Search This Blog

Friday, July 6, 2018

දම්පල් දිවියෙන් අපේ දිවියට......


දම්පල් දිවියෙන් අපේ දිවියට......



"වරද දුටු තැන පෙන්වා දීම මගේ ගතියයි. මගේ අවවාද පිළිගැනීමට අසතුටු නම් ඒ  බව දැන් වූ විට මට වෙන රටකට ගොස් සිටිය හැකිය."


"හරක්මස් නොකනු , රා නොබොනු."



"මගේරට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි."





👉 අනගාරික ධර්මපාල තුමාගේ ජීවන ප‍්‍රවෘත්තිය....

අනගාරික ධර්මපාලතුමා (1864 සැප්තැම්බර් 17 සිට 1933 අපේ‍්‍රල් 29) විසිවන ශතවර්ෂයේ බුද්ධාගම නගා සිටුවීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඉන්දියාවේ බුදුදහම ශතවර්ෂ ගණනාවකදී බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. මෑත කාලය තුළ ධර්මය ආසියාව, උතුරු ඇමරිකාව හා යුරෝපය නම් මහද්වීප තුනේ දේශනා කිරීමට මුල් වූ පළමු බෞද්ධයාද ඔහු වේ. ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝධාර ශ්‍රේෂ්ඨයන්ගේ ප‍්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.

ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්‍යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය දෙදරුම් කෑ යුගයක පන්සල, පිරිවෙන, භික්ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස වර්ධනය කරමින් දේශප්‍රෙමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී කරන ලද වකවානුවකදී ය.  සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් අධිරාජ්‍යවාදයෙන් මහා පීඩනයට පත් කාලයක ය. එබඳු අවස්ථාවක දේශපේ‍්‍රමී ජාති හිතෛෂියකු හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.

කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ, බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් "ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල" නමින් ලෝකප‍්‍රකට ශ්‍රේෂ්ට නායකයා වූයේ ය. සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.

පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංගී‍්‍රසි භාෂාව ප‍්‍රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය. වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති  ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලූ වරායෙන් ලංකාවට සම්ප‍්‍රාප්ත වීමය. ඕල්කට්තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩවිඩ් හේවාවිතාරණ තරුණයා ය.

මෑත කාලය තුළ පළමු අනගාරික (මුළු කාලයම බුදුදහම වෙනුවෙන් කැපකල) වන්නේ ඔහුය. ඔහුට අවුරුදු 8 වන විට බ‍්‍රහ්මචාරීව සිටිමට දිවුරූ ඔහු ජීවිත කාලය පුරා එලෙස සිටියේය. ඔහු තම හිස මුඩු නොකල අතර කහ පැහැති සාම්ප‍්‍රදායික භික්ෂුන් නොඅදින සිවුරක් අදින ලදී. විනය නීති සියල්ල පිළිපැදිම ලොව වටා ධර්මචාරිකා කිරිමට උපකාරීවන බව ඔහු විශ්වාස කළේය.

තරුණ ධර්මපාලතුමා  ඕල්කට් මැතිතුමා (1875 නිව්යෝක් නගරයේ පරමවිඥනාර්ථ සමිතියේ සභාපති) ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කලේය. 1891 දී ඉන්දියාවේ මහාබෝධි පන්සලට වන්දනා ගමනක යෙදි සිටින අතරතුර අනගාරික ධර්මපාල තුමා රහත් ඵලයට පත්විය. එම පන්සල හින්දු පූජකවරුන්ගේ යටතට පත්ව තිබිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව හින්දු ප‍්‍රතිමාවකට පරිණාමනය කර තිබිමත් යන කරුණු වලින් ඔහු කම්පාවට පත්වූ අතර එයට එරෙහිව උද්ඝෝෂණයක් ඇති කළේය. 1891 දී කොළඹදී මහාබෝධි සංගමය පිහිටවු ඔහු එහි ප‍්‍රාථමික අපේක්ෂාව ලෙස බුද්ධගයාවේ මහාබෝධි පන්සල බෞද්ධ ආගමිකයින් යටතට ගැනීම නම් කළේය. හින්දු ජූජකයන් සමග නීතිමාර්ගයෙන් දැඩි සටනක් දියත් කිරීමෙන් අනතුරුව 1949 දී මහාබෝධි සමිතිය යටතට මහාබෝධි පන්සල ගන්නා ලදි. ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය.

1893 දී ධර්මපාල තුමාට චිකාගෝ නුවර පැවති ලෝක ආගම් පිළිබද පාර්ලිමේන්තුවට නියෝජනය කිරීමට ආරාධනා ලැබිණ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු ප‍්‍රසිද්ධ බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප‍්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල රෝහල් ද ඉන්දියාව තුළ පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ඔහු විසින් ඉදිකළ වැදගත්ම පන්සලක් වන්නේ බුදුරජාණන් වහන්සේ පළමු දම් දෙසූ ස්ථානයේ ඉදිකල සාරානාත් පන්සලයි. 1933 දී සාරානාත් හි පැවිදි වූ ඔහු දෙසැම්බර් මාසයේ දී අපවත් විය. බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග‍්‍රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.

1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධගයා මහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්‍යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මධූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡුාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප‍්‍රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප‍්‍රචාරක කටයුතුවලට බාධාවක් විය.

1906 ඇරැඹුණු "සිංහල බෞද්ධයා" පත‍්‍රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප‍්‍රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි‍්‍රයා කළේ ය. 1933 අපේ‍්‍රල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප‍්‍රචලිත කිරීම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය. කල්කටාවේ අග‍්‍රවිනිශ්චකාර ශ‍්‍රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප‍්‍රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප‍්‍රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.

සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. "රහමෙර පානය නොකරනු, ගෙරි මස් නොකනු"   කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා "ගොන්තඩියා, වල් බූරුවා"  වැනි ආමන්ත‍්‍රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක්‍රමශිලිව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත්වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය. ශ‍්‍රී ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය. වාර්ෂිකව, කර්මාන්ත ඉගෙන ගැනීමට ජපානයට ශිෂ්‍යත්ව ලබා දෙන ලදි. පේෂ කර්මාන්තය හැදෑරු යූ. බී. දොලපිහිල්ල, පිඟන් කර්මාන්තය හා චිත‍්‍ර ශිල්පය හැදෑරු ඩි. සී. හාන්ති අප්පුහාමි, සුවඳ විලවුන් කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේ, කඩදාසි කර්මාන්තය හැදෑරු එන්. ජේ. සෝමරත්න, ගිනිකූරු කර්මාන්තය හැදෑරු බාලසූරිය, ගොවිකම හැදෑරු මුනසිංහ, එසේ කර්මාන්ත උගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති.

එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාවය ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප‍්‍රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප‍්‍රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාලතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුව ද සෑහේ. සිංහල ජනතාවට, ශ‍්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ‍්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැළකිය හැකි ය.

සැබෑ නායකයෙක් වූ අනගාරිකධර්මපාල තුමාට පටු දේශපාලනික අරමුණු වෙනත් ආත්මාර්ථකාමී අරමුණු තිබුණේ නැත. එතුමා තුල තිබුණේ ඒ රටත්, ජතියත්, ආගමත්, පරදේශක්කාරයන්ගෙන් බේරා ගැනීමේ අරමුණ පමණි. ඒ  උදෙසා එතුමා මුළු ජීවිතයම කැප කළේය. බලයට පැමිණීම, ප‍්‍රසිද්ධිය උදෙසා එතුමා නායකත්වය නොගත්තේය. ධර්මපාලතුමාගේ කැපවීම හා අවංකත්වය දුටු පිරිස් එතුමා වටා එක්වූයේද ඒ අවංකත්වයෙන්මය. ඒ අනුව ධර්මපාලතුමා මුල්කරගනිමින් මහා බල වේගයක් රටතුළ නිර්මාණය විය. ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් මෙවැනි බලවේගයන් ගොඩනැගුණේ  සන්නිවේදන මාධ්‍ය පවා හරිහැටි නොදියුණු යුගයකදීය.මෙමගින් පෙන්නුම් කරන්නේ එතුමාගේ අවංක දේශපේ‍්‍රමීත්වයේ හඬයි. අන්‍ය ජාතියකින්, අන්‍ය ආගමකින් මේ පුංචි දිවයින බේරා ගැනීමට හැකිවූයේ මෙවැනි සැබෑ දේශමාමකයින්ගේ ප‍්‍රතිඵලයක් ලෙසය.

👉 අනගාරික ධර්මපාල තුමාගේ නායකත්ව ලක්ෂණ :

සැබෑ නායකයෙකු සතු විය යුතු අරමුණක් සහිතව වැඩ කිරීම, ආදර්ශවත් වීම, අවංකත්වය, කැපවීම, තැනට සුදුසු නුවණ, උත්සාහය, නිර්භීතභාවය,  පරාර්ථසේවනය, අන්තර්ඥාණය, අධිෂ්ඨාන සහගත බව, ඉවසීම, සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව, උඩගු නොවීම, අන් අයගේ හඬට සවන් දීම, පෞර්ෂත්වය ආදී වූ සාර්ථක නායකයෙකු සතු විය යුතු  සෑම ලක්ෂණයක්ම අනගාරික ධර්මපාල චරිතය තුළ දැක ගත හැකිය.

  • පැහැදිලි අරමුණක් සහිතව කටයුතු කිරීම.
  •  රට ජාතිය ආගම භාෂාව පරගැතියන්ගෙන් බේරා ගැනීමට කටයුතු කිරීම. 
  • ලක්දිව ගමක් ගමක් පාසා ඇවිදිමින් ධර්මය ප‍්‍රචාරය කිරීම.
  • බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම.
  •  සිංහල බෞද්ධයන්ගේ මත්පැන් පානය හරක් මස් කෑම නතර කළ යුතුය.
  •  සෑම සිංහලයෙකුම අවංක දක්ෂ හා සමගියෙන් වාසය කළ යුතුය.
  • රටට, ජාතියට, ආගමට සේවය කළ යුතුයි.


💢 පරාර්ථසේවය
  1. කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය පිහිටුවීම.
  2. මහාබෝධි නමින් ඉංග‍්‍රීසි විද්‍යාලයක් ආරම්භ කිරීම.
  3. සාරානාත්හි ඉසිපතනයේ මූලගන්ධකුටි නමින් විහාරයක් තැනවීම.
  4. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පිහිටුවීම.
  5. පේෂකර්මය ඉගෙනීමට සිංහල තරුණයන්ට ශිෂ්‍යයත්ව දී ජපන් රටට යැවීම.
  6. මේරි පෝස්ටර් නිදහස් ආයුර්වේද ආරෝග්‍ය ශාලාවක් කොළඹ පිහිටුවීම. 


💢 නිර්භීතකම

  1. යුරෝපීයන්ට බියෙන් මුළු ගැන්වුණු සිංහලයා ඉදිරියට ගොස් එම බිය තුරන් කිරීම.
  2. 1915 ජුනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිර භාරයට ගන්නා ලදී. නමුත් ඔහුගේ සමාජ මෙහෙවර ඉන් නිමා නොවීය.
  3. සිංහල බෞද්ධයා ආදී පුවත්පුවත් බිහි කරමින් විදේශිකයන් නිර්භය ලෙස 

       💢 විවේඡනය කිරීම

  1. හින්දු පූජකයන් සමග නීති මාර්ගයෙන් දැඩි සටනක් දියත් කිරීමෙන් අනතුරුව මහා බෝධි සමිතිය යටතට මහා බෝධි පන්සල ලබා ගැනීම. (1949)


💢 සාමූහිකව කටයුතු කිරීම

  1. අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීම.
  2. ගව ඝාතනයට එරෙහිව ජන බලය ගොඩ නැගීම.
  3. අධිරාජ්‍ය විරෝධී අරගලවලට නායකත්වය ලබා දීම.


      💢  උත්සාහය

  1. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 800 ක පමණ කාලයක් ඉන්දියාවේ බෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ සිද්ධස්ථාන යලිත් බෞද්ධයන්ට උරුම කර දීමට හැකි වූයේ ධර්මපාල තුමා විසින් ගෙන ගිය අරගලයන්ගේ උත්සාහයක් වශයෙනි.
  2. ගමක් ගමක් පාසා ගොස් ධර්ම ප‍්‍රචාරය කිරීම.
  3. දේශිය අධ්‍යාපනයෙහි ඇති වටිනාකම පහදා දී බෞද්ධ පාසල් ආරම්භ කිරීම.

💢  ආදර්ශවත් වීම

  1.  "හරක්මස් නොකනු, රා නොබනු" ලෙස එතුමාගේ ප‍්‍රචාරක රථයේ නිරූපණය කිරීම.
  2.  බ‍්‍රහ්මචාරී වීමෙන් මුළු ජීවිතයම රට ජාතිය ආගම සදහා කැප කිරීම.
  3.  බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම.
  4.  බුද්ධ ගයාවට ගොස් එය හින්දුන්ගෙන් බේරා ගැනීමට කටයුතු කිරීම.


      💢  ඉවසීම

  1. දඹදිව බෞද්ධ සිද්ධස්ථාන පුනරුත්තාපනයට ආරකෂාවට හා අභිවෘද්ධියට කටයුතු කරද්දී ඇතැමුන් කර්කශ විෙවිඡනවලින්ද සාපරාධී අවලාදවලින් ද රිද වූවත් එතුමන් නොසැලී තම වගකීම් ඉටු කිරීම.
ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණය. එහෙත් වීරෝධාර ශ්‍රේෂ්ඨ නායකයන්ගේ ප‍්‍රමාණය අල්පය.  ධර්මපාල චරිතය තුළ අප මෙතෙක් සාකච්චාවට බඳුන් කළ නායකත්ව ලක්ෂණ එතුමා ජීවත්ව සිටි කාලයට පමණක් නොව අධ්‍යයතනයේ ද ජාතික, ආගමික, සාමාජීය, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික, අධ්‍යාපනික යනාදී සෑම ක්ෂේත‍්‍රයක්ම මෙහෙයවන නායකයන්ට මනා ආදර්ශයක් ගෙන දෙයි.

--චාමලී වනිගසිංහ--

2 comments: