Search This Blog

Thursday, July 19, 2018

ශ‍්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම මාධ්‍යවේදී ඝාතනය...

ශ‍්‍රී ලංකාවේ  සිදු වූ ප්‍රථම මාධ්‍යවේදී ඝාතනය...
(විමල් එස්. සුරේන්ද්‍ර ඝාතනය)

මාධ්‍ය නිදහස යන්න ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළත්, දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් එක සේ සංවාදශීලි මාතෘකාවකි. මෙරට ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාව මඟින්ම පිළිගෙන සහතික කර ඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අතිශය වැදගත්ය. අතීතයේ දී තොරතුරු හා දැනූම ප‍්‍රකාශයට පත් කිරීම සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම සහ ප‍්‍රාථමික මුලාශ‍්‍ර ඔස්සේ සිදුවිය. එහෙත් වර්තමානය වනවිට තාක්ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයක් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජ ගතවීමේ ක‍්‍රමික වර්ධනයත් සමඟ ප‍්‍රකාශන නිදහස පිළිබඳව සාකච්ඡුාවට  ලක්විය. එමනිසා වර්තමානය වනවිට තොරතුරු ප‍්‍රකාශනය හා බැඳුණු මාධ්‍ය නිදහස අතර ඝට්ටනයක් පවතී. යම් සිදුවීමක් පිළිබඳව විස්තරාත්මක ආකෘතියක් ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ශක්‍යතාව  පවතින්නේ පුවත්පතටය. ඇතැම් අවස්ථාවල දී පුවත්පත් කලාවේදීන් යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා කිරිමේ දී එහි අනන්තය දක්වාම ගොස් පාඨකයාට සත්‍ය හා විශ්වාසනීය තොරතුරු අපක්ෂපාතී වාර්තාකරණයක් හරහා ලබා දීමට උත්සාහ කරයි. මෙහි දී සිදුවීමට අදාළ පුද්ගලයා කවරෙක්ද? ඔහු නියෝජනය කරන සමාජ පන්තිය කුමක්ද යන කාරණා පුවත්පත් කලාවේදියාට අදාළ වන්නේ  නැත. ඔහුට අවශ්‍ය වන්නේ පාඨකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උපරිම ආකාරයෙන් සම්පුර්ණ කිරීමට වේ.

මේ නිසා විද්‍යුත් මාධ්‍යයට සාපේක්ෂව විශේෂයෙන්ම පුවත්පත් වාර්තාකරණයේ දී මාධ්‍යවේදීන් විවිධාකාර වු ශාරීරික හා මානසික හිංසනයන්ට ලක් වී තිබේ. හිංසනය යනුවෙන් අර්ථවත් වන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මඟින් හිරිහැරයට හෝ පීඩාවට පත්වීමය. මෙය හිරිහැර කිරීම, අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම, රඳවා තබාගැනීම, ඝාතනය කිරීම, පවුලේ සාමාජිකයන්ට හිරිහැර සිදු කිරීම යනාදිය ශාරීරික හිංසනයට අයත් වේ. තර්ජනය කිරීම, රැකියාව අහිමි කිරීම, මාධ්‍ය ආයතන වසා දැමිම, මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගන්න බව ප‍්‍රකාශ කිරීම මානසික හිංසනයන්ට අයත් වේ.

          "ජනමාධ්‍යවේදියාගේ රස්සාව යනු ඇත්ත වසන් කිරීමම රස්සාක් කරගත් අය පිළිබඳ ඇත්ත කීමය."
                                                                                                                                 --බිල් මොයර්ස් --

මෙම නිර්වචනයට අනුව පැහැදිලි වන්නේ ජනමාධ්‍යවේදියා යනු සත්‍යය ගවේෂණය කරමින් නිවැරදි දේ වාර්තා කිරීම වෙනුවෙන් කි‍්‍රයා කරන්නෙකු වන බවයි. ඇත්ත වසන් කරන්නන්ගේ තොරතුරු සොයා යාමේ දී ජනමාධ්‍යවේදියාට ඇතැම් අවස්ථාවල හිංසනයට ලක්වීමට සිදුවේ. එහෙත් ඔහුගේ කාර්යය නිසි පරිදි සත්‍ය තොරතුරු වාර්තා කිරීමයි.

එක්සත් ජනපදයේ ඇති ප‍්‍රධානතම ආයතනය වන්නේ වෘත්තියමය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයයි. එහි සදාචාර සංග‍්‍රහයේ පූර්විකාවේ දැක්වෙන පරිදි,

           "ජනතාව දැනුවත් කිරීම සාධාරණත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනමය. පත‍්‍රකලාවේදීන්ගේ වගකීම නම්                සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබදව සාධාරණ විස්තරයක් සැපයිම වේ. පත‍්‍රකලාවේදීන් මහජනයාට                අවංක විය යුතුය. වෘත්තිය අවංක භාවයේ පදනම වන්නේ පත‍්‍රකලාවේදියාගේ විශ්වාසනියත්වයයි."

        "පුවත්පත් නැති ආණ්ඩුවක් ඇති සමාජයක් සහ ආණ්ඩුවක් නැති පුවත්පත් ඇති සමාජයක් අතර                     තේරීමකට බල කෙරෙතොත් නොපැළකිලිවම මා තෝරා ගන්නේ දෙවැන්නයි."
                                                                                                                       --තෝමස් ජෙෆර්සන්-- 
මෙම  නිර්වචනයට අනුව  පුවත්පත් මාධ්‍යය යනු ගාමක බලවේගයක් හිමි සමාජයේ පෙර ගමන්කරුවෙකු බව පැහැදිලි වේ.

           " සෑම පුවත් සංවිධානයක්ම ඔවුන්ගේ විශ්වාසවන්තනීය බව සහ කීර්තිය මත රැඳී පවතී."
                                                                                                                        --ටෝනබර්මන් -- 

 සත්‍යවාදී බව, නිවරදි බව, වාස්තවික බව, අපක්ෂපාති බව, සාධාරණ බව හා ජනතාවට වගකීම මේවා පුවත්පත් ලබාගැනීමේ දී හා ඒවා ජනතාවට ලබාදීමේ දී ඉතා වැදගත් වේ.

ඇතැම් විට පත‍්‍රකලාවේදීන් සිය මූලාශ‍්‍ර සමග කටයුතු කිරීමේ දී රහසිගත බව සුරැකිය යුතුය. මෙයට අනුව පොලීසිය හෝ නීතීඥවරුන් ඉදිරියේ පවා සිය මූලාශ‍්‍රවල අනන්‍යතාව සුරැකීමට පත‍්‍රකලාවේදීන් බැඳී සිටි. එහෙත් මූලාශ‍්‍ර හෙළි නොකිරීම නිසා මාධ්‍යවේදීන් සිරගත කිරීමට පවා සිදු වී ඇත.

පත‍්‍රකලාවේදීන්ගේ අයිතිවාසිකම් රටින් රටට වෙනස් වේ. උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ රජයට සම්බන්ධ තොරතුරු සුරැකීම සඳහා වැඩි බලයක් ඇති අතර එක්සත් ජනපදයේ මෙන් නොව මෙහි දී මූලාශ‍්‍ර හෙළි කිරීමට මාධ්‍යවේදීන්ට දැඩිව බලපෑම් කළ හැක. සිම්බාබ්බේ සහ මහජන චීනය වැනි රටවල දේශීය හා විදේශීය පත‍්‍රකලාවේදීන් වද හිංසාවට ලක් කිරීමේ ඉතිහාසක් ඇත.
තම පාඨකයා උදෙසා උපරිම ආකාරයෙන් සත්‍ය හා විශ්වසනීය තොරතුරු ලබාදෙමින් වාර්තාකරණයේ නිරත වනවිට ඇතැම් අවස්ථාවල මාධ්‍යවේදීන් හිංසනයට ලක්වන බව පැහැදිලිය.
නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක තොරතුරු දැනගැනීමේ හා ප‍්‍රකාශනයේ නිදහස තිබිය යුතුය. එහෙත් අපේ රටේ මේ වෙනුවෙන් පවතින ඉඩ ප‍්‍රස්ථාව පිළිබඳව සතුටු විය නොහැකිය. පුවත්පතක සේවය කරන පුවත්පත් කලාවේදීන්ට සිය අභිමතය පරිදි මාධ්‍යය හැසිරවීමට නොලැබේ. මෙහිදී ඔවුන්ට  විවිධ වු අභියෝගයන්ට මුහුණ දීමට සිදුවේ. ඇතැම් විට පුවත්පත් කලාවේදීන්ට පුවත්පත් දේශපාලනයට අනුගත වීමට සිදුවේ. තමන්ගේ පෞද්ගලික දේශපාලන අදහස් අනුව පෞද්ගලික ජිවිතය තුළ කටයුතු කිරීමේ අවස්ථා ද ඇතැම් විට ඇහිරී යයි. හිමිකාරීත්වයේ පක්ෂපාතීත්වය මත තම දරන දේශපාලන අදහස් හා කි‍්‍රයාකාරකම් වෙනස් කරගත යුතුය. එසේ නොවුණහොත් රැකියාව අහිමි විය හැකිය.

1947 මැතිවරණ සමයේ "පෙරමුණ" සතිපතා පුවත්පත ඇසුරින් මීට උදාහරණයක් දැක්විය හැකිය. එහි හිමිකාරිත්වය දැරූ පිරිසකට එම මැතිවරණයේ කැලණිය ආයතනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වු ජේ. ආර් ජයවර්ධන ද අයත් විය. පුවත්පත් වාර්තාකරුවකු වු ධර්මසිරි ජයකොඩි මැතිවරණයේ දී සමසමාජ පක්ෂ අපේක්ෂකයාට පක්ෂව කටයුතු කළේය. එහි අවසන් ප‍්‍රතිඵලය වුයේ පසුදා ඔහු කාර්යාලයට ගියවිට සේවයෙන් ඉවත් කළ බව දන්වා සිටීමයි. මේ අනුව පැහැදිලි වන්නේ මාධ්‍යවේදීන් මර්දනය කිරීම කුමන රජයක් පැවතිය ද නතර නොවන බවයි. පසුගිය ආණ්ඩුව ඇතුළත මාධ්‍යවේදීන් මර්දනයට ලක්වීමෙහි ඉහළ ප‍්‍රවණතාවයක් දක්නට තිබුණි. එහෙත් වර්තමානයේ පවතින රජය යටතේ එහි යම් අඩු බවක් දක්නට තිබේ. ඒ කෙසේ වුවද මෙම නිදහස කොතෙක් දුරට පවතීද යන්න නිශ්චිතව කිව නොහැකිය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම මාධ්‍යවේදී ඝාතනය ලෙස විමල් එස්. සුරේන්ද්‍ර මහතාගේ ඝාතනය 1981 ඔක්තෝ්ම්බර් 26 වැනි දින වත්තල දී සිදු විය. දිවයින පුවත්පතේ ඡයාරූප ශිල්පියෙකු වූ විමල් එස්. සුරේන්ද්‍ර මහතාගේ මරණය කුමන්ත‍්‍රණකාරී මිනිස් ඝාතනයක් බවට වන සැකය දිගු කලක් තිස්සේ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පවතී. එතැන් පටන් ෆ‍්‍රීඩම් හවුස් දත්ත අනුව 1982-1999 කාලසීමාව තුළ මාධ්‍යවේදීන් 488 දෙනෙකු පැහැර ගෙන යාම හෝ අතුරුදහන් වීම සිදුව තිබේ. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මාධ්‍ය නිදහස, මාධ්‍යවේදීන්ගේ අභිමතය පරිදි මාධ්‍යය හැසිරවීමට අවශ්‍ය වාතාවරණය රට ඇතුළත නිර්මාණය කළ යුතු කාලය එළඹ ඇත.

භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස

මානවයා සතු ප‍්‍රකාශන නිදහස තොරතුරු ලබා ගැනීමේ අයිතිය  1948  දෙසැම්බර් 10 වන දින එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයෙන් සම්මත කොට ප‍්‍රකාශයට පත් කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයෙන් තහවුරු කොට තිබේ. එනම් 18 හා 19 වන වගන්තියේ වගන්ති කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි වේ. මෙහිදී ප‍්‍රකාශන නිදහස පිළිබඳ වඩාත් වැදගත් වන්නේ 19 වන වගන්තියයි. එනම්,

               "තම නිදහස් මත දැරීමට හා ප‍්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුට ම අයිතිය ඇත. අනුන්ට බාධාවක්                     නොමැතිව තම මතය දැරීමටත් දේශ සීමා නොසළකා කවර මාධ්‍යයකින් හෝ තොරුතුරු                               ලැබීමටත් තොරතුරු ලබා දීමටත් ඇති අයිතිය ඊට ඇතුළත් ය."

ඒ වගේම සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙන් 19 වැනි වගන්තිය ජනමාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට අදාළ වේ. ඒ මෙසේය,
  • බාධාවකින් තොරව අදහස් දැරීමේ අයිතිය සියලූ දෙනා සතුය.
  • ප‍්‍රකාශන නිදහස පිළිබඳ අයිතිය සියලූ දෙනා සතුය. 

දේශ සීමා නොසළකා වාචිකව, ලිඛිතව හෝ මුද්‍රිතව කලාවේ ස්වරූපයෙන් හෝ තමා කැමති   ඕනෑම මාධ්‍යයක් සියලූම ආකාරයේ අදහස් තොරතුරු සෙවීමේ ලැබීමේ හා පතුරුවා හැරීමේ නිදහස මේ අයිතියට අයත් වේ.
මෙලෙස මිනිසාගේ ප‍්‍රකාශන නිදහස භාෂණයේ නිදහස නෛතික වශයෙන් ආරක්ෂා කර ඇත. ඒ වගේම අපේ රටේ 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය මගින් සහතික කොට තිබේ. එනම්,

                 "සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස හා ප‍්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට                              හිමිකම් ඇත්තේය."

මෙසේ අයිතීන් ආරක්ෂා කර ඇති සේම එම අයිතීන් යම් යම් සීමාවන්ට ද ලක් කර තිබේ. ඒ වගකීමෙන් යුතුව මෙම නිදහස භුක්ති විඳීමට ඉඩකඩ සැලැස්වීමටයි. මන්ද   ඕනෑම පුද්ගලයෙකුට නිදහස තිබූ පමණින්   ඕනෑම දෙයක් ප‍්‍රකාශ කිරීමට නොහැකි වේ. කිසිවෙකුට හිංසා පීඩා වන ආකාරයට අදහස් පල කිරීමේ හැකියාවක් නොමැත. එලෙස අදහස් ප‍්‍රකාශ කළහොත් එය ශිෂ්ටසම්පන්න සමාජයක් වේද?

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 29 (2) හා 30 වගන්තිවලින් එය සීමා කර තිබේ. 29 (2) වගන්තියේ සඳහන් පරිදි,

           "සමාජයේ කිසිවෙකුට හිංසා හා පීඩා වන ලෙස සිය අයිතිවාසිකම් හා නිදහස භාවිත නොකළ යුතුය."

ඒ වගේම භාෂණයේ නිදහස ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පැනවූ අණ පනත් මගින් සීමා කර තිබේ. එනම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ (1978) 15 (2) ව්‍යවස්ථාව හා 15 (7) ව්‍යවස්ථාව මගින් සීමා කර තිබේ.

ප‍්‍රකාශන නිදහස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් හිමි කර දී ඇතත් 1980 සිටම ප‍්‍රකාශන නිදහස සීමා කර ඇති බවට කොතෙකුත් නිදසුන් ඉදිරිපත් කළ හැකිය. ෆ‍්‍රීඩම් හවුස් දත්ත අනුව 1982-1999 කාලසීමාව තුළ මාධ්‍යවේදීන් 4888 දෙනෙකු පැහැර ගෙන යාම හෝ අතුරුදහන් වීම සිදුව තිබේ.

1977 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය පහෙන් හතරක් වූ සිය අසීමිත පාර්ලිමේන්තු බලය පාවිච්චි කරමින් ජනමාධ්‍ය ප‍්‍රකාශන නිදහස සීමා කිරීම් දැක ගත හැකිය. ජයවර්ධන රජය බලයට පත් වී කෙටි කලක් තුළ මාධ්‍ය ප‍්‍රකාශන නිදහසට අභියෝග එල්ල වන්නට විය. එහි ප‍්‍රතිපලයක් වශයෙන් 1978 දී පාර්ලිමේන්තු වරප‍්‍රසාද සංශෝදනය කරමින් ජයවර්ධන රජය මාධ්‍ය මර්දනයේ පළමු පියවර තබමින් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට කැදවා නඩු අසා දඬුවම් කරනු ලැබීය. 

එතැන් පටන් ජයවර්ධන පාලනය තුළ ජනමාධ්‍ය නිදහසේ ගෙල ක‍්‍රම ක‍්‍රමයෙන් හිරවිය. මාධ්‍ය වෙත එල්ල වූ දැඩි පීඩනය හමුවේ මාධ්‍යවේදීන් නිහඬ විය. මාද්‍යවේදීන් වෙත මුදාහල තර්ජන, පහරදීම්, රඳවා තබා ගැනීම්, ජීවිත හානි වැනි මර්දනකාරී පිළිවෙත් හමුවේ මාධ්‍යවේදීන් අකර්මන්‍ය විය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම මාධ්‍යවේදී ඝාතනය ලෙස විමල් එස්. සුරේන්ද්‍ර මහතාගේ ඝාතනය 1981 ඔක්තෝ්ම්බර් 26 වැනි දින වත්තල දී සිදු විය. දිවයින පුවත්පතේ ඡයාරූප  ශිල්පියෙකු වූ විමල් එස්. සුරේන්ද්‍ර මහතාගේ මරණය කුමන්ත‍්‍රණකාරී මිනිස් ඝාතනයක් බවට වන සැකය දිගු කලක් තිස්සේ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පවතී. පුවත්පතක පළවන ප‍්‍රවෘත්ති සහ විශේෂාංග වඩාත් ඔපවත් වන්නේ ඒ සමග පළවන ඡයාරූප හේතුවෙනි. විමල් එස්. සුරේන්ද්‍ර මහතා එම අංශය ඔස්සේ දිවයින ඔපවත් කළ ඡයාරූප මාධ්‍යවේදියකු ලෙස සඳහන් කළ හැක. ප‍්‍රබල දේශපාලනඥයකුගේ බිරිඳකගේ ඡයාරූපයක් ලබා ගැනීම ඔහුගේ හදිසි අභාවයට හේතු වූ බව සමහරු ප‍්‍රකාශ කරති. එතැන් පටන් ෆ‍්‍රීඩම් හවුස් දත්ත අනුව 1982-1999 කාලසීමාව තුළ මාධ්‍යවේදීන් 488 දෙනෙකු පැහැර ගෙන යාම හෝ අතුරුදහන් වීම සිදුව තිබේ.

විමල් එස්.සුරේන්ද්‍ර ඝාතනය පිළිබඳ  හෙළිදරව්ව

දිවයින පුවත් පතේ ඡුායාරූප ශිල්පී විමල් එස්. සුරේන්ද්‍ර මහතා හදිසි රිය අනතුරකින් මිය ගියේ 1981 ඔක්තොම්බර් 26 වනදාය. රිය අනතුර සිදුවූවා යැයි කියන ස්ථානය වූයේ එ.ජා.ප වත්තල මන්ත‍්‍රීවරයෙකු වූ ජෝන් අමරතුංග මහතාගේ කදානේ නිවස ඉදිරිපිටදීය. පුවත්පත් ඡයාරූප ශිල්පියා සිය මෝටර් සයිකලයේ නැගී කොළඹ දෙසට ගමන් ගනිමින් සිටිය දී පාරේ ගමන් කරමින් සිටි මගියෙකුගේ අගේ හැපී ඒ සිදු වූ අනතුරෙන් ඡයාරූප ශිල්පියා  මියගිය බව බව ප‍්‍රකෘශ විය. සිද්ධිය සිදු වී ඇත්තේ රාත‍්‍රී 8 ත් 8.30 ත් අතර කාලයේ ය. කදාන පොලීසියේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇත්තේ රාත‍්‍රී 09 ට පමණය. එහිදී තමන් ජෝන් අමරතුංග මහතාගේ නිවස ඉදිරිපිට දී කොළඹ-මීගමුව පාරේ තුවාලකරුවන් දෙදෙනෙකු අනතුරට පත්වී මග වැටි සිටින බව දුටු බවත් එම තුවාල කරුවන් අසළ 9 ශ‍්‍රී 4180 දරණ යතුරු පැදිය කොළඹ දෙසට මුහුණලා කෙළින් අතට නවතා තිබුණු බවත් එම යතුරු පැදියට අඩියක් පමණ දුරින් වැටී සිටි තුවාල කරුගේ (ඡයාරූප ශිල්පියාගේ) හිස අසළ ලේ පැල්ලමක් තිබුණු බවත් අනෙක් තුවාලකරු ද ඒ අසළම වැටී සිටි බවත් ප‍්‍රකාශ කරනු ලැබීය. 

තුවාල කරුවන් දෙදෙනාම රාගම රෝහලට යවන ලදුව එහිදී අසාධ්‍ය තත්වයේ සිටි ඡයාරූප ශිල්පියා කොළඹ මහ රෝහලට යවන ලදුව එහිදී රාත‍්‍රී 1.00 ට පමණ මිය ගියේ ය. 

මෙහිදී ඡයාරූප ශිල්පියා ගමන් ගනිමින් තිබූ පාපැදිය  කෙළින් අතට සිටුවා තිබුණේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් නොවීය. ඔහු පැළද සිටි හෙල්හමටයට ද කිසිදු හානියක් සිදුවී තිබුණේ නැත. ඡයාරූප ශිල්පියා පැළද සිටි ඔරලෝසුව හා හෙල්මටය  පොලීසියට ලැබී තිබුණේ ජෝන් අමරතුංග මහතාගේ නිවසේනි. 
පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මතය වූයේ හිස් කබල පිපිරීම මෝටර් සයිකල් අනතුරකින් සේම පොලූ පහරකින් ද විය හැකි බවයි. සියලූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සුරේන්ද්‍ර මහතාගේ මරණය රිය අනතුරකින් සිදුවු මරණයක් බවට මරණ පරීක්‍ෂක වරයා තීන්දු කළේය. එහෙත් සිරුර ආදාහනය නොකොට භූමිදානය කිරීමට නියම කෙරිණි. 

කෙසේවෙතත් සුරේන්ද්‍රගේ මරණය පුවත්පත් කරුවන්ගේ බලවත් සැකයට හේතු වී තිබුණි. ඒ ගැන මාධ්‍යවේදීන් අතර විවිධ කතා ද පැතිර යමින් තිිබුණි.මේ අතර සුරේන්ද්‍ර මහතාගේ සහෝදරයෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාට පෙත්සමක් ඉදිරිපත් කරමින් නැවත පරීක්‍ෂණයක් ඉල්ලා සිටියේ ය. ඒ සමගම අබේරත්න මහතා කොළඹ හදිසි මරණ පරීක්‍ෂක වෝල්ටර් ඩි.පෙරේරා මහතා වෙත ද මේ අභිරහස් මරණය ආශ‍්‍රයෙන් මතුවන සැක පිළිබඳව  විස්තරාත්මක ලිපියක් යවන ලදි. ඒ මහතා නාගරික මරණ පරීක්ෂකවරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේ ය.

                                                                                                                                1982 මාර්තු 19 දින, 
                                                                                                                      143,හල්ලොලූව පාර,
                                                                                                                      මහනුවර.

නාගරික මරණ පරීක්‍ෂක, 
වෝල්ටර් ඩි.පෙරේරා මහතා,
මරණ පරීක්‍ෂණ උසාවිය, 
මහ රෝහල,
කොළඹ.

මැතිතුමනි,

වර්ෂ 1981 ඔක්තොම්බර් මස 26 වැනි දින හදිසියේ මියගිය ප‍්‍රසිද්ධ පුවත්පත් ඡුායාරූප ශිල්පී සෝමරත්න විමල් සුරේන්ද්‍ර මහතාගේ අභිරහස් මරණය සම්බන්ධවයි. දැනට ඔබ තුමා ඉදිරියේ පරීක්‍ෂණය වන මෙම මරණය සම්බන්ධයෙන් මියගිය සුරේන්ද්‍ර මහතාගේ සොයුරෙකු වන මා විසින් 1981 ඔක්තොම්බර් මස 29 දින සිට නොයෙක් නොයෙක් අයුරින්,  නොයෙක් නොයෙක් පුද්ගලයන් හමු වී රහසිගතව කරුණූ සොයා බැලීමෙන් ද ක\න, රිලවුල්ල, කපුවත්ත, රාගම සහ ඒ අවට මා රහසිගතව ඇවිදීමෙන් යම් යම් පුද්ගලයන් සමග කතා බස් කිරීමෙන් සොයාගත් තොරතුරු අනුව , 1981 දෙසැම්බර් මස 14 වැනි දින කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්තුමා වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් මෙම අභිරහස් මරණය පිළිබඳව නැවත සම්පූර්ණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියෙමි.
ගරු මැතිතුමනි, මා සොයා දැනගත් කරුණු අනුව ද ,මෙම මරණය යම් පිරිසක් විසින් කුමන්ත‍්‍රණය කර පහර දීමකින් සිදු කරන ලද අභිරහස් මරණයක් මිස රිය අනතුරකින් සිදු වූ මරණයක් නොවන බව ද, මා වටහා ගතිමි.වැඩිදුරටත් මෙම මරණය පිළිබnda 1981.10.29 දින සිට පැවති සෑම මරණ පරීක්‍ෂණ දිනකටම මම ද සහභාගී වීමි. එහිදී අනාවරණය වූ කරුණු අනුව ද කදාන පොලීසිය ක‍්‍රියා කරන අයුරු ද ඉතා හොඳින් පරික්‍ෂාවෙන් වටහා ගතිමි. 
1981 ඔක්තොම්බර් මස 26 වැනි දින මෙම මරණය සිදුවු දින සිටම කදාන පොලීසිය මෙම මරණය වසන් කිරීමට කටයුතු කර ඇති අයුරු මැනවින් වැටහේ. අභිරහස් ලෙස මරණය සිදුකිරීමට කුමන්ත‍්‍රණය කරන ලද මාරාන්තික පහරදීම සිදු කරන ලද මිනී මරුවන් ආරක්‍ෂා කිරීමට කදාන පොලීසියේ නිලධාරීන් මහතුන් උත්සහ කරන බැව් ද, පොලීසියේ නිලධාරීන් විසින් නොයෙක් නොයෙක් විට ක‍්‍රියාකරන අයුරෙන් මනාව ඔප්පු වේ. 
ගරු මැතිතුමනී, නීතිය ආරක්‍ෂා කිරීමට බැදී සිටින ජනතාවගේ ආරක්‍ෂකයන් ලෙස සැලකෙන ශ‍්‍රී ලංකා පොලීසියේ අවංක නිලධාරී  මහතුන්ගේ හොඳ නමට, ගරුත්වයට කැලලක් වන, අපහාස වන අයුරින් කදාන පොලීසිය විසින් ක‍්‍රියා කර ඇති අයුරු ගැන මා බලවත්සේ කම්පාවට පත්වී සිටින අතර කදාන පොලීසිය විසින් මෙම මරණය සම්බන්ධයෙන් සත්‍ය සාධාරණ පරීක්‍ෂණයකට කරුණු ඉදිරිපත් නොකරන බැව් මගේ වැටහීම වන අතර ක\න පොලීසිය ගැන මාගේ කිසිදු විස්වාසයක් නොමැති බව දන්වන අතර දැනට උද්ගතවී ඇති තත්වය අනුව මාගේ ජීවිතයට ද යම් අයුරකින් අනතුරක් සිදු කිරීමට ද කටයුතු කරාවියැයි මා තුළ සැකයක් පවතී.
ගරු මැතිතුමනි, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්තුමා ඉදිරියේ මෙම මරණ පරීක්‍ෂණය පැවැත්වෙන විට මෙය අභිරහස් කුමන්ත‍්‍රණකාරී මිනීමැරුමක් බවට ඔප්පු කිරිමට අදාළ කරුණු මාගේ නීතීීඥ මහත්වරුන් මගින් උසාවියට ඉදිරිපත් කරමි. ක\න පොලිස් නිලධාරීන්ගේ නීති විරෝධි ක‍්‍රියාවන් පිළිබඳව සිතා බලන විට කිසිසේත් මට සෑහීමකට පත්විය නොහැකි බව ඉතා කණගාටුවෙන් දන්වා සිටිමි. මේ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු වේවායයි බලාපොරොත්තු වෙමි. ස්තූතියි! 
                                                                                   මෙයට, 
                                                                                   ඩබ්ලිව්.ඇස්.අබේරත්න.
                                                                                           (විමල් ඇස්.සුරේන්ද්‍රගේ වැඩිමහල් සොහොයුරු)


දෙවැනි වරට පැවති මරණ පරීක්ෂණයේ දී පොලීසිය නිසි වේලාවට අවශ්‍ය සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින බවක් හෙලිදරව් වී ඇත. ඇතැම් දිනවල පොලීසියේ සාක්ෂිකරුවන් පවා උසාවියට එ්මෙන් වැළකී සිටින බවක් වාර්තාවන් අතර වෙයි. දෙවැනි පරීක්ෂණයේ දී රාගම රෝහලේ වෛද්‍යවරයෙකු වන ප‍්‍රසාද් අබේසිංහ මහතා සාක්ෂි දෙමින් පවසා ඇත්තේ ශිල්පියා සමග රැගෙන ආ අනෙක් තුවාලකරු එම වෛද්‍යවරයා රාත‍්‍රී 9.30 ට පමණ පරීක්ෂා කළ බවත් රෝගියා පරීක්ෂා කරන අවස්ථාව වන විට ඔහු බීමත්ව හොඳ සිහියකින් සිටි බවත් ඔහුගේ හිසේ වම් පැත්තේ අගල් 2ක් පමණ දිගටත් වම් කකුලේ හා දකුණු කකුලේ සීරීම් තුවාල තිබූ බවත් මෝටර් සයිකලයක් පිටුපසින් පැමිණ හැපුණු බවට ප‍්‍රකාශ කළත් ඔහුගේ ශරීරය පිටුපස කිසිම තුවාලයක් නොතිබූ බවත් මෝටර් රථ අනතුරක් නිසා සිදු වූ තුවාල බව පෙනෙන්නට නොතිබූ බවත් ප‍්‍රකාශ කර ඇත. තුවාලකරුගේ තුවාලවලට බෙහෙත් දැමූ පසු ඔහු රෝහලෙන් ඉවත් වී ඇත්තේ ද සිය කැමැත්තෙනි.  

දෙවැනි පරීක්ෂණය සිදුවන අතරතුර දී  ශිල්පියාගේ සහෝදරයාට ද විවිධ ජීවිත තර්ජන එල්ල වී ඇත. ලංකාදීප පත‍්‍රයේ එවකට සිටි කර්තෘ එල්මෝ ගුණතිලක මහතා ඒ බව ප‍්‍රකාශ කර ඇත. ඡයාරූප ශිල්පී විමල් එස්. සුරේන්ද්‍ර සහෝදර අබේරත්න මහතා ඡයාරූප ශිල්පියාගේ මරණය පිටුපස ඇති අභිරහස අනාවරණය කර ගැනීමට තමන් දරන උත්සාහය විස්තර කරමින් ඒ සඳහා තමන්ට සහය ඉල්ලමින් මියගිය ඡයාරූප ශිල්පියාගේ ස්වාමියා ලෙස සැලකිය හැකි උපාලි විජේවර්ධන මහතා වෙත ද 1982 ජූනි 02 වැනි දින ආයාචනාත්මක ලිපියක් ලියා තිබේ. එය මෙසේය.

                                                                                                                                      466, සමන්පාය,
                                                                                                                                          ගොහාගොඩ,
                                                                                                                                         කටුගස්තොට.
                                                                                                                                          1982 ජුනි 02

ගරු උපාලි විජේවර්ධන මහත්මයා,
උපාලි පුවත්පත් සමාගම,
233, බ්ලූමැන්ඩල් පාර,
කොළඹ 13.

      ගරු මහත්මයාණෙනි,

ඔබතුමාගේ පුවත්පත් ආයතනයේ මාණ්ඩලික ඡයාරූප ශිල්පියෙකු ලෙස සේවය කරමින් සිටිය දී, 1981 ඔක්තෝම්බර් 26 දින කද්‍රනේ ජෝන් අමරතුංග මැතිතුමාගේ නිවස ඉදිරියේ දී අභාග්‍ය සම්පන්න ලෙස මියගිය විමල් එස්. සුරේන්ද්‍රගේ වැඩිමල් සොහොයුරා වන ඩබ්. අබේරත්න වන මම මියගිය සුරේන්ද්‍රගේ අභිරහස් මරණය පිළබඳව අධිකරණය හමුවේ නඩු පවරා දැනට එය අභිරහස් කුමන්ත‍්‍රණකාරී මිනීමැරුමක් බව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් කරුණු අනාවරණය කරගෙන ඇත. 

මාගේ මියගිය සොහොයුරා වෙනුවෙන් යුක්තියේ සාධාරණ තීන්දුවක් අපේක්ෂාවෙන් කටයුතු කරගෙන යන අවස්ථාවේ මාගේ මේ ප‍්‍රයත්නය මග හැරවීමට මේ සම්බන්ධව කටයුතු කරන පොලීසියත් ඇතැම් දේශපාලන කණ්ඩායම් ද උත්සාහා කරන බව පැහැදිලිව පෙනේ. ගරු මැතිතුමෙනි, මෙවැනි බැරෑරුම් තත්ත්වයක් ඉදිරියේ මෙම නඩුව තවත් ඉදිරියට ගෙනයෑම අසරණ මට ඉතාමත් අසීරු දෙයකි. එහෙයින් යුක්තියේ නාමයෙන් මාගේ සොහොයුරාගේ මරණයට වගකිය යුත්තන් නීතියේ රැහැනට අසු කර දීමට ඔබතුමාගේ කාරුණික සහයෝගය ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි!
                                                                                               මෙයට, 
                                                                                               ඩබ්ලිව්.ඇස්.අබේරත්න.
                                                                                                       (විමල් ඇස්.සුරේන්ද්‍රගේ වැඩිමහල්                                                                                                                   සොහොයුරු)


සිය සහෝදරයාගේ අභිරහස්  මරණය පිළිබඳව කරුණු සොයා බලමින් සිටි විමල්ගේ සහෝදර අබේරත්න මහතා වෙත එල්ල වෙමින් තිබුණු මරණ තර්ජන හේතු කොටගෙන අබේරත්න මහතා ද මැදපෙරදිග රැකියාවක් සොයාගෙන රට අතහැර ගියේය. ඒ සමග ඡයාරූප ශිල්පියාගේ අභිරහස් මරණය පිළිබඳව කෙරෙන පරීක්ෂණ කටයුතු ද යටපත් විණ.

විමල් එස්. සුරේන්ද්‍ර, උපාලි විජේවර්ධන මහතා විසින් ආරම්භ කරන ලද  "දිවයින" පුවත්පතට එකතු වී තිබුණේ 1981 සැප්තැම්බර්වලදීය. ඊට පෙර ඔහු කලක් "දවස" ආයතනයේද, "සිරිලක", "ජනදින" හා "ඇත්ත" යන පුවත්පත්වල ද වැඩ කොට තිබුණි. උපාලි විජේවර්ධන මහතා පුවත්පත් ව්‍යාපාරයක් ඇරඹීම පිටුපස දේශපාලන හේතු ද තිබූ බව පෙනීයයි. 
  
තමන්ගේ ළඟ ඥාතියෙක් වූ  උපාලි විජේවර්ධන මහතාට දේශපාලනයට එන ලෙස ජයවර්ධන විසින් ඒ වන විටත් ආරාධනා කර තිබූ අතර නිකම්ම දේශපාලනයට එනවා වෙනුවට පුවත්පත් ව්‍යාපාරයක් අරඹා ඒ මගින් වඩා ශක්තිමත් ප‍්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් දේශපාලනයට ඒම ඔහුගේ අරමුණ වී තිබූ බව පෙනී යයි. එහෙත් ජනාධිපතිවරයාට කිට්ටු සම්බන්ධයක් ඇති උපාලි වැනි ධනවත් තරුණ පුද්ගලයෙකු සිය පක්‍ෂයට එකතු වීම එ.ජා.ප යේ ඇතැම් ජේ්‍යෂ්ඨ නොසතුටට හේතු වී තිබුණි.නොසතුට පළ වී තිබූ ප‍්‍රධාන පුද්ගලයා වුණේ අගමැති ආර්.පේ‍්‍රමදාස මහතාය. අගමැති ආර්.පේ‍්‍රමදාස මහතා කෙරෙහි වන විරෝධයක් උපාලි විජේවර්ධන මහතා තුළ ද තිබුණි. සමහරවිට ජේ.ආර් ජයවර්ධන මහතාගෙන් පසුව පක්‍ෂ නායකත්වය තමාට ලබා ගැනීමේ යම් අරමුණක් උපාලි විජේවර්ධන මහතා තුළ ද තිබුණා විය හැකි ය. ඒ නිසාම පේ‍්‍රමදාස මහතා කෙරෙහි වන විශේෂ නොකැමැත්තක් ඔහු තුළ ද තිබුණි. මේ මතභේද හේතු කොට ගෙන උපාලි විජේවර්ධන මහතා අගමැති ප්‍රේමදාස මහතාට සිය පුවත්පත් මගින් සියුම් ලෙස පහර දෙන ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේ ය. 

උපාලි විජේවර්ධන මහතා විමල්ට නවීන කැමරාවක් ද දී පේ‍්‍රමදාස ආර්යාවට අදාළව විශේෂ වැඩකොටසක් බාර දී තිබුණි .විමල්ට අගමැති ආර්යාව සමගත් දැන හැදුනුම්කමක් තිබී ඇති බව ද පෙනී යයි. ඒ නිසා සිය ස්වාමියාගේ වුවමනාවට ගැලපෙන ලෙස ආර්යවගේ විශේෂ ඡයාරූප එකතුවක් සඳහා ක‍්‍රියාකිරීම ද අමාරු කරුණක් ද නොවීය. ඔහු අගමැති ආර්යාව ගැවසෙන ස්ථානවලට යමින් ඇය පිළිබඳව  මහජනතාව තුළ හාස්‍යයක් ඇති කිරීමට හේතුවන ඡයාරූප එකතුවක් පිළියෙල කරමින් සිටියේය. එසේ ලබාගත් එකතුව අතර ඇය ක‍්‍රියා කරන ඡයාරූප, අසුන් පිට යන ඡුායාරූප පිහිනුම් තටාක වල පිහිනීමට ඉගෙන ගන්නා හා ඊට අදාළ විවිධ ඉරියව් දැක්වෙන ඡුායාරූප ද විය.එංගලන්තයේ එලිසබෙත් රුජිණ ලංකාවට ආ ගමනේ දී ඇය "දිවයින" වෙනුවෙන් ආවරණය කළ ඡයාරූප ශිල්පියා වූයේ විමල්ය. රැජිණගේ තත්ත්වය හා ආර්යාවගේ තත්ත්වය තුළනාත්මකව දක්වන විශේෂ ඡයාරූප පිටුවක් විමල් ලවා පිළියෙල කොට පළකිරීමේ සැලැස්මක් උපාලි විජේවර්ධන මහතාට තිබී ඇත.

විමල්ට පෝල් රුද්‍රිගෝ නමින් ඥාති සහෝදරයෙකු සිටියේ ය. විමල්ගේ පුංචි අම්මාගේ දුව විවාහ කරගෙන සිටි ඔහු රෙකට් ඇන්ඞ් කෝල්මන් සමාගමේ විධායක නිලධාරියෙකු විය. විමල්ගේ මේ ඥාති සහෝදරයාට අරුණ කෝපි මුදලාලි නමින් වන සහෝදරයෙකු කදානේ සිටියේ ය. ඔහුගේ බිරිඳ ජෝන් අමරතුංග මහතාගේ බිරිඳගේ ඥාති සහෝදරයක් වු අතර ස්වාමි පුරුෂයා ජෝන් අමරතුංග මහතාගේ කිට්ටු ආධාරකරුවකු වන විට බිරිඳ වත්තල ඒ.ජා.ප කාන්තා සංවිධානයේ සභාපතිනිය විය. විමල් උපාලි විජේවර්ධනගේ වුවමනාව අනුව අගමැති ආර්යාවට අදාළ ඡයාරූප එකතුවක් පිළියෙල කරමින් සිටින බව හා ඔහු විශේෂ ඡයාරූප පිටුවක් පළ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් විමල්ගේ ඥති සහෝදරයා දැන සිටියේ ය. පෝල් මගින් ඒ බව අරුණ කෝපි මුදලාලිට සේම ඔහුගේ බිරිඳ ද දැනගන්නට ලැබුණි. ඔවුන් මගින් ඒ බව ඉහළින් සිටි තවත් පිරිසක් ද දැන ගත්තා විය හැකි ය.

1981 ඔක්තොම්බර් 26 වන දින විමල්ට රාජකාරි නිවාඩු දිනයක් වී ඇත. ඔහු නැවතුම් ගෙන සිටියේ ඔහු විසින් පවත්වාගෙන යමින් සිටි ඡයාරූප ශාලාව (ක‍්‍රිෂන්තා ස්ටුඩියෝ) පිහිටි බොරැල්ලේ  කොටා පාරේ අංක 131 දරණ ස්ථානයේ ය. ඔහු සමග එම කාමරයේ තවත් කීපදෙනෙකු ද නේවාසිකයන් ලෙස නැවතී සිටියේ ය. එදින උදේ සිය රෙදිපිළි සෝදාගත්තේ ය. දහවල් 2.30 ට පමණ පෝල්ගෙන් ලැබුණු දුරකථන පණිවිඩයක් අනුව රාත‍්‍රී නැවත තමන් ආපසු එන බව එහි සිටියවුන්ට ප‍්‍රකාශ කර සවස 6.30ට පමණ කදානේ, බටගම අරුණ කෝපි මුදලාලිගේ නිවසට යාමේ අරමුණින් සිය යතුරු පැදියෙන් කදාන බලා ගමන් කොට ඇත. සුරේන්ද්‍ර එනතෙක් ඔහුගේ ජීවිතය බිලිගත් අය මඟ බලා සිටියේ ය. සුරේන්ද්‍ර යතුරු පැදිය නවතා කෝපි ගෙදරට ගොස් තම හිසෙහි වූ හෙල්මටය ගෙදර ශාලාවේ ඇති ටීපෝව මත තබා ඇත. ඉන්පසු එහි සිට අරුණ මුදලාලි හා විමල් අතර බහින්බස් වීමක් ඇතිවී ඇති අතර එය ඉක්මණින් විමල් ඉලක්ක කොට කරන පහර දීමක් බවට පත්වීමක් ඇත. පහරදීම නිසා විමල්ගේ අතේ තිබු ඔරලෝසුව ද ඔහුගේ අතින් ගිලිහී ඇත. ආත්ම ආරක්‍ෂක සටන් ක‍්‍රමය පිළිබදව අවබෝධයක් තිබූ විමල් ඔවුන්ගේ ග‍්‍රහණයෙන් මිදී හෙල්මටයද පවා නැතිව යතුරු පැදියේ නැගී කොළඹ දෙසට පළා එන්නට වී ඇති අතර කෑගසමින් ඔහු පසු පස ලූහුබදින පිරිසට අසු නොවී ආරක්‍ෂා වීම පිණිස තමන් දන්නා හඳුනන නිවසක් වූ ජෝන් අමරතුංග මහතාගේ නිවස ඉදිරිපිට පාරේ යතුරු පැදිය නවතා නිවසට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ. ඒ අවස්ථාවේ ජෝන් අමරතුංග මහතාගේ නිවසේ සිටි සිරිල් ජිනදාස නමැති පුද්ගලයා (ඔහු අමරතුංග මහතාගේ නිවසේ සේවකයන්) මිදුලේ දී ඔහුගේ ඉදිරිගමන වැලකීමට උත්සාහ දරා ඇති අතර, ඒ සමග පසුපසින් ලූහු බැඳ ආ පුද්ගලයන් වෙතින් එල්ල වූ දැවැන්ත පොලූ පහරකින් විමල් සිහිසුන්ව බිම වැටී ඇත. සිහිනැතිව බිම ඇඳ වැටුණු විමල් කකුල් දෙකෙන් බිම ඇදගෙන විත් යතුරු පැදිය නවතා තිබූ ස්ථානයේ දමා ඇත්තේ ඉන්පසුවය.මේ සියල්ල සිදුවී ඇත්තේ අවට මිනිසුන් විශාල පිරිසක් බලා සිටියදී ය.

මේ සමස්ථ සිද්ධියම සියුම් ලෙස සැලසුම් කරන ලද කුමන්ත‍්‍රණයක් බව පෙනීයන්නේ විමල් මහ රෝහලේ දී මියගිය වහාම පොලිස් පරීක්‍ෂකවරයෙකු   විමල් නැවතුම් ගෙන සිටි බොරැල්ලේ කාමරයට කඩා වැදී ඔහුගේම යතුරෙන් ඔහුගේ කාමරය ඇර එහි තිබී ඇති හේමා පේ‍්‍රමදාස ආර්යාවට අදාළ ඡුායාරූප එකතුව හා උපාලී විජේවර්ධන මහතාගෙන් ඔහුට ලැබී තිබුණු කැමරාව ද රැගෙන යාමය. අනෙක් කාමරවල නැවතී  සිටි ඔහුගේ හිතවත් ජනමාධ්‍යයවේදීන් ඒ බව පුවත්පත්වලට ප‍්‍රකාශ කිරීම නිසා පුවත්පත්වල ඒ පිළිබදව ප‍්‍රවෘත්තියක් ද පළ විය. 

1981 පටන් අද දක්වාම  මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම, අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම, රඳවා තබාගැනීම, ඝාතනය කිරීම, පවුලේ සාමාජිකයන්ට හිරිහැර සිදු කිරීම යනාදී ශාරීරික හිංසනයන් මෙන්ම, තර්ජනය කිරීම, රැුකියාව අහිමි කිරීම, මාධ්‍ය ආයතන වසා දැමිම, මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගන්න බව ප‍්‍රකාශ කිරීම මානසික හිංසනයන් ද සිදු වෙමින් පවතී.

එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මාධ්‍ය නිදහස, මාධ්‍යවේදීන්ගේ අභිමතය පරිදි මාධ්‍යය හැසිරවීමට අවශ්‍ය වාතාවරණය රට ඇතුළත නිර්මාණය කළ යුතු කාලය එළඹ ඇත.

--චාමලී වනිගසිංහ--






1 comment: