Search This Blog

Saturday, July 7, 2018

තොරතුරු දැන ගැනීමේ පනත...

තොරතුරු දැන ගැනීමේ පනත.....



ජනතා පරමාධිපත්‍යය මත පදනම්  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන තන්ත‍්‍රයක කේන්ද්‍රීය අංගයක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය හැඳින්විය හැකිය. මහජනතාවට සිය නියෝජිතයින් හරහා බලය ඵලදායි ලෙස ක‍්‍රියාත්මක කළ හැක්කේ පාලන ක‍්‍රමය වගවීමක් දරන්නේ නම් සහ විනිවිදභාවයෙන් යුතු වන්නේ නම් පමණී. ප‍්‍රජාතාන්ත‍්‍රික පාලනයක් යනු ආණ්ඩුවේ සියලු කරුණු සම්බන්ධයෙන් ජනතාවගේ පරමාධිපත්‍යය ප‍්‍රධාන වන පාලනයකි.

         

 "ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ජනතාව විසින් ජනතාව සඳහා කරනු ලබන ජනතා පාලනයකි."

යන ඒබ‍්‍රහම් ලින්කන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයෙන් ඉහත අදහස ගම්‍ය වේ. රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධව සහ ජනතා සේවය සඳහා ජනතාවගේ නියෝජිතයින් ලෙස ජනතාව විසින් රාජ්‍ය නිලධාරීන් පත්කරනු ලැබේ. ජනතාව රාජ්‍ය නිලධාරීන් වෙත මෙම බලය පවරන බැවින් එම රාජ්‍ය නිලධාරීන් කරන කටයුතුවලට අදාල තොරතුරු ජනතාවගේ දේපලක් වේ. එබැවින්  එම ජනතාවට තොරතුරු වෙත ප‍්‍රවේශවීමට අයිතියක් තිබේ.තොරතුරු දැනගැනීමේ අයිතිය යනු,

           "ප‍්‍රවේශන අයිතිය හා රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ලබාගැනීමේ අයිතියයි." 

මෙම අයිතිය මගින් වැදගත් අරමුණු කිහිපයක් ඉටුකර ගතහැකිය.


      01.  ප‍්‍රතිපත්ති සම්පාදනයේදී මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම.

      02.  ආණ්ඩුවේ පාරදෘශ්‍යතාවය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම.

      03.  රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන දුෂණ හා අක‍්‍රමිකතා අවම කිරීම ලෙස සරලව අර්ථ දැක්විය හැකිය.


Businessdictionary.com මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය,

            "ආණ්ඩුවේ නියෝජිතායතනයක් මගින් ඇතැම් තොරතුරු රදවාගෙන සිටින්නේ නම් ඒ පිළිබදව                    ලිඛිතව දැනගැනීමට හා ඒවා හෙලිදරව් කරන ලෙසට ඉල්ලීමට ඇති අයිතිය"

 යනුවෙන් නිර්වචනය කරයි.   

1766 පුවත්පත් නිදහස යන පනත හදුන්වාදීමත් සමග තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබදව නිල වශයෙන් නීතියක් පැන වු පළමු රට ස්වීඩනයයි. මෙම පනතින් ආණ්ඩුවේ ලේඛන කෙරෙහි ප‍්‍රවේශවීමේ අයිතිය පොදු ජනතාවට ප‍්‍රදානය කෙරුනු අතර ස්වීඩන නීති පද්ධතියේ මුලික කොටසක් බවට පත්විය. "මහජන ප‍්‍රවේශය" යන මුලධර්මය පළමු වරට ස්වීඩනයේ මතුවීමත් සමග යුරෝපය තුළ තොරතුරු දැනගැනීමේ අයිතියේ මුලාරම්භය 18 වන සියවස දක්වා ඈතට දිවයයි. ආණ්ඩුවේ සහ පලාත් පාලන ආයතනවල ක‍්‍රියාකාරකම් පිළිබදව බාධාවකින් තොරව සොයාබැලීමේ හැකියාව තහවුරු කළයුතු බවට ස්වීඩනයේ "මහජන ප‍්‍රවේශය" යන මුලධර්මයෙන් නීතිමය පසුබිම සපයයි.

1946 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාරම්භක සැසියේ දී මහා සභාව 59 වැනි යෝජනාව සම්මත කරගත් අතර එමගින් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික මානව අයිතිවාසිකමක් ලෙස පිළිගන්නා ලදී. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප‍්‍රකාශනයේ 19 වන ව්‍යවස්ථාව සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 19 වන වගන්තිය තොරතුරු ඉල්ලාසිටීමට, බෙදාදීමට  සහ ලැබීමට ඇති  අයිතිය ප‍්‍රකාශනයේ සහ අදහස් පළකිරීමේ මුලික අයිතියේ කොටසක් ලෙස පිළිගනී.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව අන්තර්ජාතිකව පිළිගත් ප‍්‍රධාන මුලධර්ම නවයක් ඇත. කිසියම් රටක මෙම අයිතිය නීතිගත කිරීමේ දී මෙම මුලධර්ම සියල්ල අන්තර්ගත වියයුතුය.


  1. උපරිම හෙලිදරව්ව.
  2. ප‍්‍රකාශනය සදහා බැදී සිටීම
  3. විවෘත පාලනයේ ප‍්‍රවර්ධනය
  4. ව්‍යතිරේකවල සීමිත විෂය පථය
  5. ප‍්‍රවේශයට පහසුකම් සැලසීමේ ක‍්‍රියාවලිය
  6. පිරිවැය
  7. විවෘත රැස්වීම්
  8. හෙලිදරව් කිරීම පුර්වගාමී වේ.
  9. වංචා දුෂණ හෙලිදරව් කරන්නන් සඳහා ආරක්ෂාව ආදිය වැදගත් වේ.
      
ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද තොරතුරු දැනගැනීමේ අයිතිය වක‍්‍රාකාරව පිළිගනී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව මගින් සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුලුව සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස තහවුරු කරඇත. මෙම නිදහස ව්‍යංගාර්ථයෙන් තොරතුරු දැනගැනීමේ අයිතියට සම්බන්ධ වේ.

14 (1) (අ) ව්‍යවස්ථාව මගින් තහවුරු කරඇති ප‍්‍රකාශනය ඇතුලු භාෂණයේ සහ අදහස් පළකිරීමේ නිදහස වැනි ඇතැම් අයිතිවාසිකම් ශී‍්‍ර ලංකාවේ පුරවැසියෙකුට පමණක් භුක්ති විඳිය හැකිය. සීමා කළනොහැකි 10 වැනි ව්‍යවස්ථාව යටතේ වු අයිතීන් මෙන් නොව 14 වන ව්‍යවස්ථාව යටතේ වු අයිතිවාසිකම් ඇතැම් සීමාවලට යටත් වේ. වාර්ගික හා ආගමික සහයෝගිතාවය, පාර්ලිමේන්තු වරප‍්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සහ ජාතික ආරක්ෂාව ආදි කරුණු මත භාෂණයේ සහ අදහස් පළකිරීමේ නිදහස නීතිය මගින් සීමා කළහැකිය.

සිතීමේ සහ හෘදසාක්ෂියේ නිදහස මෙන්ම අදහස් පළකිරීමේ නිදහස ද අර්ථාන්විත වීම පිණිස තොරතුරු වෙත ප‍්‍රවේශවීම අත්‍යවශ්‍ය වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනමම තහවුරු කරන විශේෂ නීති ශ‍්‍රී ලංකාවේ  ක‍්‍රියාත්මක නොවු අතර ශී‍්‍ර ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යංගයෙන් පිළිගත් නඩුවාර්තා හමුවේ. ඒ අනුව,


  •  විසුවලිංගම් එදිරිව ලියනගේ නඩු තීන්දුව (1984)

  •  ප‍්‍රනාන්දු එදිරිව ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා නඩු තීන්දුව (1996)
මගින් ඒ  බව හෙලිදරව් වේ. 

ශ‍්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තු පනතක් මගින් තහවුරු කිරීමට ගත් උත්සහයන් කිහිපයක්ම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයෙන් හමුවේ. තොරතුරු ලබාගැනීමේ නිදහස වෙනුවෙන් සැකසුනු විධිවිධාන අයත් පනත් කෙටුම්පතක් 2011 ජුනි මස 21 වන දින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම පනත වැඩි ජන්ද 63 කින් සන්ධාන ආණ්ඩුව පරාජයට පත්කරනු ලැබීය. එම පරාජයෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුවේ කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වමින් කොළඹ මහනගරසභා බල ප‍්‍රදේශයේ පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදෙන බවට ලිඛිතව පොරොන්දුවිය. එය ආණ්ඩුව ද පිළිගනු ලැබීය. නමුත් පාර්ලිමේන්තුවේ තොරතුරු පනත පරාජය කිරීම සහ කොළඹ මහනගර සභාවට තොරතුරු පනතක් ගෙන ඒමට කැමැත්ත පළකිරීම යන ආණ්ඩුවේ ද්විත්ව ක‍්‍රියාකාරිත්වය පිළිබඳ තර්කානුකූලව කොළඹ ජනතාව සිතූබව මැතිවරණ ප‍්‍රතිඵලයෙන් දක්නට ලැබිනි. කෙසේ නමුත් 2015 වර්ෂයේ පිහිට වු යහපාලන ආණ්ඩුව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මුලික මිනිස් අයිතිවාසිකමක් බවට සම්මත කර එය පනතක් ලෙස ජනතා භාරයට පත් කරන ලදි.

ශී‍්‍ර ලංකාව යනු දකුණු ආසියාවේ සාක්ෂරතා පිළිවෙලෙහි ප‍්‍රමුඛස්ථානය ගන්නා රටකි. එහෙත් සමාජ යාන්ත‍්‍රණයේ ක‍්‍රියාත්මකභාවය පිළිබද වන ජනතාවගේ දැනුවත්භාවය අවම මට්ටමක පවතී. අනාගතයේ ජනතාවට හිමිවීමට නියමිත තොරතුරු දැනගැනීමේ පනත තුළ පවතින ප‍්‍රධාන දුර්වලතාවය වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නිලධාරීන් දැනුවත් වුව ද සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගැනීමයි. තොරතුරු දැනගැනීමේ අයිතිය නොමැතිවීම නිසා පාලකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට තමන්ට හිතුමතේ  ඕනෑම දෙයක් සිදුකිරීමට අවශ්‍ය දිරිදීම හා අවකාශය ලැබේ. මෙයින් බරපතලම හානිය සිදුවන්නේ මහජන මුදල් හා දේපොලවලට යන මුදල් ගනුදෙනුවලදී වංචා දුෂණ සිදුකිරීම පාලකයින්ගේ හා නිලධාරීන්ගේ අනියම් හිමිකමක් බවට පත්වීමට මෙයින් ඉඩලැබේ. ගනුදෙනු පිළිබඳව පාරදෘශ්‍යභාවයක් නොමැතිවීම නිසා ප‍්‍රශ්න කිරීමේ ඉඩකඩ ද ඇහීරී යයි. රාජකාරි ඉටුකරගැනීමේ දී පගාව පෙරට පැමිණෙනු ඇත. සුදුස්සාට සුදුසු තැන හිමිනොවීමේ දුර්භාග්‍ය අත්මවිදීමට සිදුවන අතර රාජ්‍ය සේවයට බඳවාගැනීමේ දී සිදුවන දේශපාලන හා ඥාති සංග‍්‍රහ නිසා සුවිශාල සමාජ අසාධාරණයකට මුහුණපාන්නට සිදුවෙයි. තොරතුරු දැනගැනීමේ අයිතිය නොතිබීම රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවයට ප‍්‍රබල හේතුවක් වන අතර නිලධාරිවාදයට සහ රාජ්‍ය සේවකයින්ගේ පුහු අහංකාරයට ද ප‍්‍රබල රුකුලක් ලබාදෙයි.

තොරතුරු ලබාගැනීමට නීතියක් නොතිබීමෙන් ඇතිවන සියලු උපද්‍රව්‍යන් නිසා අවසානයේ දී රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ජනමාධ්‍ය නිදහසට ආර්ථික සංවර්ධනයට හා රටේ ප‍්‍රගමනයට ද ප‍්‍රබල තර්ජනයක් එල්ල වේ.

--චාමලී වනිගසිංහ--

1 comment: