කතුවැකිය ....
කතුවැකිය යනු ....
පුවත්පතේ කතෘවරයාගේ වාක්‍යයයි. කතෘවරයාගේ ප‍්‍රකාශනයයි. නමුත් කතුවරයා විසින් බලය පවරන ලද ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් හෝ මණ්ඩලයකින් ද කතුවැකිය රචනා කරනු ලැබේ. එසේම පුවත්පතක හෝ කාලීනය ප‍්‍රකාශයට පත් කරන මුද්‍රිත ප‍්‍රකාශයක කර්තෘවරයා හෝ කර්තෘ මණ්ඩලය විසින් කිසියම් මතයක් ඉදිරිපත් කිරීම සඳහා කතුවැකිය උපයෝගී කර ගන්නා බව කියවේ.
යම් අයුරකින් මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කරන පුවත්පතක හෝ සඟරාවක ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් විසින් සිය මතය දක්වන කොටස කතුවැකිය වශයෙන් හැඳින්වේ.
(විකිපීඩියා විශ්වකෝශය)
කර්තෘ මණ්ඩලය සිය මතය දැක්වීමේ දී පුවත්පතක හෝ සඟරාව ප‍්‍රකාශයට පත් කරන වාරයක් පාසා කාලානුරූපව කතුවැකිය භාවිතයට ගන්නා බව විකිපීඩියා විශ්වකෝෂයේ වැඩි දුරටත් සඳහන් වේ. කාලීන ප‍්‍රස්තුතයක් සම්බන්ධව කර්තෘ මණ්ඩලයේ මතවාදය දැක්වීමට පළ කරන ලියවිල්ලක් වශයෙන් ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂය කතුවැකිය හඳුන්වයි. ප‍්‍රකාශයට පත් වන පුවත්පතක පළවන කාලීන තොරතුරු පිළිබඳ ප‍්‍රධාන කර්තෘවරයාගේ දැක්ම ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක් වශයෙන් ද කතුවැකිය හැඳින්වීමට පිළිවන.
පුවත්පත් කලාවේ ආරම්භයේ පටන් සම්මතව පැවත එන සාම්ප‍්‍රදායික ලේඛන විශේෂයක් වශයෙන් කතුවැකිය හැඳින්විය හැකිය. කතුවැකිය පුවත්පතක හෝ සඟරාවක හෝ වෙනයම් වාර ප‍්‍රකාශනයක දී කතුවරයෙකු විසින් ලියනු ලබන හෝ කතුවරයාගේ මතය නියෝජනය කරමින් ලියනු ලබන මත ප‍්‍රකාශනයකි. ජාතික පුවත්පතක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හෝ සමාජ දෘෂ්ටිය හෙලි කරන්නේ කතුවැකියෙනි. එය පුවත්පත ගමන් ගන්නා මාර්ගය මේ යැයි හෙලි කරනු ලබයි.
👉 කතුවැකි භාෂාවේ නිර්මාණශිලී ලක්ෂණ:
පුවත්පත් භාෂාව විවිධාංගීකරණයට ලක් වූවකි. පුවත්පතේ ලේඛන ආකෘති සහ විෂය අන්තර්ගතයන්ට අනුව එහි භාෂා ලක්ෂණ වෙනස් වේ. ඒ අනුව පුවත්පතක දැකිය හැකි මූලිකාංග වෙන් වෙන් භාෂා ලක්ෂණ ප‍්‍රකට කරනු ලබයි. නිර්මාණශීලී ලේඛකයෝ සාම්ප‍්‍රදායික ලේඛන ආකෘතියේ නොසිට සූක්ෂ්ම ලෙස භාෂා රටා වෙනස් කරති. ඒ සඳහා ලේඛකයාට මනා ලෙස බස හැසිරවීමේ පරිචයක් හා සමාජ ඥානයක් අවශ්‍ය වේ.
පුවත්පතක කතුවරයාගේ ප‍්‍රකාශනය වන කතුවැකියට සෙසු පුවත්පත් ලේඛන ආකෘතින්ට වඩා ඉහත කියමන අදාළ වේ. එනම් පුවත්පතෙහි අනන්‍යතාවෙහි, ගමන් මගෙහි කැඩපතක් බඳු කතුවැකිය නිර්මාණශිලි වූ දාර්ශනික ලේඛනයක් විය යුතුය. එහි දී කතුවැකියේ භාෂා භාවිතය සහ ආඛ්‍යානය සුවිශේෂී වේ.
කතුවැකි භාෂාවේ නිර්මාණශීලි ස්වරූප පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මූලික වශයෙන් කතුවැකිය දෙඅංශයක් යටතේ හඳුනාගත හැකිය.
- කතුවැකියේ ආකෘතිය
- කතුවැකියේ අන්තර්ගතය
👉 කතුවැකියේ ආකෘතිය :
ආකෘතිය යටතේ කතුවැකියේ බාහිර ස්වරූපය පිළිබන්දව අවධානය යොමු කෙරේ. ඒ අනුව පුවත්පතේ කර්තෘවරයා හෝ ඔහු විසින් බලය පවරන ලද තනි පුද්ගලයෙක් හෝ මණ්ඩලයක් විසින් කතුවැකිය රචනා කරනු ලබයි. සමකාලීන සමාජ ප‍්‍රස්තුතයක්, සමාජය තුළ පැවතුන දෙයක්, අනාගතයේ සිදු වී යැයි අපේක්ෂිත දෙයක් කතුවැකිය සඳහා විෂය වේ. බොහෝවිට ජනමාධ්‍ය තුළ වාර්තා වූ සිදුවීමක් ඇසුරෙන් කතුවැකිය නිර්මාණය විය හැකිය.
ඇතැම්විට සමාජයේ කිසිවෙකුටවත් හසු නොවන, විෂය නොවන සිදුවීමක් කතුවැකිය සඳහා තේමා වීමට පිළිවන. සමාජ ගැටඵවක ස්වාභාවය විවරණය කිරීම, එහි ආදීනව පැහැදිලි කිරීම, එයට විසඳුම් යෝජනා කිරීම, යහපත් මානුෂීය කටයුතු සඳහා ප‍්‍රසාදය පළ කිරීම, සුබ පැතීම, සමාජයට නිසි මග පෙන්වීම, අනාගතයේ සිදු විය හැකි ඉෂ්ට අනිෂ්ට ක‍්‍රියා විවරණය කිරීම යනා දී අභිප‍්‍රායන් පෙරදැරිව කතුවැකියක් රචනා විය හැකිය. ඉහත සියලූ ක්ෂේත‍්‍රයන්හි තේමා කතුවරයාගේ සහ පුවත්පතේ දෘෂ්ටියෙන් ජාතික වැදගත්කමකින් යුක්තව සමාජ, ආර්ථික, සංස්කෘතික මානයකින් කතුවැකිය තුළ සාකච්ඡා කෙරේ.
ඕනෑම පුවත්පතක කතුවැකිය පළවීම සඳහා නියමිත ස්ථානයක් තිබේ. බොහෝවිට මෙය පළවන්නේ පුවත්පතේ ප‍්‍රධාන පිටුවෙහිය. මෙය පුවත්පතේ මැද කොටසෙහි ද පිහිටා ඇත. ඇතැම් අවස්ථාවන්හි දී පුවත්පතේ මුල් පිටුවෙහි වුව ද කතුවැකිය පළවිය හැකිය. ප‍්‍රධාන තේමාවට අදාළව ගොඩනගා ගන්නා ආඛ්‍යානය ඔස්සේ පියවර කිහිපයක් යටතේ කතුවැකිය ඉදිරිපත් කෙරේ. කතුවැකිය අවසන් වන්නේ පුවත්පතේ දෘෂ්ටියට හා ප‍්‍රතිරූපයට අනුව සියල්ල සමාලෝචනය කිරීමෙනි. ඒ අනුව කතුවැකියේ නිර්මාණශීලි බව උදෙසා එහි ආකෘතික ලක්ෂණ ඉවහල් වේ.
👉 කතුවැකියේ අන්තර්ගතය :
කතුවැකියේ අන්තර්ගතය යටතේ එහි ආඛ්‍යානය, භාෂා ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කෙරේ. යම් තේමාවක් ඉදිරිපත් කිරීම සඳහා උපයුක්ත භාෂාව නිර්මාණශීලිව භාෂාව ගොඩනැංවීමේ රටාව, නිර්මාණශීලීව භාෂා උපාංග භාවිත කිරීම පිළිබඳ කතුවැකියේ අන්තර්ගතය විශ්ලේෂණයෙන් හඳුනාගැනීමට පිළිවන.
පාඨක අවධානයට ලක්වන පරිදි නිර්මාණශීලීව කතුවැකියක් රචනා කිරීම කතුවැකි රචකයා මතම තීරණය වන සාධකයකි. නිර්මාණශීලී කතුවැකි රචනාවක් වූ කලී දර්ශනයෙන් හා භාෂා ගුණයෙන් පෝෂණය වූවකි. මෙහිදී රචකයා අන්තර් සංස්කෘතිකමය වශයෙන් ලබන ශික්ෂණය වැදගත් වේ. පුරාතන නූතන භාෂා සම්ප‍්‍රදායන් මෙන්ම ඒවායෙහි නව ප‍්‍රවණතා පිළිබඳව කතුවැකි රචකයාට ප‍්‍රමාණවත් අවබෝධයක් පැවතිය යුතුය. එසේම භාෂාව සහ සංස්කෘතිය, ජනවහර හදාරා තිබීම ද වැදගත් වේ. භාෂාව ගොඩනැංවීමේ රටාවක් සේම බස හැසිරවීමේ වියරණ රීති ද හඳුනාගෙන තිබීම නිර්මාණශීලි කතුවැකි රචකයෙකුට අවශ්‍ය වූවකි.
කතුවැකිය (Editorial) පුවත්පතේ විශේෂාංග යටතේ පළ කරනු ලබන ප‍්‍රධාන රචනා විශේෂයකි. දේශීය විද්වතුන් කතුවැකිය විවිධාකාරයෙන් අර්ථ ගන්වා ඇත. කතුවැකිය යනු සමාජයට හානිකර වූ තත්ත්වයක් පිළබඳ වේගවත්ව ලියන ලද ප‍්‍රහාරාත්මක රචනයක් හෝ කිසියම් විශේෂ වූ සිදුධියක් පිළිබඳව මහාචාර්ය තිස්ස කාරියවසම් ප‍්‍රකාශ කරයි. ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කරන පරිදි කතුවැකි ලිවීම සම්බන්ධයෙන් පිළිගත් උපදේශක නීති ද ඇත. ඒවා නම් රචනාවට මාතෘකා වුණු විෂය ගැන හොඳින් සිතා බැලීම, දෘෂ්ටිකෝණයේ ස්ථාවරභාවය, වේගවත්ව කලම්බන්නට පුළුවන්කම තිබීම, සම්භාවනීය හා අධිකාරීත්වයක් තිබීම යනාදියයි.
පුවත්පත් කලාවේ ආරම්භයේ පටන්ම මෙම ලියවිල්ල සම්මතව පැවත ආ සාම්ප‍්‍රදායික ලේඛන විශේෂයක් විය. ජාතික පුවත්පතක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හෝ සමාජ දෘෂ්ටිය කතුවැකිය තුළින් හෙලි කරන නිසා බොහෝ විට එම පුවත්පත ගමන් ගන්නා මාර්ගය මේ යැයි කතුවැකිය තුළින් හෙලි කරනු ලැබේ.
යනුවෙන් ‘සන්නිවේදන ශබ්දාකරය’ කෘතිය කතුවැකිය පිළිබඳව තව දුරටත් විග‍්‍රහ කරයි.
කතුවැකිය සංක්ෂිප්ත ලේඛනයකි. මේ නිසා කතුවැකියේ ප‍්‍රබලත්වය කැපී පෙනේ. කිවයුතු දේ ඉතාමත් කෙටියෙන් කීම මෙමගින් සිදු කරනු ලැබේ. එමනිසා යොදා ගන්නා බස් වහර සරලය. භාෂාවේ ව්‍යක්ත බවක් දැකිය හැකි අතර වනිගාසිංහකෙටි වැකිවලින් අදහස් ප‍්‍රකාශ කරයි. කතුවැකියේ ස්වරූපයට ගැළපෙන පරිදි වචනවල නියම අර්ථය දැක්වෙන බස් වහරක් කතුවැකිය සඳහා යොදා ගැනීමට කර්තෘවරයා හැම විටම සැලකිලිමත් වේ. එහෙත් දීර්ඝ වාක්‍යයක් භාවිත කරමින් වුව ද තම අදහස නිරවුල්ව වුව ද ප‍්‍රකාශ කිරීමේ හැකියාවකින් යුක්ත කතුවරුන් මෙරට සිටි බවට කොතෙකුත් නිදසුන් ඇත.
--චාමලී වනිගසිංහ--
හරවත් ලිපියක්
ReplyDeleteහරවත් ලිපියක්
ReplyDeleteහරවත් ලිපියක්
ReplyDeleteපුවත්පත් කතු වැකි පිලිබද තොරතුරු රාශියක් ලබා ගැනීමට හැකි උනා.👍
ReplyDelete