Search This Blog

Thursday, July 5, 2018

භාෂණ ප්‍රකාශන නිදහස....

විශ්වලිංගම්ට එදිරිව ලියනගේ නඩු තීන්දුව....


මාධ්‍ය නිදහස යන්න ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළත්, දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් එක සේ සංවාදශීලි මාතෘකාවකි. මෙරට ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාව මඟින්ම පිළිගෙන සහතික කර ඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අතිශය වැදගත්ය. අතීතයේ දී තොරතුරු හා දැනුම ප‍්‍රකාශයට පත් කිරීම සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම සහ ප‍්‍රාථමික මුලාශ‍්‍ර ඔස්සේ සිදුවිය. එහෙත් වර්තමානය වනවිට තාක්ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයන් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජ ගතවීමේ ක‍්‍රමික වර්ධනයත් සමඟ ප‍්‍රකාශන නිදහස පිළිබඳව සාකච්ඡාවට ලක්විය. එමනිසා වර්තමානය වනවිට තොරතුරු ප‍්‍රකාශනය හා බැඳුණු මාධ්‍ය නිදහස අතර ඝට්ටනයක් පවතී. යම් සිදුවීමක් පිළිබඳව විස්තරාත්මක ආකෘතියක් ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ශක්‍යතාව  පවතින්නේ පුවත්පතටය. ඇතැම් අවස්ථාවල දී පුවත්පත්  යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා කිරිමේ දී එහි අනන්තය දක්වාම ගොස් පාඨකයාට සත්‍ය හා විශ්වසනීය තොරතුරු අපක්ෂපාතී වාර්තාකරණයක් හරහා ලබා දීමට උත්සාහ කරයි. මෙහි දී සිදුවීමට අදාළ පුද්ගලයා කවරෙක්ද? ඔහු නියෝජනය කරන සමාජ පන්තිය කුමක්ද යන කාරණා පුවත්පත් කලාවේදියාට අදාළ වන්නේ  නැත. ඔහුට අවශ්‍ය වන්නේ පාඨකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උපරිම ආකාරයෙන් සම්පුර්ණ කිරීමට වේ. "සැටඬේ රිවීව්" දෙමළ පුවත්පත ජාතිවාදී කළබලවලට උරදෙන්නේය යන හේතුව මත 1983 දී තහනම් කළ ද විශ්වලිංගම් නැමැත්තා එතෙක්  තොරතුරු ලබා ගත්තේ සැටඬේ රිවීව් පුවත්පතෙන්වන නිසා පුවත්පත තහනම් කිරීමත් සමග ඔහුගේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය කඩ වී ඇත. මෙම නඩුව හා බැඳි තත්ත්වයන් භාෂණ ප‍්‍රකාශන අයිතිය සමග ඍජුව බැඳී පවතින නිසා ඒ පිළිබඳ විමසීමට ලක් කිරීම යෙහෙකි.

ව්‍යවස්ථාවේ 126 වන වගන්තිය හා 12 - (1), 14 (1)  වගන්ති  හා හදිසි නීතියෙහි 14 (3) රෙගුලාසිය අනුව (විවිධ නියෝග හා බලතල අනුව)  නිසි බලධාරියා "සෙනසුරාදා සමාලෝචනය" Saturday Review පුවත්පත මුද්‍රණය තහනම් කිරීම, පාඨකයින්ගේ සහ දායකයින්ගේ සමානාත්මතාවය හා කතා කිරීමේ නිදහස හා මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධවයි. 

නිසි බලධාරියාගේ අභිමතයෙහි හා පාඨකයින්ගේ හා දායකත්වයෙහි නීත්‍යානුකූල තත්ත්වය , ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 (7) වගන්තිය හා මහජන ආරක්‍ෂාව ආඥා පනතෙහිි 5 වන හා 8 වන වගන්ති අනුව.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක 85/83 ආයාඡනය මගින් 1 සිට 3 දක්වා පෙත්සම්කරුවන් ද, 6 සිට 8 දක්වා පෙත්සම්කරුවන් හා ‘‘සැටඬේ රිවීව්’’ පුවත්පතේ පාඨකයින්වන පෙත්සම් කරුවන් 6/84 ආයාඡනය මගින් ද සිරස්තලයක විධිමත් පාඨකයෙක්වන 5 වන පෙත්සම්කරු 85/83 මගින් ද හදිසි නීතියෙහි 14 (3) රෙගුලාසිය අනුව (විවිධ නියෝග හා බලතල අනුව) රජයේ හදිසි අවස්ථාව ප‍්‍රකාශ කිරීම හා එය මාසිකව අලුත් කිරීමට විරුද්ධව මෙම නඩු ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව රජයේ නිසි බලධරයා විසින් එම නීතය කි‍්‍රයාත්මක කරමින් 14 (3) රෙගුලාසිය අනුව " සැටඬේ රිවීව්" පත‍්‍රය තහනම් කොට එය මුද්‍රණය කිරීම හා බෙදා හැරීම වැළැක්වීමට එයට සීල් තබා තිබුණි. 1983.11.18 හා 1983.12.18 දින දරණ නියෝග මත මෙම පත‍්‍රය මුද්‍රණය හා ප‍්‍රචාරය කිරීම තහනම් කිරීමට විරුද්ධව එම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබුණි. එය නිසි බලධරයාගේ අසාධාරණ සැලකිල්ල හා වෙනස් ආකාරයේ සැලකිල්ලක් ලෙස පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණි. තවද මෙම නියෝගයෙහිි යුක්තියක් නැති බවත් නිසි බලධාරියා හුදෙක් ඔහුට එරෙහි චෝදනා එල්ල කර ඇත. ඔහුගේ නියෝගය සාධාරණිය කරනය කිරීම පිණිස කරුණු ඉදිරිපත් කර නැති බව දක්වා ඇත.

විරුද්ධ පාර්ශවයේ වග උත්තරකරුවන් පෙත්සම්කරුවන්ට නීත්‍යානුකූල තත්ත්වයක් නොමැති බවට වාද කරමින් එම නියෝග සාධාරණ බවත් අධිකරණයේ සමාලෝචනය කළ නොහැකි බවත් සඳහන් කරමින් ඔවුන්ට අසාධාරණ ලෙස සැළකීම හෝ වෙනස් ආකාරයකින් සැළකීම ඔප්පු කිරීමේ වගකීම පෙත්සම්කරුවන්ට පැවරෙන බව ප‍්‍රකාශ කළේය.

👉 විසුවලිංගම්ට එදිරිව ලියනගේ නඩුව විවාදයට ගැනීම :

විනිසුරු රොඩ්රිගු මහතා දක්වන පරිදි මූලික අයිතිවාසිකම්වල කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය
ඇති බැවින් එහි කියවන්නන් හා ප‍්‍රතිග‍්‍රාහකයාගේ නිදහස ද ඇතුළත් වන බැවින් ද එමනිසා  නීත්‍යානුකූල තත්ත්වයක් ඇති බැවින් 126 වගන්තිය යටතේ සහන අයැදීමේ අයිතය ඇති බව දක්වන ලදී. නමුත් ප‍්‍රතිග‍්‍රාහයකයාගේ මුලික අයිතිවාසිකම්  (හදිසි අවස්ථා රෙගුලාසි ඇතුලු) නිතියේ නිර්දිෂ්ඨ සීමාකිරීම් ජාතියේ ආරක්‍ෂාව පිණිස සීමා කිරීම්වලට යටත්වන බව සඳහන් කරන ලදී.  පොදු නියෝග සහ මහජන සෞඛ්‍ය, සදාචාරය ආදී අයිතිවාසිකම්වල ආරක්‍ෂාව පිළිගැනීම  පිණිස හෝ ප‍්‍රජාතන්නත‍්‍රවාදී සමාජයක පොදු යහපත 15 (7) වගන්තිය යටතේ  දක්වන ලදී.

මහජන ආරක්‍ෂක පනතේ 8 වන වගන්තියෙහි සඳහන් වන ආකාරයට හදිසි නීතියක් හෝ එම නියෝගයක්, පාලනයක් හෝ ඒ යටතේ දෙන නියෝගයක් කිසිම අධිකරණයක ප‍්‍රශ්න කළ නොහැකිය. තවද පෙත්සම්කරුවෙකුට කුමන අධිකරණයක් ඉදිරියේ හෝ 12 (1) හා 14 (1)  වගන්තිය හෝ 15 (7) වගන්තියෙහි විස්තර වන සීමා කිරීම් උල්ලංඝනය වී ඇති බවට ඔප්පු කිරීමට හැකි වුවහොත් එම සහන ලබාදීම වැළැක්විය නොහැකි බව සඳහන් වේ.

(1) 1983 ජුනි මස මෙම ‘‘සැටඩේ රිවීව්’’ පත‍්‍රයෙහි පළ වු තොරුතුරු ගැන සැළකිල්ලට ගැනීමේ දීී නිසි බලධාරියා අසාධාරණ බව පැවසිය නොහැක. නිසි බලධාරියා විසින් ‘‘සැටඩේ රිවිව්’’ පත‍්‍රයෙහි ප‍්‍රකාශකයාගේ මුලික අයිතිවාසිකම් නීත්‍යානුකූලව සීමා කර තිබේ. ඒ අනුව පෙත්සම්කරුවන්ගේ මෙන්ම පාඨකයන්ගේ හා දායකත්වය දරන්නන්ගේද මූලික අයිතිවාසිකම් සීමා වේ. 

(2) 12 වන වගන්තිය මගින් සාධාරණ වර්ගීකරණයක් තහනම් නොවේ. එයට හේතුව වී ඇත්තේ සැමදෙනාම ඒකාකාරව පිහිටුවා නැති බැවිනි. තවද සියලු අවස්ථා කිසිවිටක සමාන නොවේ. 12 වන වගන්තිය අනුව දැක්වෙන්නේ සමාන දෙදෙනක් අතර අසමාන ලෙස සැළකීම අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ලෙසයි. අවසර සහිත ගණිතමය විග‍්‍රහයක ඉතා සියුම් වෙනසක් විය හැකිවා මෙන්ම පරිසමාප්ත සමානාත්මතාවයක් ඇති විය නොහැක. එමෙන්ම පුවත්පත්වල සහ පාඨකයින් අතර ද එසේ ඇතිවිය යුතු නැත. විධායකයට පරිපාලන යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමේ දී  සිදුවන හානි තත්ත්වයේ මට්ටම් ගැන සිතීමෙන් නිදහස්ව එම  අවශ්‍යතාවය පැහැදිලිව අර්ථවත් වන්නේ  නම් එම සීමාකිරීම් කි‍්‍රයාත්මක කළ හැක. ‘‘සැටඩේ රිවිව්’’ පත‍්‍රය කි‍්‍රයාත්මක කර ඇත්තේ සැළකිය යුතු ප‍්‍රමාණයක් කැළඹීම් ඇති යාපනයෙහිය. තවද රටේ අනෙක් පලාත්වල මෙන් නොව එහි ජාතික ආරක්‍ෂාවට තර්ජන ඇත.

පුද්ගලයෙකු 126 වගන්තියෙහි ඇති නියෝග පිළිබඳව ආයාචනයක් කරමින් මුලික අයිතිවාසියක් කඩවීම හා සමානාත්මතාවය පිලිබඳ චෝදනා කරන විටදී විධායකයේ හෝ පරිපාලන කි‍්‍රයා මත සිදුවී ඇති වෙනස් සැලකිලි සිදුව ඇති ආකාරය ස්ථාපිත කිරීමේ අයිතිය ඇත්තේ ඔහුටය. නිත්‍යානුකූල නොවන වෙනස් ආකාරයේ සැළකිල්ලක් පිළිබඳව සමාන පුද්ගලයන් සමග තමන්ට කර ඇති වෙනස් ආකාරයේ සැළකිලි හා සීමා කිරිම් පිළිබදව ප‍්‍රමාණවත් විස්තර ඔහුගේ ආයාචනයෙහි සඳහන් කළ යුතුය. පෙත්සම්කරුවන් වෙනස් ආකාරයේ සැළකිලි කරන ලද පුද්ගලයන්ගේ සමානතාවය ස්ථාපිත කළහොත් රජය එය එසේ ලැබිය යුතු සහේතුක තර්කාන්විත හේතුවක් මත සිදු කර ඇති බවට කරුණු ඉදිරිපත් කළ යුතුය. එහෙත් එම සමානාත්මතාවය ස්ථාපිත නොකළහොත් 12 වන වගන්තිය යටතේ එම අයිතිවාසිකම් උල්ලංඝනය වීම ප‍්‍රතික්‍ෂෙප වන්නේය. පෙත්සම්කරුවන් තමන්වෙත පැවරී තිබු වෙනස්ලෙස සැලකීමේ චෝදනාව මනාව ස්ථාපිත කර නැත.

  • යොමු කරන ලද නඩු

1984 ජුනි 14
විමලරත්න විනිසුරු තුමා

‘‘සැටඩේ රිවිව්’’ පුවත්පත සිමාසහිත නිව් ඊරා ප‍්‍රකාශකයන් විසින් සතියකට වරක් නිකුත් කරන ඉංගි‍්‍රසි පුවත්පතකි. ප‍්‍රකාශන පති‍්‍රකාවක සඳහන්වන ආකාරයට එය ශී‍්‍ර ලංකාවේ සියලු පුද්ගලයන් හා ජාතින් වෙනුවෙන් නිකුත් කෙරෙන අසාධාරණයට විරුද්ධව නැගී සිටිින, වෙනස් ආකාරයේ සැළකිලි හා මානව හිමිකම් හා නිදහස පිලිබඳ දැක්වෙන පුවත්පතකි. එය දේශපාලන පමණක් නොව ප‍්‍රධාන වශයෙන් උතුරු පළාතේ සංස්කෘතික කටයුතු කෙරෙහි ද කැපවේ. 85/83 හා 6/84 පෙත්සම්කරුවන් එම පුවත්පතෙහි 1982 ජනවාරි සිට ආරම්භක ස්ථාවර පාඨකයන් වේ.  අංක 85/83 පෙත්සම්කරු එක් සිරස්තලයක ක‍්‍රමානුකූල දායකත්වයක් දරන්නෙකි. එයට ඔහුට සතියකට රු.250/- ක් ගෙවනු ලබයි. ඔවුන් සියලු දෙනාම ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් වන බැවින් මුලික අයිතිවාසිකම් හා 12 (1) වගන්තිය මගින් සහතික වන සහ 14 (1) අ  ව්‍යවස්ථාව මගින් දැක්වෙන අනෙකුත් පත්තර පාඨකයන්ගේ භාෂණයේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ඉල්ලයි. මෙම පුවත්පත් ප‍්‍රචාරය සම්පුර්ණයෙන් තහනම් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔවුන් පවසයි. 

83.05.18 දින රජය විසින් මහජන ආරක්‍ෂක පනත (40 වන පරිච්ඡේදය)  අනුව හදිසි නීතිය ප‍්‍රකාශ කරන ලදී. එම පනතේ 5 වන පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයා හදිසි නීතියක් කි‍්‍රයාත්මක කරන ලදී. එය  1983 අංක 1 යනුවෙන් හැඳින්වේ. හදිසි නීතිය මසින් මස අලුත් කිරීමේ තත්ත්වය මත මෙම නීති ද මසින් මස අලුත් විය. මෙහි පළමු වගඋත්තරකරු වන්නේ මේ සඳහා පත්කර ඇති නිසි බලධරයායි. දෙවන වගඋත්තරකරු වන්නේ පොලිස්පති තුමා හා 3 වන වගඋත්තරකරු වන්නේත් පොලිස්පති තුමාය.

එම පනතේ 14 (3) වගන්තිය යටතේ 1 වන වගඋත්තරකරු එම පනතේ බලතල අනුව 83.07.01 හදිසි නීතිය ක‍්‍රියාත්මක කරමින්,

(අ) එම දින සිට කිසිවෙක් මසක කාලයක් පුරා ‘‘සැටඩේ රිවිව්’’ පුවත්පත මුද්‍රණය කිරීම, ප‍්‍රචාරය කිරීම හෝ බෙදා හැරීම හෝ කුමන ආකාරයකින් හෝ එම පුවත්පත මුද්‍රණය කිරීම, ප‍්‍රචාරය කිරීම හෝ බෙදා හැරීම නොකළ යුතු බවට නියෝගයක් පනවන ලදී.

(අ) එම පුවත්පත මුද්‍රණය කරන ලද මුද්‍රණ යන්ත‍්‍රය එම දිනයේ සිට මසක් පුරා කුමන හෝ කාර්යයක් උදෙසා පාවිච්චි නොකළ යුතු බවට  නියෝග කර ඇත.

එම නියෝගය වරින් වර අලුත් කරන ලදී. වත්මන් ආයාඡනය ඉදිරිපත් කර ඇත්තේ අදාළ නියෝගය මත නිකුත් කර ඇති 83.11.18 හා 83.12.18 නියෝගයන්ට එරෙහිවය.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ කිසිම අවස්ථාවක ‘‘සැටඩේ රිවිව්’’ පුවත්පත ජාතික ආරක්‍ෂාවට, රාජ්‍ය ආඥා පනත සංරක්‍ෂණය කරවන නැතහොත් සමාජයේ අත්‍යාවශ්‍ය සේවාවන් සැපයුම් හෝ පවත්වාගෙන යාමට අගතියක් වන අයුරින් කිසිවක් මුද්‍රණය කර නැති බවය. තවද කිසිවෙක් කැරලි ගැසීම්වලට පොළඹවා හෝ කෝලහාලවලට හෝ සිවිල් ආරවුල්වලට පොළඹවා නැති බවය. එබැවින් නිසි බලධාරියා පවසන පරිදි ඔහුට අංක 14 (3) අනුව කි‍්‍රයාත්මක වෙමින් එසේ කටයුතු කිරීමේ හැකියාවක් නැත. ‘‘සැටඩේ රිවිව්’’ පුවත්පත ආරම්භයේ සිටම රජයේ සමහර අංශ කෙරෙහි තීරණාත්මක විය. හැරත් ආරක්‍ෂක අංශ හා පොලිස් නිලධාරීන් තමන්ගේ බලය පාවිච්චි කිරීමේ දී හැසිරුන ආකාරය පිළිබඳව අදහස් ප‍්‍රකාශ කරන ලදී. නිසි බලධාරියා විසින් ‘‘සැටඩේ රිවිව්’’පුවත්පත තහනම් කිරීම නිසා එම පුවත්පත ශුන්‍ය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පෙත්සම්කරුවන්ගේ තොරතුරු ලබාගැනීමේ නිදහස එම පත‍්‍රයට දායක වීමේ නිදහස නැතිවීම නිසා මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත. 

හදිසි නීතිය යටතේ නිසි බලධරයාට 14 (1) වගන්තිය යටතේ එම වාරණ නියෝගය එවැනි අනෙකුත් පත්තරවලට ද පනවන්නට බලය තිබුණි. එවැනි නියෝගයක් පමුණුවනවා වෙනුවට නිසි බලධාරියා . ‘‘සැටඩේ රිවිව්’’පුවත්පත මුද්‍රණය තහනම් කිරීමෙන් එය කියවන්නන්ට වැදගත් තොරතුර ලබාගැනීමේ අයිතිය අහිමි කර ඇතිවා මෙන්ම එහි දායකත්වය සහ පොදු ප‍්‍රශ්න වෙනුවෙන් ඔවුන්ට තොරතුරු ලබාගැනීමේ අයිතිය මෙන්ම පෙත්සම්කරුවන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේ. එමගින් ‘‘සැටඩේ රිවිව්’’පුවත්පත පාඨකයන් හා වෙනත් පුවත්පත් පාඨකයන් හා  දායකයන් අතර වෙනස් සැළකිලි සිදු කර ඇත. මෙයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියේ සහතික කර ඇති මුලික අයිිතිවාසිකම් උල්ලංඝනය වී ඇත. 

ඔවුන් නිසි බලධාරියාගේ ඉහත නියෝගය ශුන්‍ය හා බලරහිත ලෙස ප‍්‍රකාශයක් කරන ලෙසත් ඊට අනුෂාංගිකව 2 වන වගඋත්තරකරු සහ ඔහුගේ යටත් නිලධාරීන් ගේ කි‍්‍රයාවන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නියෝගවලට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටී. තවද ඔවුන් ඊට වන්දි හා නඩු වියදම් ඉල්ලා සිටී.

නිසි බලධරයාගේ දිවුරුම් ප‍්‍රකාශයෙහි ඔහු ‘‘සැටඩේ රිවිව්’’ පුවත්පත රට බෙදීමට හා උතුරේ හා නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට ඊලාම් රජයක් පිහිටුවීමට කටයුතු කරන දේශපාලන පුවත්පතක් ලෙස හඳුන්වා තිබේ. 

ලිපි ලේඛන රාශියක සහ ප‍්‍රකාශනයන් මගින් යෝජනා කර ඇති ආකාරයට ප‍්‍රචාරක කටයුතුවල දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයා වැලකුණහොත් අවිහිංසාවාදීව ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාව මුහුණපාන ප‍්‍රශ්නවලට ගිවිස ගැනීම් සහ ප‍්‍රචාරක කටයුතු මගින් පිලියම් යෙදීමේ හැකියාව වැළකෙන බැවින් එයට එකම විසඳුමක් ලෙස විවෘතව බලය හා ත‍්‍රස්තවාදය ඇතිකිරීමට ඔවුන් පෙළඹෙනවා ඇත. පුවත්පත් ද උතුරේ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ට කැපීපෙනෙන ප‍්‍රසිද්ධියක් ලබා දී තිබේ. විශේෂයෙන් ඔවුන්ම ද්‍රවිඩ ඊලාම් විමුක්තිවාදී පෙරමුණ (T.E.L.F)   කියාගන්නා සහ නොයෙක්විට එවැනි කි‍්‍රයාවන් වැඩිදියුණු කිරිමට ඒවා ප‍්‍රශංසාත්මකව අගය කරන හා නීත්‍යනුකූලව ස්ථාපිත රජයට එරෙහිව බලපෑම් ඇති කරන සහ එවැනි ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙන, තැන්පත්කමක් නැතිව ජාතිවාදී ලීලාවෙන් ලිපි සහ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන සහ නිරන්තරයෙන් එම ජාතියෙහි ජාතිවාදී හැගීම් ඇතිකරන දෙමළ ජනතාවට එරෙහිව කරන ලද බවට චෝදනාවන් දුක්ගැනවිලි හා අසාධාරණකම් කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කරන එමගින් රටේ ආරක්‍ෂාව හා රාජ්‍ය බලය පවත්වාගෙන යාමට අවහිරකම් ඇති කරයි.

නිසි බලධාරියා විසින් 1983.07.01 (T.E.L.F) දින ඉහත පළමු නියෝගය පැනවීමට පෙර T.E.L.F   සංවිධානය
විසින් උතුරේ ඇති කරන ලද මහා පරිමාණයේ ප‍්‍රචණ්ඩත්වය නිසා දේපලවලට බරපතල හානි සිදුවිය. ඔහුගේ අදහස වුයේ ‘‘සැටඩේ රිවිව්’’පුවත්පත (සහ යාපනයේ තවත් පුවත් පතක්) මුද්‍රා තැබීමෙන් තවදුරටත් එවැනි ප‍්‍රචණ්ඩත්වයන් ඉහළ නැගීම වැළැක්වීමට පිලියමක් වන බවය. ඔහු එය නිර්ව්‍යාජ භාවයෙන් කරන ලද්දකි. තවද එයින් සෑහීමකට පත්ව 1983 ට පෙර ‘‘සැටඩේ රිවිව්’’පුවත්පතෙහි පළ වු (අහඹුලෙස ගත් ලිපි හා ප‍්‍රවෘත්ති උපුටනයන් 1R1 සහ 1R 14) ජාතික ආරක්‍ෂාවට අගතියක් සිදුකරන ලිපි සහ රජයේ ආරක්‍ෂාවට හානිකරන ජාතිභේද විරෝධ හා සිවිල් ආරවුල් ඇති කරන ලිපි ඉදිරිපත්කර තිබේ. තවද 1 වන වග උත්තරකරු එමගින් 12 (1) සහ 14 (1) වගන්තිවලින් දැක්වෙන ආකාරයට පෙත්සම්කරුවනගේ මුලික අයතිවාසිකම් උල්ලංඝනය වී නැති බව විශේෂිතව පවසයි.

නීත්‍යානුකූල තත්ත්වය (Locus Standi) යටතේ  විවාදයට ගත් කරුණු අතර උගත් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා ව්‍යවස්ථාවේ 126 වගන්තිය අනුව පෙත්සම්කරුවන්ට නීත්‍යානුකූල තත්ත්වයක් නැති බවට තර්කයක් ඉදිරිපත් කළේය. එයට හේතුව වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ නිසි බලධරයා එම නියෝගය කර ඇත්තේ ‘‘සැටඩේ රිවිව්’’ පුවත්පතේ මුද්‍රණ කරුවන්ට ප‍්‍රකාශකවරුන්ට හා බෙදාහරින්නන්ට විමයි. තවද යම් පුද්ගලයෙකුට 12 (1) සහ 14 (1) වගන්තිවලින් කියැවෙන මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ගැන චෝදනා කළ හැක්කේ (අ) මුද්‍රණ කරුවන්ට ප‍්‍රකාශකයින්ට හා බෙදා හරින්නන්ට පමණක් බව සහ ඇත්ත වශයෙන්ම පාඨකයන්ට හා දායකත්වයට නොවන බවයි. 

‘‘සැටඩේ රිවිව්’’ පුවත්පතේ පෙත්සම් කරුවන්වන මුද්‍රණකරුවන්, ප‍්‍රකාශකවරුන් බෙදා හරින්නන් 126 වන වගන්තියේ නියෝග මත ආයාඡනයක් කර නැත. එබැවින් ඔවුන් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්ගේ නියෝගයෙන් සෑහීමකට පත්ව ඇත. පුවත්පත තහනම් කොට මාස 4ක කාලයක් ගත වුව ද එම පත්තරය තහනම් කිරීමේ  අධිකරණ නියෝගය ද පිළිගෙන ඇත. ඔහු විමසන්නේ එසේ නම් පාඨකයන් හා දායකයන් එසේ චෝදනා කරන්නේ කෙසේද කියාය? එය එසේ නම් මුද්‍රන කරුවන් හෝ යැපෙන්නන් හටද ප‍්‍රකාශකයන් හා බෙදා හරින්නන් මෙන්ම පත්තර විකුණන පාර්ශවය ද පුවත්පත තහනම් කිරීමෙන් තමන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වු බවට දක්වමින් වන්දි ලබාගත හැකිය යන්න සොල්සටර් ජනරාල්ගේ අදහස විය.

මේ සම්බන්ධයෙන් නඩේසන් මහතාගේ පිළිතුර වන්නේ කතා කිරීමේ නිදහස හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස විෂය සීමාව තුළ තොරතුරු ලබන්නාට තොරතුරු ලබාගැනීමේ නිදහස ඇතුළත්වන බවය. කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස අරථවත් කරන  අයෙකුට තොරතුර ලබන්නාගේ නිදහස පිළිබඳව ද, ප‍්‍රවෘත්ති සහ අදහස් පිළිබඳව ද සිතීමට සිදුවේ. ශී‍්‍ර ලංකාවේ රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී රජයක් පවත්වාගෙන යාමට සහතික වී ඇත. එහි අරමුණුවලින් එකක් වන්නේ සියලු ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමයි. මුලික අයිතිවාසිකම් හා කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ සීමා පනවා ඇත්නම් එම අරමුණු ඉටුවන්නේ කෙසේද යනුවෙන් නඩේසන් මහතා විමසයි. පාඨකයාගේ නිදහස හඳුන්වා දී නැත්නම් කතා කිරීමේ නිදහස කුහර සහිත සංකල්පයක් පමණකි. මේ සම්බන්ධයෙන් නඩේසන් මහතා, 

(අ) මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර කෙටුම්පතට අවධානය යොමුකරවයි. 1980 වෙසක් පුන් පොහෝ දින ශී‍්‍ර ලංකාව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් තබන ලදී. එහි 19 (2) වගන්තිය මගින් ‘‘එහි සියලු දෙනාට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නියම කර  තිබේ. මෙම අයිතියට අන්වේක්ෂන අයිතිය, සීමාරහිතව තොරතුරු  සහ අදහස් ලබාගැනීමේ හා බෙදාහැරීමේ අයිතිය සහ තමන්ගේ තීරණය අනුව කුමන හෝ මාධ්‍යයක් මගින් වාචිකව ලිඛිතව හෝ මුද්‍රිතව තොරතුරු ලබාදීමේ අයිතිය හිමිවේ.

(ආ) හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා ජාතික රාජ්‍ය සභාවේ විරුද්ධ පක්‍ෂයේ සිටින අවධියේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද පති‍්‍රකාවක සහ ඔහු සහ ඔහුගේ නීතිඥවරුන් ව්‍යවස්ථානුකූල අධිකරණයේ ප‍්‍රවෘත්ති මණ්ඩලය මෙසේ කරුණු ඉදිරිපත් කර ඇත. ‘‘සිතීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීම සහ පුවත්පත් නිදහස’’ මාතෘකාව යටතේ පහත පරිදි කරුණු දක්වා ඇත. 

1.1. කතා කිරීමේ නිදහස යන සංකල්පයට ප‍්‍රමුඛතා දෙකක් තිබේ. ඒවා නම් වශයෙන්,

            (අ)   එම සන්නිවේදය නිකුත් කරන ලද්දේ කුමන මාර්ගයකින්ද යන්න,  සහ
           (ආ)   සමහරවිට වඩාත් වැදගත් කරුණ වන්නේ සන්නිවේදන  ලබන්නන් පිළිබඳවය.

යමෙකුගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සීමා වී තිබේ. එමගින් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස අවශ්‍ය ලබන්නා දක්වා දීර්ඝ වේ. ඔවුන් ජනසමූහය නමින් හඳුන්වයි.

1.2.  මහජන මතය උපත ලබන්නේ එය ලබන්නාට ඇති නිදහස මතය. මුද්‍රණාලය එයට දත්ත සපයන අතර එමගින් එම නිගමනයන් ඔවුන්ගේ සම්පුර්ණ ප‍්‍රකාශනය ලබා ගනී. එබැවින් තොරතුරු ලබන්නා වශයෙන් මිනිසාගේ අයිතිය වන්නේ ඔහුට කැමති ප‍්‍රමාණයක් මාධ්‍යයවලින් ප‍්‍රවෘත්ති ලබා ගැනීමය. එබැවින් මුද්‍රණාලයට ද තමන්ට හැකි සෑම මාධ්‍යයකින්ම ප‍්‍රවෘත්ති ලබා දීමේ සම අයිතියක් ඇත. කෙසේ වුවද තොරතුරු මුලාශ‍්‍ර එකකට ඒකාග‍්‍ර වේ. නැතහොත් අංග කිිහිපයකට සීමාවේ. එවිට අදහස් නිර්මාණය වීම සීමා වේ. එවැනි වාතාවරණයක දී ජනතාවට තොරතුරු ලබාදීමේ මාර්ග සීමා කරනවාට වඩා පුළුල් කළ යුතුය. එබැවින් ප‍්‍රවෘත්ති නිදහසට මැදිහත් වීමේ සාධාරණයක් නැත. 

ඉහත දැක්වෙන ආකාරයට විශ්වලිංගම්ට එරෙහි ලියනගේ නඩුව පිළිබඳව විවාදයට ගැනීම්, අදහස්, මතවාද රැසක් ඉදිරිපත් වී ඇත.

"සැටඩේ රිවීව්" දෙමළ පුවත්පත ජාතිවාදී කළබලවලට උරදෙන්නේය යන හේතුව මත තහනම් කළ ද විශ්වලිංගම් නැමැත්තා එතෙක්  තොරතුරු ලබා ගත්තේ සැටඩේ රිවීව් පුවත්පතෙන්වන නිසා පුවත්පත තහනම් කිරීමත් සමග ඔහුගේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය කඩ වී ඇත.

නමුත් අද වන විට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී තිබුණ ද 1983 දී මෙම සිදුවීම සිදු වන කාලයවන විට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ සමාජ කතිකාවතට මුල පිරීමක් හෝ සිදු වී නැත. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබූ දුර්වලතාවයකි. එවක තිබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ලිඛිත වගන්තියක් අන්තර්ගත වී නොතිබිණ. 

එසේම නඩු තීන්දු මගින් නීතිය සෑදූ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම නඩුව ගුරු කොට ගනිමින් තොරතුරු ලබා ගැනීමේ අයිතිය ජනතාවට තිබෙන බව තහවුරු කළේය. ඉන්පසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ භාෂණ ප‍්‍රකාශන අයිතිය පිළිබඳ සඳහන් වූ නිසා එම වගන්තිය අනුව භාෂණයට සහ ප‍්‍රකාශනයට තොරතුරු ලබා ගත යුතුය යන තීරණයට එළඹ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  "සැටඩේ රිවීව්" පුවත්පත තහනම් කිරීම මගින් විශ්වලිංගම්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කඩ වී ඇති බව දක්වමින් නැවත පුවත්පත ආරම්භ කරන ලෙසට තීන්දුව ලබා දෙන ලදී.

👉 භාෂණ ප‍්‍රකාශන අයිතිය හා බැඳුණු වෙනත් රටවල නඩු තීන්දු :

(අ) රජයට එරෙහි කේ. නාරායන්ගේ තීරණය :-

මෙහිදී ඉන්දියානු ව්‍යවස්ථාවේ 19 (1)  වගන්තිය අනුව (අපගේ ව්‍යවස්ථාවේ 14 (1)  අනුරූපතාව) කතා කිරිමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අවබෝධය ලබාගැනීමේ අයිතිය ද ඇතුළත්ව ඇත. පොත් කියවීම, වාර සඟරා කියවීම,  ඕනෑම සාහිත්‍ය ග‍්‍රන්ථයක් කියවීම  සාධාරණ සීමාවන්වලට යටත්වේ. 

(ආ) ජෝජියාවට එරෙහිව ස්ටැන්ලි:-

මෙහි අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ පළමු සංශෝධනය යටතේ කතා කිරීමේ නිදහස සහ පුවතත්පත් තොරතුරු හා අදහස් ලබාගැනීමේ අයිතිය වටකර ඇති බවය. කෙසේ වුවද මෙම අයිතීන් නියත කර නැති බැවිින් වැදගත් යෝග්‍යයතාවලට යටත් වේ. 

මේ සම්බන්ධයෙන් උගත් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා තරයේ කියා සිටින්නේ, නවතා තිබෙන්නේ තොරතුරු ලබන්නාගේ අයිතිවාසිකම්  නොව ප‍්‍රකාශකයාගේ අයිතිය බවය. කියවීමේ අයතිය ගලා යන්නේ ප‍්‍රකාශනයෙනි. පුවත්පත තහනම් කළ බැවින් මුද්‍රණයක් නොවීය. එබැවින් යම් අයෙකු  මුද්‍රණයක් නොමැතිව කියවීමේ අයතිය ලබාගන්නේ කෙසේද? යන අදහස ඔහු මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරයි.

ශිෂ්ඨ  සම්පන්න රටවල කතා කිරීමේ නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ව්‍යවස්ථාවෙහි ගැබ් වී ඇත. එංගලන්තයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ ග‍්‍රන්ථවල සහ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවල මෙවැනි මනෝභාවයන් මෙවැනි මතයන් ගිල්වා ඇත. 


  • සර්  අයිවර් ජෙනිංග්සි ගේ ‘‘කැබිනට් රජය’’ ග‍්‍රන්ථයෙහි 13 වන පිටුවෙහි ‘‘ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම වන විචාර මැසිවිලි කීම සඳහා කතාවෙහි නිදහස නොමැතිව කළ නොහැක” යනුවෙන්  සඳහන් වේ.

(ඇ)  සදර්ලන්ඩ් විනිසුරුවරයා ඇමරිකන් ප්‍රෙස් සමාගමට එරෙහි ග්‍රොස්ජින්:-

‘‘නිදහස් පුවත්පත් රජය හා ප‍්‍රතිග‍්‍රාහකයා අතර අර්ථකථකයා වෙයි. එයට විලංගු දැමීම අප  විසින්ම විලංගු දාගත්තා වැනිය” යනුවෙන් නඩුවේ පවසා ඇත. 



අදහස් හුවමාරු කර ගැනීමට අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය. රජයට නිරාකරණය කිරීම පණිිස ප‍්‍රශ්නයක් ඇති විට දී ඒ සඳහා එක් මතයකට වඩා තිබිය හැක. එබැවින් සියලු අදහස් විමසීම ඉතාමත් සුදුුසුය. පුවත්පතක් යනු නොයෙක් වර්ගයේ අදහස් හුවමාරු කරගැනීමේ වැදගත් මාධ්‍යයක් නම් දායකයෙක් පුවත්පතකට ලබාදෙන විශේෂිත කරුණක් පුුවත්පතෙහි සම්පුර්ණ තහනමක් පවිතිද්දී ඉදිරිපත් කරන්නේ කෙසේද? පුවත්පතක් තහනම් කළ විට එම පුවත්පතේ ක‍්‍රමවත් පාඨකයෙක් කරුණු රැස්කරගන්නේ හා සහ අදහස් ගොඩනගා ගන්නේ කෙසේද? එබැවින් පුවත්පත් නිදහසින් පමණක් සියලු කරුණු සම්බන්ධයෙන් මහජනතාවට වැදගත් නානාවිධ අදහස් සංකල්ප ව්‍යාප්ත කරම්න් නීතියේ නිර්දිෂ්ඨ සීමාවන් තුළ සාධාරණ සාකච්චාවේදී පැවැත්විය හැක. මහජන සාකච්චාව ඒක පාක්‍ෂික කටයුත්තක් නොවේ. සෑම රජයේ අංශයක් මගින්ම මහජන සාකච්චාවට යමක් තත්ත්වාකාරයෙන් දැනගැනීම සහ හඳුනාගැනීමේ ගෞරවය සහ ප‍්‍රගතිය ලබාදිය යුතුවා මෙන්ම පුද්ගලයාගේ  මෙන්ම තොරතුර ලබන්නාගේ ද අයිතිය ආරක්‍ෂා කළ යුතු වේ. එසේ නොවුණහොත් කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසෙහි අගය බොහොමයක් අඩු වනු ඇත.

මාගේ අදහසට අනුව කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම් කියවන්නාගේ නිදහසට ද ඇතුළත් වන බවය. ඒ අනුව පෙත්සම්කරුවන්ට 126 වගන්තිය යටතේ සහන පැතීම සඳහා  නීත්‍යානුකූල තත්ත්ව තිබේ. නමුත් අනෙකුත් මුලික අයිතිවාසිකම් මෙන්ම කියවන්නාගේ මුලික අයතිවාසිකම් ද එම සීමාකිරීම්වලට යටත් වේ. එබැවින් 12 සහ 14 යන වගන්ති යටතේ ප‍්‍රකාශිත හා හඳුන්වා දී ඇති මුලික අයිතිවාසිකම් පාවිච්චි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක  කි‍්‍රයාවට නැංවීම ජාතික ආරක්‍ෂාව පිණිිස හා රාජ්‍ය ආඥාවන්, සෞඛ්‍ය ආරක්‍ෂාව, සදාචාරය අනිත් පුද්ගලයන්ගේ  පොදු සුභ සාධනය පිණිස (හදිසි නීතිය ඇතුලු) නීතියේ නිර්දේශිත සීමා කිරීම්වලට යටත් වේ. එමෙන්ම තොරතුරු ලබන්නන්ගේ මුලික අයිතිවාසිකම් (15) 7 වගන්තියේ  එම සීමා කිරීම්වලට ද යටත් වේ.

කෙසේ නමුත් "සැටඩේ රිවීව්" පුවත්පත තහනම් වීමත් සමග විසුවලිංගම් තමාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කඩ වූවා යැයි ඉදිරිපත් කළ ද 1983 වන විට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ලිඛිතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නොතිබිණ. එනිසා 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 1 (අ) වගන්තියේ සඳහන් භාෂණ ප‍්‍රකාශන නිදහස සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිය අත්‍යාවශ්‍ය වන බැවින් එම පුවත්පත නැවත ආරම්භ කරන ලෙසත් එම පුවත්පතෙහි ජාතිවාදී අදහස් නොමැති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුව ලබා දෙන ලදී.

මෙම කාලයවන විට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ දැනුවත්භාවයක් තිබූ නිසා විසුවලිංගම් පුවත්පත තහනම් කිරීම සම්බන්ධයෙන් මෙවැනි පැමිණිල්ලක් සිදු කිරීම නඩු මගින් නීති සෑදූ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. මෙම නඩුව ගුරු කොට ගනිමින් තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාව සතු බව වෙනත් නඩු තීන්දු හරහා තහවුරු කළේය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාව සතුවන බවත් එයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම 15 (2) සහ 15 (7) යන වගන්ති මගින් මෙන්ම,


  • 1955 රාජ්‍ය ආඥා පනත
  • පාර්ලිමේන්තු වරප‍්‍රසාද පනත
  • මහජන ආරක්ෂණ පනත
  • ආගම් විරෝධී පනත
ආදී පනත් මගින් ද සීමා කිරීම්වලට ලක්ව ඇත.








--චාමලී වනිගසිංහ--
















1 comment: