත් විය.
1978 සිට 1992 දක්වා ඩෙං ෂියා ඕජිං චීනයේ නායතයා විය. නමුත් ඔහු කිසිදින සිය පක්ෂයේ හෝ ප‍්‍රාන්තයේ නායකයා වූයේ නැත. පක්ෂය තුළ රාජ්‍යයේ වැදගත් ආර්ථික ප‍්‍රතිසංස්කරණ සදහා මුල් විය. කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍යය පාලනයෙන් ක‍්‍රමයෙන් ජන ජීවිත ලිහිල් වන්නට විය. කොමියුන විසුරුවා හැරී අතර බොහෝ ගොවීන්ට බොහෝ ඉඩම් බෙදා දුන් අතර මෙය කෘෂිකර්මාන්තය දිරිගන්වමින් කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීය. මෙම හැරවුම් ලක්ෂය සමග චීනයේ අපේක්ෂිත ආර්ථිකය මිශ‍්‍ර ආර්ථිකයක් බවට පත් විය. එසේම ව්වෘත වෙළදපළ පරිසරයක් ගොඩනැගෙන්නට විය. මෙය වෙළදපල සමාජවාදය ලෙසද හදුන්වයි. 1982 දෙසැම්බර් 04 වන දින මහජන චීන සමූහාණ්ඩුව අද පවතින ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කරන ලදි.

1989 දී පැරණි සෙන්පති ලේකම් හූ යා ඕබැංගේ මරණින් පසු එම වර්ෂයේ ටියැනන්මෙන් චතුරස‍්‍රයේ විරෝධතා ඇතිවිය. දූෂණය මැඩලීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ කතා කිරීමේ නිදහස ඇතුළත්ව මහා දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමේ අරමුණින් ශිෂ්‍යයන් සහ සෙස්සන් විසින් මෙය සිදු කරන ලදි.

ක්‍චජ හි ජනරාල් ලේඛම්වරයා සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජනපතිවරයා වූ ජියෑං ෂෙමින් සහ අගමැති ෂු රොංජි යන දෙදෙනාම ෂැංහයිහී හිටපු නගරාධිපතිවරුන් වූ අතර ඔවුන් 1990 දශකයේ පශ්චාත් – ටියැනන්මෙන් මහජන චීන සමූහාණ්ඩුව සදහා පෙරමුණ ගත්හ. ජියෑං සහ ෂුගේ දස වසරක පාළනය තුළ මහජන චීන සමූහාණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ අනූව ගොවීන් මිලියන 150ක් පමණ දරිදැතාවයෙන් මුදවා ගැනීමට හැකිවිය. එසේම දළ ජාතික නිෂ්පාදනය 11.2 ‍ වේගයක් අත්කර ගත්තේය. 2001දී ලෝක වෙළද සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදි. මහජන චීන සමුහාණ්ඩුව සිය ආර්ථිකය සීඝ‍්‍රයෙන් වර්ධනය වන විට එමගින් රටේ පරිසර හානිය සම්පත් හායනය ගැන සිතන්නට විය. ආර්ථික වර්ධනයෙන් වාසි නොලබන සමාජ කොට්ඨාශද පවතින බවට ඔවුන්ගේ අවධානය යොමු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජචජ හි හිටපු ලේඛම් සහ ජනාධිපතිවරයා වූ හූ ජින්තා ඕ සහ අගමැති වෙන් ජියාබා ඕ යටතේ මහජන චීන සමූහාණ්ඩුව විසින් සම්පත් සමානව බෙදී යන පරිදි නීති සම්මත කරන ලදි. නමුත් 2014 වන විටත් එහි ප‍්‍රතිඵල දැනගත නොහැකි විය. මිලියන 40ට අධික ගොවීහු සිය බිම්වලින් ඉවත් විණි 2005 දී චීනය පුරා 87 000ක් විරෝධතා පැවැත්විණි. මහජන චීන සමුහාණ්ඩුවේ ජනගඑනයෙන් වැඩි ප‍්‍රමාණයකගේ ජිවන තත්වය ගුණාත්මකව ඉහළ ගියේය. නිදහස ඉහළ ගිය අතර දේශපාලන බැමි තදවූ අතර ග‍්‍රාමිය පෙදෙස්වල එය දුර්වල විය.

චීන ආර්ථික ඉතිහාසය

ඉතිහාසඥයන් වර්ග කරන පරිදි චීන ආර්ථික ඉතිහාසය පුර්ව යටත් විජිත,යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත වශයෙන් ප‍්‍රධාන යුග 3කට බෙදා ඇතත් චීනයේ සිදු වු පරිවර්තනීය ආර්ථික වෙනස සලකා බැලීමේදී ප‍්‍රධාන යුග කිහිපයකට බෙදා දැක්විය හැක.

ක‍්‍රි.පු. 206 සිට ක‍්‍රි.ව.220 දක්වා ක‍්‍රියාත්මක වු හන් රාජ්‍ය සමයෙන් ඇරඹෙන චීන ආර්ථිකයේ වඩාත් වැදගත් යුග වශයෙන් සැලකෙන්නේ සුන්ග්,මින්ග් හා චින්ග් පාලන රාජ්‍ය සමයන් හා 1949න් පසු ක‍්‍රියාත්මක වු කොමියුනිස්ට් පාලන ක‍්‍රමය සහ 1978 සිට ක‍්‍රියාත්මක වන නිදහස් හා රාජ්‍ය මැදිහත් වීම් සහිත දෙමුහුන් ප‍්‍රතිපත්ති යුගයයි.

  • සුන්ග් රාජ්‍ය සමය


මෙම යුගයේ චීනයේ කෘෂි හා කාර්මික අංශ වල සීඝ‍්‍ර දියුණුවක් ඇති කළ යුගය ලෙස සැළකේ.ජපානයේ ටොකුගාවා යුගයේ දී මෙන් ඉඩම් සඳහා බඳු ක‍්‍රමයක් හඳුන්වා දී ඇති අතර එය මුදලින් ගෙවීමට හැකි වී ඇත.ඉඩම් ප‍්‍රතිපත්ති වෙනස් කිරීම නිසා කෘෂි ඵලදාව වැඩි වී ඇත.වාරිමාර්ග සංවර්ධනය විශෘල බිම් ප‍්‍රමාණයක් වගා කොට ඇත.දොඩම් සිනී සහ උක් වගාව ඒ යටතේ ව්‍යාප්ත කොට ඇත.මෙම යුගයේ යකඩ හා වානේ කර්මාන්තය ඉතා දියුණු මට්ටමක පැවතී ඇත.වානේ උණු කිරීමට භාවිතා කළ තාක්ෂණය බටහිර රටවල පැවැති තාක්ෂණයට වඩා ඉතා ඉහළ මට්ටමක පැවැති අතර වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්තය රජය මගින් පාලනය කර ඇත.මේ යුගයේ දී වාණිජ පන්තියක් බිහි වී සිටිය අතර බද්ධ ව්‍යාපාර හා කොටස් කිහිපයක් නිෂ්පාදන ක‍්‍රියාවලියට සම්බන්ධව සිට ඇත.නාගරික ප‍්‍රදේශ වල විශාල ප‍්‍රමාණයේ පෞද්ගලික ව්‍යාපාර පවත්වා ගෙන ගොස් ඇත.දියුණු කුඩා ගෘහ කර්මාන්ත පැවැති අතර විශේෂයෙන් මැටි කර්මාන්ත සඳහා ප‍්‍රසිද්ධ වී ඇත.එසේම මේ කාලයේ දී විදේශ වෙළඳාම පැවැති බවට සාක්ෂි පවතී.

රජය විසින් පොදු කාර්යය සේවාවන් වන වාරිමාර්ග හා ප‍්‍රවාහන සේවාවන් සපයා ඇති අතර කොන්ෆියුසස් ධර්මය ජාතික ධර්මය ලෙස පිළිගෙන ඇත.ජාතික සිවිල් සේවා කොමිසමක් ද ස්ථාපනය කර ඇත.ජෝන් නැමැති ඉතිහාසඥයා ප‍්‍රකාශ කරන පරිදි මෙම යුගයේ සමෘද්ධියට එක් හේතුවන් වී ඇත්තේ දේශපාලනික වශයෙන් තිබු නිදහසයි.ධාන්‍ය බද්ධ මුදලින් ගෙවීමට සැලසීම,ගමනාගමන පහසුකම් සැලසීම හා කුඩා නිෂ්පාදනයන් උනන්දු කරවීම ආර්ථික සමෘද්ධියට බලපෑ වෙනත් සාධකයන් වේ.

  • මින්ග් රාජ්‍ය සමය

සුන්ග් සහ මින්ග් යුග අතර එනම්(1271 - 1367) යුන්ග් රාජාණ්ඩුව පවතින අතර එය ප‍්‍රථම විදේශීය පාලනයක් සහිත චීනය පාලනය කළ රාජාණ්ඩුව ලෙස සැළකේ.මෙම යුගයේ දී කඩදාසි මුදල් භාවිතය හඳුන්වා දී ඇත.ඵදබටදක රාජ්‍ය හා චීනය අතර වෙළඳ කටයුතු ව්‍යාප්ත කිරීමට මේ යුගයේ දී උත්සහ කර ඇත. ඵදබටදක පාලනය ඉවත් කොට මින්ග් රාජාණ්ඩු ක‍්‍රමය (1368 - 1668) ඇරඹෙන අතර මෙම යුගයේ දී ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් ප‍්‍රතිසංස්කරණ රාශීයක් සිදුව ඇත. අලෙවිය පිණිස කෘෂිකර්මය දියුණූ කරන අතර කර්මාන්ත පෞද්ගලීකරණය සිදුව ඇත.තාක්ෂණික දියුණුව සම්බන්ධයෙන් මින්ග් යුගය වැදගත් වේ.වෙළඳපළ ඉලක්ක කර ගත් කෘෂිකර්මයක් ක‍්‍රියාත්මක කිරීම නිසා කෘෂිඵලදාව වැඩි වී ඇත.රාජාණ්ඩුව මගින් සිවිල් පාලනයක් ඇති කිරීමට පියවර ගනු ලැබීය.පෝසිලේන් පිඟන් කර්මාන්තය චීනයේ දියුණු වන්නේ මේ යුගයේ දී ය.(1521 - 1567)

මෙම කාලයේ දී චීනය විදේශ වෙළඳාම සඳහා වැදගත් වී ඇත.එය පුද්ගලික වෙළදුන්ට ලබා නොදී රජය මගින් සිදු කරන ලදී.1400න් පසුව චීනයේ ඉහළ ආර්ථික වර්ධනයක් ඇති වේ.කර්මාන්ත වර්ධනයක් සිදු කිරීමට මින්ග් පාලනයට හැකි විය.කෘෂිකාර්මික යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයත් මේ යුගයේ දී සිදු වී ඇති අතර එමගින් ප‍්‍රමාණවත් කෘෂි අතිරික්තයක් ඇති කිරීමට හැකියාව ඇත.
  • චින්ග් රාජ්‍ය සමය

චින්ග් රාජාණ්ඩු සමය ක‍්‍රි ව1644 - 1912 දක්වා වේ.
චින්ග් සමයේදී පාලනය කරන ලද බල ප‍්‍රදේශය වැඩි වීම නිසා විශාල වෙළඳපොළ ප‍්‍රදේශයක් තිබීමෙන් කෘෂී අංශයට වාසිදායක වී ඇත.එමනිසා මවියට පත්වන ආර්ථික වර්ධනයක් මෙම යුගයේ දී දැකිය හැක.
ක‍්‍රි.ව.1700 දී මිලියන 160ක් වු විට චීන ජනගහනය 1800 වන විට මිලියන 350ක් දක්වා වැඩි වී ඇත.වැඩි වන ජනගහනයට අවශ්‍ය පරිදි ආහාර නිෂ්පාදනය කිරීමට චීනයට හැකි වී ඇත.මීට සමානුපාතිකව ගෘහස්ථ කර්මාන්ත වල ද දියුණුවක් සිදු ව ඇත.මේ නිසා ඉතා සහජීවනශීලී අන්‍යෝනය වශයෙන් වාසිදායක ආර්ථික රටාවක් චීනයේ ඇත. deng නැමැති ඉතිහාසඥයා පෙන්නුම් කරන පරිදි භාවිතයෙන් යුත් අර්ථ ක‍්‍රමයත් ස්ථාපනය වී ඇති අතර එහි අංශ 3කින් පැවතී ඇත.එනම්,

1. ග‍්‍රාමීය පෞද්ගලික ගනුදෙනු සහිත වාණිජ අංශය
2. නාගරික පෞද්ගලික ගනුදෙනු සහිත වාණිජ අංශය
3 රජය විසින් ක‍්‍රියාත්මක කරන ලද වෙළඳ හා වාණිජ අංශය

මෙයින් පෙන්නුම් කරන්නේ ග‍්‍රාමීය හෝ නාගරික ප‍්‍රදේශ වල පාරිභෝගික වෙළඳ ගනුදෙනු ක‍්‍රමයක් ද භාවිත වී ඇති බවයි. පෙන්නුම් කරන එක් කරුණක් වන්නේ ආර්ථිකය ප‍්‍රධාන වශයෙන්ම ග‍්‍රාමීය අංශය හා බැඳි ඇති බවයි.

චීන පවුල් ගොවිතැන් ක‍්‍රමයේ අතීතයේ සිට ක‍්‍රියාත්මක වු අතර එය නිතී මගින් ස්ථාපනය කර ඇත.මේ අනුව කුඩා ගොවිතැන් ක‍්‍රමය ස්ථාපනය වී ඇති අතර මේ තුළින් නිෂ්පාදනය වැඩි කිරීමට සහ නව උත්පාදන ඇති කිරීමට ගොවීන් පෙළඹී ඇත.රජයට ගෙවිය යුතු බදු ප‍්‍රමාණය ගෙවීමෙන් සැළකිය යුතු අතිරික්තයක් තිබීම මීට හේතු විය.මේ නිසා බි‍්‍රතාන්‍යයේ මෙන් කෘෂි අංශයට අවශ්‍ය වෙළඳපළ සහ නාගරික සහ වාණිජ අංශයෙන් ලැබෙන අතර කෘෂී අංශයෙන් ජනිත වන ප‍්‍රාග්ධනය කාර්මික සහ වාණිජ අංශ වල ආයෝජනය කිරීමට ද හැකි විය.

චින්ග් රාජ්‍ය සමයේ සිදු වු ප‍්‍රධාන ආර්ථික කටයුතු කිහිපයක් දැකිවාය හැකිය.

1.කාර්මික නිෂ්පාදන අංශය පෞද්ගලික ව්‍යවසාය මත පදනම් වීම සහ එම නිසා බලවත් වාණිජ පන්තියක් ඇති වේ.
2.මෙම කාලයේ දී රාජකාරී වැඩවසම් ක‍්‍රමය වෙනුවට ශ‍්‍රමය සඳහා වැටුප් ගෙවීමට ආරම්භ වීම.
3.වාණිජ වැවිලි ආර්ථිකයක් ඇති වීම.
4.ග‍්‍රාමීය වෙළඳපළ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම.
5.විදේශ වෙළඳාම සහ විදේශ ආයෝජන ලබා ගැනීම.

ඒ යටතේ ජපානය සහ යුරෝපයේ රටවල් සමඟ වෙළඳාම් කටයුතු සිදු කොට තිබේ.වෙළඳාම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 180ක පමණ ආදායමක් මෙකල ලබා ඇත.එසේම රට තුළට රිදී ගලා ඒමක් ද සිදු විය.

බදු ප‍්‍රතිපත්තිය

රජය විසින් ඉතා පැහැදිලි හා දියුණු බදු ක‍්‍රමයක් අනුගමනය කර ඇත.කෘෂිකර්මට සඳහා 1/30ක බද්ධයක් පනවා ඇති අතර පසුව එය 1/50 දක්වා අඩු කර ඇත.වාණිජ කටයුතු සඳහා ද 1/30ක බද්ධයක් තිබී ඇති අතර එය ද 1/5 දක්වා අඩු කර ඇත.
1913 සිට දෙවන ලෝක යුද්ධය දක්වා අවධිය
1913 - 1927 දක්වා අවධිය ප‍්‍රාදේශිය යුධ නායකයන් විසින් රට පාලනය කල අතර 1927 දී චියාන් කායිසෙක් සෙනෙවියා විසින් රට එක්සේසත් කොට පාලනය අරඹන අතර 1927- 1937 යුගය හැංජිං යුගය ලෙස සැලකේ.ජපන් ආක‍්‍රමණ පැවතියත් මෙම යුගය තරමක් ස්ථාවර යුගයක් විය.1938 සිදු වු ජපන් ආක‍්‍රමණ 1945 දක්වා පැවැති අතර එමඟින් චීනයට දරුණු බලපෑම් සිදුව ඇත.මෙවැනි තත්වයක් පැවතියත් චීනය තුළ නවීකරණය වීමක් සිදුව ඇත.එනම් වෙළඳපළ ආර්ථිකයක් ක‍්‍රියාත්මක වී ඇත.චීනයේ ගෘහස්ථ කර්මාන්ත දියුණු වී ඇති අතර පළමු වන ලෝක යුද්ධය වන විට එහි උපරිම මට්ටමට පත් වී ඇත.එමඟින් චීන කර්මාන්ත වලට වාසි අත් වී ඇත ඒ අනුව 1932 වන විට චීන දළ ජාතික නිෂ්පාදනය මිලියන 28.8 දක්වා වැඩි විය.

මාවෝ සේතුං සහ කොම්යුනිස්ට් චීනය

1949 දී චියන් කායි ෂෙක් හා කොමියුනිස්ට් ගරිල්ලා භටයන් අතර ඇති වු අරගලයෙන් පසු චීන කොමියුනිස්ටු පක්ෂය බලයට පත් වන අතර මාවෝ සේතුං විසින් ඇති කරන ලද සමාජ ආර්ථික ප‍්‍රතිසංස්කරණ යටතේ අවෘත සිවයංපෝෂිත ආර්ථික රටාවක් චීනයේ ස්ථාපනය වේ.මානව වැරදි අවම කිරීම සංවර්ධනයේ අනිවාර්යය අවශ්‍යතාවක් බව සැළකු මාවෝ සේතුං සංස්කෘතික විප්ලවයක් මඟින් ජනතාවගේ අකල්පමය වෙනසක් ඇති කරන ලදී.දේශීය වෙළඳපළ මත පදනම් කරගත් ස්ව ශක්තිය හා ස්වයංපෝෂිත බව මත නැගී සිටි චීනයේ ආර්ථික ගමන් මග 1978 දී මාවෝ සේතුංගේ අභාවයෙන් පසුව වෙනස් වේ.

රුසියානු අකෘතියේ සැළසුම් මත ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට අපේක්ෂා කරන ලදී.මාවෝ පාලනය මගින් කාර්මික ආර්ථිකය දියුණු කිරීමට සමත් විය.මෙහිදී රාජ්‍ය අංශය ප‍්‍රධාන කොට සැළකීය.මේ අනුව 1953 - 1957 කාලයේ ක‍්‍රියාත්මක කළ සැළසුම මඟින් යකඩ නිෂ්පාදනය,වානේ නිෂ්පාදනය හා ගල් අඟුරු නිෂ්පාදනය වැනි කර්මාන්ත දියුණු කරනු ලැබීය.රටේ ශ‍්‍රම බලකායෙන් 78%ක් පමණ කෘෂි අංශයේ නියලී සිටියත් කාර්මික අංශයට ප‍්‍රමුඛතාව දීම විශේෂ කරුණකි.

පෞද්ගලික ඉඩම් අයිතිය නැති කිරීම මඟින් කෘෂී අංශය එක්තරා මට්ටමකට දුර්වල විය.1955 - 1962 කාලය සඳහා ක‍්‍රියාත්මක වු  ක‍්‍රියාත්මක වු අතර චීනයේ කඩිනම් සංවර්ධනය සඳහා ක‍්‍රම 2ක් ක‍්‍රියාවට නංවන ලදී.

1. සමාජවාදී ක‍්‍රමයට සමුහ ගොවිපළවල් ක‍්‍රමය හඳුන්වා දීම
2. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මගින් කාර්මීකරණය දියුණු කිරීම.

සෝවියට් ආකෘතිය අනුගමනය කිරීම මඟින් ඵලදායී ප‍්‍රතිඵල ඇති නොකළ නිසා එතෙක් ක‍්‍රියාත්මක කළ සැලසුම් ක‍්‍රමයේ අඩුපාඩු මගහරවා කටයුතු කිරීමට සැලසුම් කරන ලදී.ඒ අනුව සැලසුම් අසාර්ථක වීමට 70%ක්ම බලපා ඇත්තේ මානව දුර්වලතා බවත් 30% පමණ ස්වභාවික වැරදි බවත් පෙන්සා දුන් මාවෝ සේතුං මේ සඳහා සංස්කෘතික විප්ලවයක් මඟින් චීන අකෘතිය වෙනස් කොට ඒ අනුව කටයුතු කරන ලදී.ඉන් අපේක්ෂා කරනු ලැබුවේ මිනිසුන්ගේ සාම්ප‍්‍රදායික විශ්වාස හා ඇදහිලි රටා වෙනස් කරමින් ගුණාත්මක වෙනසකින් මිනිසුන් සංවර්ධනයට පෙළඹවීමයි.නමුත් මෙම ක‍්‍රියාව සිත් ගන්නා සුළු නොවන නිසා අපේක්ෂිත පරිදි ප‍්‍රතිඵල ලඟා කරගත නොහැකි විය.ප‍්‍රතිඵලය වුයේ විශාල චීන ජාතිකයන් පිරිසක් චීනය අතහැර විදේශ ගත වීමයි.

1978 සිට නව චීනය

1978 සිට නව චීනය ඇරඹේ.ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති සමඟ චීන කොමයුනිසිට් දේශපාලන දර්ශනය ක‍්‍රියාවට නංවන අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය මත නිෂ්පාදන ක‍්‍රියාවලිය තීරණය කරනු ලැබේ.මධ්‍යගත සැලසුම් ක‍්‍රමය මත මුල් කාලයේ චීන ආර්ථීක සංවර්ධනය පදනම් වුවත් 1978න් පසු ආර්ථික ප‍්‍රතිපත්ති පදනම් වුයේ චීනයට ම ආවේණික වු ගති ලක්ෂන මත නිදහස් හා ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නංවන ද්විත්ව ප‍්‍රතිපත්තිය මතයි.නවීකරණය හා ගොලීයකරණය සංවර්ධන ක‍්‍රමෝපායන් ලෙස හඳුනා ගෙන ඇති චීනය ගෝලීයකරණයේ උපරිම ප‍්‍රතිලාභ ලබා ගනිමින් සිටියි.වර්තමානය වන විට ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට චීනය පත්ව ඇති අතර වාර්ෂීක වර්ධන වේගය 2014 වර්ෂයේ දී 9.5 විය.ඒක පුද්ගල ආදායම ඩොලර් 8211ක් විය.එනම් ලොව 77 වන මට්ටමේ සිටියි.කෘෂි අංශයේ දායකත්වය 9.2% වන අතර කාර්මික හා සේවා අංශ වල දායකත්වය පිළිවෙළින් 42.6%, 48.2% විය.රටේ ශ‍්‍රම බලකාය මිලියන 787.6 ක් වේ.මෙම තත්වය තුළ වීනය මීළඟ ලෝක ආර්ථික බලවතා බවට පත්වීමට සැලසුම් කරමින් සිටියි.

චීනයේ ආගමික පසුබිම

බෞද්ධාගම 01 වන සියවසේදී පමණ මධ්‍යම ආසියාවෙන් චීනයට පැතිරුණු අතර 08 වන සියවස තෙක් එය ඉතාමත් සක‍්‍රීය බෞද්ධ කේන්දැස්ථානයක්ව පැවතුණි. ක‍්‍රී.ව. 67 දී මොටොන් හා ජයමේරස්බ නම් බෞද්ධ භික්ෂූන් දෙනමගේ ආගමනයන් සමග බුද්ධාගම චීනයට නිළ වශයෙන් හදුන්වා දෙන ලදි. ප‍්‍රථම මහායාන ග‍්‍රන්ථය චීන භාෂාවට පරිවර්තනය කළේ කුෂාණ භික්ෂුවක් වූ ලෝතක්සේම විසින් ක‍්‍රි.ව. 178-189 කාළය තුළදීය. චීනය තුළ හමු වූ මුල්ම කළාකෘති නම් ක‍්‍රි.ව. 200දී පමණ ගාන්ධාර සාම්ප‍්‍රධායට අනූව තනන ලද කුඩා ප‍්‍රතිමාය. ටැන්ග් අධිරාජයය සමයේදී බුදු දහම ප‍්‍රචලිත වූ අතර මෙම අධිරාජ්‍යයන් විදේශීය බලපෑම් සදහා ඉතාමත් විවෘතව පැවති අතර චීන බෞද්ධ භික්ෂුන් 4 සිට 11 වන සියවස ඉන්දියාවට සංචාරය කිරීම නිසා එම සංස්කෘතිය සමග හුවමාරු වීම් ඇති විය.චැන් බුදු දහම සියවස් ගණනක් සමෘද්ධිමත්ව පැවතුණු අතර ජපානයේ සෙන් බුදු දහමේ මූල්‍ය වූයේ මෙයයි. සෙන් බුදු දහමේ විශේෂ ලක්ෂණයකි අල්ප වචන භාවිතය. ධර්ම දේශනා ඉතා කෙටි විය. ධර්ම ග‍්‍රන්ථ භාවිත නොකරයි. හෙන්ගි රාජ්‍ය සමයේ චැන් බුදු දහමට විශාල අනුග‍්‍රහයක් ලැබුණු අතර විහාරස්ථාන හා සංස්කෘත හා අධ්‍යාපන කේන්දැ බවට පත් විය. ටැන්ග් රාජ්‍ය සමයේදී 08 වන සියවසේ කන්දක නෙළන ලද ලෙෂාන් බුද්ධ ප‍්‍රතිමාව ලෝකයේ විශාලම ශෛලමය බුද්ධ ප‍්‍රතිමාවයි. වර්තමානයේදී චීනය යුනෙස්කෝ ලෝක උරුම ප‍්‍රදේශ වලට අනූව ලෝකයේ වැඩිම බෞද්ධ කලා නිර්මාණ එකතුවට හිමිනම් කියයි.

කොන්ෆියුසියස්වාදය යනු දාර්ශනික සහ සදාචාරාත්මක සමාජ දේශපාලනික ඉගැන්වීම් මත පදනම් වූ පද්ධතියකි. එය ඇතැම් විට ආගමක් ලෙසද හදුන්වයි. ක‍්‍රි. පූ. 771-476 අතර කාලයේ කොන්ෆියුසියස්වාදය වර්ධනය විය. 20 වන සියවසේ සිට පමණ කොන්ෆියුසියානු බලපෑම බෙහෙවින් අඩු වී ඇත.

කොන්ෆියුසිස්ට පෙර චීනයේ ආගම සහ දර්ශනය ගත් විට ස්වාභාවික වස්තූන් වන්දනා කිරීම චීනයේ ප‍්‍රචලිතව පැවති ආදිතම ආගම විය. ඊළගට මළගිය මුතුන් මිත්තන් වන්දනා කිරීම ආරම්භ විය. සෑම නිවසකම පවුලේ සාමාජිකයින් ඔවුන්ගේ මුතුන් මිත්තන් වන්දනා කළහ. සියවස් ගණනාවක් තිස්සේ චීන ජාතිකයන්ගේ සිරිත් විරිත් හැඩ ගැස්වීමෙහිලා කොන්ෆියුසියස්ගේ ඉගැන්වීම් විශාල බලපෑමක් කර ඇත.

ජාතිය පාලනය කරන චීන කොමියුනිස්ට් පක්ෂය නිල වශයෙන් අදේවවාදියෙක් වන නමුත් එය ක‍්‍රමයෙන් ආගම් සම්බන්ධයෙන් වඩාත් ඉවසිය හැකි වුවත් විදේශ සම්බන්ධතා කවුන්සිලයට අනූව වරුතමානයේ ආගම් 05ක් ඇත. බුදු දහම, ටා ඕවාදය, ඉස්ලාම්, කතෝලික, හා රෙපරමාදු භක්තිකයන් හැරුණු විට වෙනත්  ඕනෑම ආගමක් නීතිවිරෝධිය. මිනිසුන්ගෙන් හතරෙන් පංගුවකට ටා ඕවාදය සහ කොන්ෆියුසියානුවාදය සහ අනෙකුත් සාම්ප‍්‍රදායික ආගම්වල උගන්වති. බෞද්ධයන්, මුස්ලිම්වරුන්, සහ කිතුනුවන්ද කුඩා සංඛ්‍යිවක් සිටී.
වර්තමානයේදී චීනය යුනෙස්කෝ ලෝක උරුම ප‍්‍රදේශවලට අනූව ලෝකයේ වැඩිම බෞද්ධ කළා නිර්මාණ එකතුවට හිමිකම් කියයි. 2016 බීජිංහි පවත්වන ලද ආගම්වල සම්මන්ත‍්‍රණයකදී ජනාධිපති ෂ පොරොන්දු වූ පරිදි ආගමික නිදහස පිළිබද පක්ෂයේ ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමට පොරොන්දු විය. 2017 මුල් භාගයේ ප‍්‍රකාශයට පත් කරන ලද ජෙිච 2014 සමීක්ෂණයෙන් පෙනී යන්නේ චීන ජාතිකයන්ගෙන් 15.87% බෞද්ධයන් බව ප‍්‍රකාශයට පත් කර ඇති අතර අන්‍යෝන්‍ය අනන්‍යතාවන්ගෙන් 5.94% ක් , ටා ඕ වාදීන් 0.85%ජනප‍්‍රිය නිකායන් 0.81%ක් , 2.53 ක් ක‍්‍රිස්තිියානි ( 2.19% රෙපරමාදු හා 0.34%කතෝලික) සහ 0.45% මුස්ලිම් විය යුතුය. ජනගහනයෙන් සියයට 73.56ක් රාජ්‍ය අනුග‍්‍රහය දක්වන ආගම්වලට අයත් නොවේ.

චීන සමාජීය හා සංස්කෘතික පසුබිම

චීනය යනු කාලීන ඉතිහාසයක් සහිත විශාල රටකි. පුරාණ කාලයේ සිටම චීන පුරවැසියන්ගේ මුතුන්මිත්තන් මෙම අතිවිශාල භූමියෙහි ජීවත් වූ අතර ඒවායේ බහුලත්වයට කදිම සංස්කෘතියක් බිහිකර ඇත. වසර 4,000 ක් තිස්සේ චීනය බොහෝ ශේෂ්ඨ චින්තකයන්, නව නිපැයුම්කරුවන්, රාජ්ය තාන්ත‍්‍රිකයින්, මූලෝපායඥයින්, ලිපිවල හා කලාකරුවන්, පෞරාණික සංස්කෘතික උරුමයන් හා යහපත් සංස්කෘතික සම්පදායයන් උපදවා ඇත. චීන සංස්කෘතිය ඓතිහාසික වශයෙන් නැගෙනහිර ආසියාවේ ප‍්‍රමුඛ සංස්කෘතිය ලෙස සැලකේ. චීන භාෂාව, සෙරමික්, ගෘහ නිර්මාණ ශිල්පය, සංගීතය, නැටුම්, සාහිත්‍යය, සටන් කලාව, ආහාර පාන, දෘශ්‍ය කලා, දර්ශනවාදය, ව්‍යාපාරික ආචාර ධර්ම, ආගම, දේශපාලනය සහ ඉතිහාසය ලොවට ප‍්‍රබල බලපෑමක් විය
චීනයේ සංස්කෘතිය පිළිබද අධ්‍යනය කිරීමේදී එය අතීතයෙ පටන් විවිධ වූ කලා ශිල්පයන්ගෙන් විවිධ වූ ඇදහීම් භාෂාවලින් අනූන වූ ශිෂ්ඨාචාරයක් ලෙස හැදින්විය හැකිය චීනයේ කලා ශිල්ප ඉතිහාසය ශිලා යුගය හෙවත් ක‍්‍රි: පූර්ව 10,000 දක්වා ඈතට දිවයයි. මුල්ම යුගයේ එය ඉතාමත් ප‍්‍රාථමික මටිටමින් මැටි භාණ්ඩ සහ මූර්ති කලා නිර්මාණවලට පමණක් සීමා වී තිබිණි. චීනයේ සංස්කෘතික සංවර්ධනය සඳහා සිහිකල්පනාවක් ලෙස චූ රාජ වංශය බොහෝ විට සලකනු ලැබේ. චීන සම්භාව්ය කෘතීන් තුළ ආවරණය වන සංකල්පයන් කවි,ජොතිෂ්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව, කැලැන්ඩර්, තාරකා රාශිය වැනි විවිධ විෂයයන් රාශියක් ඉදිරිපත් කරයි චිං රාජවංශයේ අවසානය වන විට, සාමාන්‍ය පුරවැසියන් සඳහා ලිඛිත චීන භාෂාව සහිත නව යුගයක චීන සංස්කෘතිය ආරම්භ වනු ඇතහූ කොන්ෆියුසියස් මනුෂ්‍ය ස්වභාවය අධ්‍යයනය කිරීමේ ශේෂ්ටයෙකු විය. චීනය මහත් ව්‍යසනවලට පත් වූ අවස්ථාවල දී ඒවාට හේතු වූ කරුණු පිළිබඳව අධ්‍යයනය කළ ඔහු විශ්වාස කළේ සදාචාරාත්මක ප‍්‍රතිපත්ති හා සමාජයීය ආචාර ධර්ම අනුගමනය නොකිරීම එවැනි තත්ත්වයන් උද්ගත කිරීමට තුඩු දී ඇති බවයි. ඒ නිසා මුතුන් මිත්තන් වන්දනා කිරීම, ළමයින්ගේ ධාර්මිකභාවය, අධිකාරීන්ට ගරු කිරීම වැනි පැරණි චාරිත‍්‍ර වාරිත‍්‍ර යළි ඉස්මතු කොට යහපත් සමාජයක් ගොඩනැගීමට ඔහු උත්සාහ කළේය.

නූතන යුගයේ සාහිත්‍ය ජාතියේ නවීන අර්ථකථන සැකසීම හා ජාතික ආත්මයේ හැඟීමක් නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලියක අංගයකි චීන සංස්කෘතිය ඓතිහාසික වශයෙන් නැගෙනහිර ආසියාවේ ප‍්‍රමුඛ සංස්කෘතිය ලෙස සැලකේ. චීන භාෂාව, සෙරමික්, ගෘහ නිර්මාණ ශිල්පය, සංගීතය, නැටුම්, සාහිත්‍ය, සටන් කලාව, ආහාර පාන, දෘශ්‍ය කලා, දර්ශනවාදය, ව්‍යාපාරික ආචාර ධර්ම, ආගම, දේශපාලනය සහ ඉතිහාසය ලොවට ප‍්‍රබල බලපෑමක් වන අතර එහි චීනය පුරාණ ශිෂ්ඨාචාරවලින් එකකි, චීන සංස්කෘතිය අතිශයින් විවිධත්වයක් ඇති අතර එය වර්තමානයේ ආසියාවේ දර්ශනය, ගුණධර්ම, ආචාර ධර්ම හා සම්ප‍්‍රදායන් කෙරෙහි ප‍්‍රාරූඪ බලපෑමක් ඇත. බොහෝ සංගීත භාණ්ඩ චීනයේ සංස්කෘතියට අද්විතීය වන අතර, ෆ්චුටේට්*සිං සහ ගුචින්, සයිට්රර් පවුලෙහි පිහිටා ඇත. ෂිහ් සහ ලූ සිං නූතන සාහිත්යයේ පුරෝගාමීන් විය. චීන මහජන සමූහාණ්ඩුව ආරම්භ කිරීමෙන් පසු චීන නවීන සාහිත්‍යය පිළිබඳ අධ්‍යනය ක‍්‍රමයෙන් වැඩි වී තිබේ නැෙඟනහිර මාදිලියේ සටන් කලාවන් චීනය තුළ ද වර්ධනය වී ඇති අතර, එය කන්ග් ෆූ උපත. මෙම සටන් ශිල්පය සත්ව චලනයන් මත පදනම් වී ඇත.චීනයේ නිල භාෂාව වන්නේ චීනයේ මහජන චීන සමූහාණ්ඩුවේ ජනරජයේ අනුපිළිවෙළට අනුව, චීනයේ ප‍්‍රාන්තයේ බීජිංහි දී මැන්ඩරින් භාෂාවෙන් පෝතෝංහාවා ය. බොහෝ චීන අය ඉංග‍්‍රීසි භාෂාවෙන් කථා කරයි.

චීන කලා ශිල්ප

චීනයේ කළා ශිල්ප ඉතිහාසය ශීලා යුගය හෙවත් ක‍්‍රි.පූ 10000 දක්වා ඈතට දිවයයි. මුල්ම යුගයේ එය ප‍්‍රාථමික මට්ටමින් මැටි භාණ්ඩ සහ මූර්ති කලා නිර්මාණවලට පමණක් සීමා වී තිබිණි.
චීන කලාවේ මුල්ම හැඩය පිළිබද අනාවරණය වනුයේ නව ශිලා යුගයේ යැංග්ෂා ඕ සංස්කෘතිය තුළිනි. ප‍්‍රථම සැරසිල්ල ලෙසින් යොදා ගෙන ඇත්තේ මත්ස්‍ය හා මානව මුහුණුය. යැංග්ෂා ඕ සංස්කෘතියේ විශිෂ්ට ලක්ෂණය නම් පිංතාරු කළ මැටි බදුන්ය. කැණීම්වලදී හමු වූ මෙවලම් අතර මියගිය දරුවන් බහා වළ දමා තිබූ විශාල ප‍්‍රමාණයේ වර්ණාලේපිත මැටි බදුන්ද කැපී පෙනේ.
ජේඩි යුගය ගත් විට එම සංස්කෘතිය වසර 1300කට වැඩි කාල පරාසයක් පැවතිණි.පච්ච වර්ණ පාෂාණ යොදාගෙන අගනා නිර්මාණ කිරීමට එම යුගයේදී ජනයා සමත් වී ඇත. කුඩා කුරුළු අකෘති , කැස්බෑවන්ගේ මෙන්ම මත්ස්‍යයින්ගේ ආකෘති, කලා නිර්මාණ වශයෙන් එළි දක්වා ඇත.


--චාමලී වනිගසිංහ--

No comments:

Post a Comment