Search This Blog

Thursday, May 31, 2018

ජනප‍්‍රිය සංස්කෘතිය.....


ජනප‍්‍රිය සංස්කෘතිය.....

ජනමාධ්‍ය හා සමාජය අතර පවතින සම්බන්ධතාවත් ජනමාධ්‍ය සමාජයට සිදු කරන බලපෑම් පිළිබඳ අධ්‍යයනයේ දී  ජනප‍්‍රිය සංස්කෘතිය වැදගත් මුලාශ‍්‍රයකි. ජනප‍්‍රිය සංස්කෘතිය යනු පවතින  සංස්කෘතික ලක්ෂණවලට නවීන ලක්ෂණයන් එක්වීමයි. සංස්කෘතිය නිරන්තරයෙන්ම වර්ධනය වන්නකි. එමනිසා ජනප‍්‍රිය සංස්කෘතික ලක්ෂණයන් ද  සංස්කෘතික අංග වලට එක්වී ඇත්තේ ඈත අතීතයේ සිටය. ජනමාධ්‍ය සංස්කෘතිය පිළිබඳ  හැදෑරීම් විවිධ ක්ෂේත‍්‍රවල දී වැදගත් වන්නේ එනිසාය. එය ස්වාධීනව පර්යේෂණයට ලක්කළ යුතු විෂය පථ බවට පත්ව ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳ විවිධ විද්වතුන් විසින් අදහස් දක්වා ඇත. එහිදී අවධානය යොමු කරන කරුණු දෙකක් පවතී. එනම්  රටක  සංස්කෘතික පදනම විනාශ කරන ලක්ෂණයන් ජනප‍්‍රිය සංස්කෘතිය තුළ පවතින බව සහ රටක ඉදිරි පැවැත්මට උපකාරී වන නව ජවයක්  ඇති කරලීමේ හැකියාවක් ජනප‍්‍රිය සංස්කෘතියට පවතින බවයි. බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ ජනමාධ්‍යවලින් විසුරුවා හරිනු ලබන විනෝදාස්වාදන ක‍්‍රමයන් මෙයට අයත්වන බවයි.

වර්තමානය වනවිට සමාජයේ සෑම අංශයක් කෙරෙහිම ජනප‍්‍රිය සංස්කෘතිය හිතකර සහ අහිතකර ලෙස බලපෑම් කෙරෙන අතර  ජනප‍්‍රිය සංස්කෘතියකින් තොරව කිසිදු සමාජ සාධකයක් විචාරය කිරීමට  නොහැකි තත්ත්වයට පත්ව ඇත. ආර්ථිකය, කලාව, දේශපාලනය, ආගම, අධ්‍යාපනය ආදී සෑම ක්ෂේත‍්‍රයක් තුළම  ජනප‍්‍රිය සංස්කෘතිය සිය අණසක පතුරුවා ඇතැයි පැවසීම නිවැරදිය. වර්තමානයේ ජනප‍්‍රිය සංස්කෘතිය සීමාව ඉක්මවා සමාජයට බලපෑම් සිදු කරන්නේ මානව  ක‍්‍රියාකාරිත්වය පදනම් කරගෙනය. ජනප‍්‍රිය සංස්කෘතිය විලාසිතාවක් බවත් ඒ පිළිබඳව සීමාව ඉක්මවා අවධානය යොමු කිරීමක් ද දැකගත හැකිය. ජනප‍්‍රිය සංස්කෘතිය තුළ පවත්නා සියල්ල ඒ ආකාරයෙන් බාර ගැනීම කළ යුතු යැයි හෝ අපේ සියලු සමාජ ක‍්‍රියාකාරකම් ජනප‍්‍රිය සංස්කෘතිය පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක කළ යුතුය යන නිගමනය  පිළිගත  නොහැකිය. කුමන  හෝ සංස්කෘතියක් ක‍්‍රියාත්මක වන්නේ මානව චින්තනය හා මානව  ක‍්‍රියාකාරකම් පදනම් කර ගැනීම තුළ බැවින් මානවයාගේ වගකීම වන්නේ යහ සමාජයක් ගොඩනැඟීම සඳහා ඒ ඒ සංස්කෘතීන් මුවහත් කිරීමය. එහෙත් අවාසනාවකට මෙන් ජනප‍්‍රිය සංස්කෘතිය කෙරෙහි අනවශ්‍ය අවධානයක්, සීමාරහිත අවධානයක් යොමුවීම නිසා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එයට අප අයත් විය යුතු බවය. එයින් ගම්‍ය වන්නේ මානවයාට මානව ක‍්‍රියාකාරකම් පාලනය කරගත නොහැකි බවයි. මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය කරන්නේ මානවයාය. එසේනම් මාධ්‍ය සංස්කෘතියේ නිර්මාණකරු ද මානවයා බව පැහැදිලිය. 
නිදසුනක් ලෙස  අද පවතින ආහාර බොහොමයක් ජනප‍්‍රිය සංස්කෘතිය සමග නවීකරණය වී ඇත. පවතින සංස්කෘතිකාංග තුළට නව අංග එක් කරමින් ජනප‍්‍රිය සංස්කෘතියක් නිර්මාණය කොට මාධ්‍ය හරහා පාරිභොගික ජනතාව ආකර්ෂණය කර ගනිමින් බොහොමයක් ආයතන ලාභ අපේක්ෂාවන් ඉටු කර ගනියි. නමුත් ඒ තුළ පවතින මුසාවාදිත බව පිළිබද මෙන්ම එම ආහාර ආහාරයට ගැනීමේ දී ශරීර සෞඛ්‍ය පළිබදව ද අවධානය යොමු කළ යුතුය.
සැබෑ යථාර්තය පිළිබඳව  ගවේෂණය කරන්නේ නම් වඩාත් ස්වාධීන, අදින, නිරවුල් ඇසකින්  විද්‍යාත්මකව හා  නිවැරදි පදනමක් යටතේ ලෝකය අවලෝකනය කළ හැකිය. එනිසා නව සංකල්ප බිහි වන තරමට මෙම  සංකල්ප අන්ධානුකරණයෙන් වැළඳ ගැනීම නො නොකළ යුත්තකි. වඩාත් කාලීන විධිමත් මිනුම් දඬු ඇසුරු කරගනිමින් නව සංකල්ප විචාරයකට ලක්විය යුතු කාලය එලඹී ඇතැයි මා හැඟි අදහසයි.

17 comments: