Search This Blog

Sunday, May 20, 2018

ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා....

ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා....

 Edit by C.B Wanigasingha

චිරන්තන සිංහල සාහිත්‍යයේ (සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ ශෘංගාර රසය මෙන්ම කාන්තාව පිළිබඳ කොතෙකුත් ගද්‍ය පද්‍ය සංග්‍රහයන් ලිය වී ඇත. ජාතක කතාවල , සද්ධර්ම රත්නාවලියෙහි, සන්දේශ කාව්‍යවල සීගරි ගීවල ද ශෘංගාරය මෙන්ම කාන්තාව පිළිබඳ කොතෙකුත් සඳහන්ව ඇත. ගීතයේ ආරම්භය පිළිබඳ අවධානය යොමු කරන විට එය පද්‍යයන්ගේ නිර්මාණය වූවක් බව විචාරකයන්ගේ මතය වෙයි. “ශබ්ද ආර්ථව් සහිතව් කාව්‍යම්” භාමහ නම් වූ පෙරදිග  විචාරකයෙකු පවසන ආකාරයට ශබ්දය සහ අර්ථය එකට එක් වූ කළ කාව්‍යයක් නිර්මාණය වෙයි. නැතහොත්     “ඡන්දසින් යුක්ත කොට බදනා යමක් වේද ඒ කවියයි ” ලෙස පෙරදිග පඬිවරයෝ කවිය අර්ථ ගන්වා ඇත. මෙහිදී ගද්‍ය කාව්‍යවලට වඩා පද්‍ය කාව්‍ය අපේ ඇසට , කනට ප්‍රියතාවයෙන් අනූනය. කාව්‍ය ගීතයට පෙරමං සෑදීය. එනිසා කවිය සහ ගීතය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවකි. 

ප්‍රතිභානය , ව්‍යුත්පත්තිය, සතථාභ්‍යාසය , පරිකල්පන සහ අනුභූතීන් ද අවංක ගේය පද රචනය සුවිශේෂී සාහිත්‍යාංගයකි. ගීතයටම ආවේණික වූ ප්‍රසාංගික ස්වරුපයන් ද ඇත. මෙම කාව්‍යමය නිර්මාණය සියුම් වූ ද, ප්‍රබල වූ ද භාව ප්‍රකාශන මාධ්‍යයකි. මෙය ජනප්‍රියතම ප්‍රාසාංගික නිර්මාණයකි. නූතන ප්‍රශස්ත අර්ථයෙන් මෙය ගේය පද නම් වූ චමත්කාර ජනක සාහිත්‍යමය සංහිතාවකි. මෙය සුගායනීය හැකියාව සහ ගති ලක්‍ෂණ ඇති ගම්භීර, සංකීර්ණ සහ විශ්මය ජනක අරුත් සංගෘහිතව , රිද්ම - චන්දස් ලය , තාල සහ ස්වරනිර්මිත ආදියට අවනත කළ හැකි , මිනිසා සොයාගත් අපූර්ව නිමැවුමකි. ගීතය එයට ම සුවිශේෂී , නෛසර්ගික සහ අවියෝජනීය අගයන්ගෙන් හා ගතික ස්වරුපයන්ගෙන් ද සමන්විත වූවකි. මෙලෙස ගතික ස්වරුපයන්ගෙන් නිර්මාණ කරළියට ගොඩ බට සිංහල ගීත සාහිත්‍ය තුළ රසයන් උද්දීපනය කරමින් මානව හදවත ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරන ප්‍රබලතම කලා මාධ්‍යයක් බවට පත්ව ඇත. ගීතය ආනන්දනේ සහ චමත්කාරයෙන් ප්‍රඥාවට පහසුවෙන් යා හැකි සෞන්දර්යාත්මක භූමිකාවක් නම් , එය ශබ්ද රසය මෙන්ම අර්ථ රසය ද පැවතිය යුතුය. 

සිංහල ගීත සාහිත්‍යයෙහි බොහෝ ගීත රචනයන්ට තුඩු දුන් භාරතීය සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙස ශ්‍රී ජයදේවයන් විසින් රචිත ගීත ගෝවින්දය දැක්විය හැකිය. ගීත ගෝවින්දයෙහි රාධා සහ ක්‍රිෂ්ණාගේ අනුරාගීය පෙම් පුවත දැක්වේ. වාසුදේවයන්ගේ  මනස තුළින් දේවකීගේ ගර්භාෂය තුළට නිකුත් කළ මානසික සම්ප්‍රේෂණයක් මඟින් දරු ගැබක් හට ගනී. මෙලෙස හට ගන්නා දරුවා එනම් ක්‍රිෂ්ණාගේ හස්තයෙන් කංසා රජු (දේවකීගේ මලණුවන්) මරණයට පත් වන බවට සැළ වූ නිසා ඊට පෙරාතුව දරු ගැබ මාරු කොට ගෝකුලම්හි නන්දට දාව යශෝධා කුසින් ක්‍රිෂ්ණා උපත ලැබුවේය. ක්‍රිෂ්ණා කාල වර්ණ ශරීරයකින් හෙබි නිතරම බට නලාවක් වයන ගොපළු තරුණයෙකි. රාධා යනු හිමාල වනාන්තරයේම සිටි ගෝපිකාවකි. රාධා ක්‍රිෂ්ණා අතර අනුරාගීය බන්ධනයක් ඇති වේ. නමුත් ක්‍රිෂ්ණාගේ බටනලාවෙන් වැයෙන ස්වර මාධූර්යෙන් මුසපත් වන වෙනත් ගොපළු ස්ත්‍රීන් ද ක්‍රිෂ්ණා සමඟ අනුරාගයෙන් බැඳෙන්නට විය. එක් වසත් සමයෙක ශ්‍රී ක්‍රිෂ්ණයෝ ස්වකීය ධර්මපත්නී වූ රාධාවන් සමඟ පෙමින් බැඳී සිට රාධාවන් හැර පියා යමුනා නදී තෙර වෘන්දා නම් වන පියසෙහි අනේක ගෝපීන් සමඟ කෙළිදෙලෙහි යෙදී පස්කම් සුවයෙන් මත්ව දවසැරියහ. රාධා මෙයින් අතිමහත් ශෝකයට පත් වෙයි. ඇඟේ ප්‍රිය යෙහෙළිය සඛී වාසන්තිය ශ්‍රි ක්‍රිෂ්ණන් සොයා යයි. අනතුරුව ප්‍රිය සඛී ගොපළු ලියන් සමඟ ලිය ගොමුවක රමණය කරන්නා වූ ශ්‍රි ක්‍රිෂ්ණන් දැක රාධාවන් එතැනට කැඳවයි. රාධාවෝ එදැක මහත් සෝ පත්ව එතැනින් පිටත්ව යති. ඇය යනු දකින ශ්‍රි ක්‍රිෂ්ණනයෝ සදොස් සිතින් ඇය නොනවත්වති. අනතුරුව තම වරද වටහා ගත් ක්‍රිෂ්ණා සමඟ අනුරාගයෙන් බැඳුණු මාධවයෝ ගංතෙරට පැමණ සොවින් පසුවෙති. රාධාවෝ අන් තැනෙක සුසුම් ලති. මේ දුටු සඛී තොමෝ ශ්‍රි ක්‍රිෂ්ණන් වෙත ගොස් රාධාවන්ගේ බැගෑපත් විලාසය නිවේදනය කරයි. පශ්චාත්තාපයෙන් පහරන ලද ශ්‍රි ක්‍රිෂ්ණයෝ රාධාවන් තමා වෙත කැඳවාගෙන එනු පිණිස වාසන්තිය ඇය වෙත යවති. ඉක්බිත්තෙන් යෙහෙළියගේ බස් අසා රාධාවෝ අනේකවිධ සැක සංකා හා ඊර්ෂ්‍යා යන මනෝභාවයන්ගෙන් පරිපීඩිතව රිසිය හා නොරිසිය මැද දෝලනය වෙමින් ශ්‍රි ක්‍රිෂ්ණන් වෙත පැමිණෙති. සියලු වියෝ දුක් පහව යයි. යුවතිපතියෝ පණට පණ මෙන් සබඳ වෙති. එහෙත් යළි මෙවැන්නක් සිදු නොවෙතැයි රාධාවන්ට සහතිකයක් නැත. ජයදේවයන් වර්ණනා කරන්නේ දිව්‍යමය යුවලකගේ විප්‍රලම්භය හා සම්භෝගයත් ඒ දෙක අතර හට ගන්නා විවිධ මනෝභාව හා වේදිතයනුත්ය. 

ශ්‍රී ලාංකීය පද්‍ය නිර්මාණ ඉතිහාසය වෙත නෙත් යොමා බලන කළ,  සිය පන්හිදෙන් පිලිපන් සෑම පබැදුමකටම චිත්තාකර්ෂණීය බවක් මෙන්ම සාධාරණයන් ඉටු කළ ගේය පද රචකයෙක් ලෙස රත්න ශ්‍රී විජේසිංහයන් අවිවාදයෙන් නම් කළ හැකිය. රත්න ශ්‍රී විජේසිංහයන් ආදරය, සෙනෙහස, වියෝව, සිය ජීවිතයේ අත්දැකීම් මෙන්ම මානව සම්බන්ධතා ආදී ජීවිතයේ  වැදගත් අවස්ථා සංතර්පණය කරමින් සිය නිර්මාණයන්ට  වස්තු බීජය කොට ගනිමින් නිර්මාණයන් රැසක් සමාජයට දායාද කළ සුන්දර මිනිසෙකි. චිත්ත සන්තානයෙන් ගැබ්ගෙන පන්හිදෙන් ජනිත වන්නා වූ සෑම ගීතයකටම හරුත් සුන් බව ළං නොකරගන්නා රත්න ශ්‍රී විජේසිංහයන් ජයදේවයන්ගේ ගීත ගෝවින්දයෙහි දැක්වෙන  ප්‍රේමගත ආශ්චර්යමත් අස්වැසිල්ලෙන් නිති නැහැවුණු අපූර්ව ප්‍රේමාතුර යුවළක් වන රාධා ක්‍රිෂ්ණාගේ අනුරාගීය ප්‍රේම වෘතාන්තය තම නිර්මාණයට වස්තු බීජය කොට ගෙන ඇත. ගීත ගෝවින්දය අවසන් වනුයේ  හිමාල කදු මුදුන පාමුලින් ගලායන යමුනා ගංගාව අසළ අශෝක හෙවත් හෝපළු වනාන්තරයක රාධා ක්‍රිෂ්ණා අභිරමණය කිරීමෙනි. 

පශ්චාත් සංස්ථිතිකවාදය (පශ්චාත් ව්‍යුහවාදය) නියෝජනය කරන රෝලන්ඞ් බාත් (ඍද්ක්බා ඊ්එයි) නම් ප්‍රංශ දාර්ශනිකයා ප්‍රකාශ කරන ආකාරයට 
“පාඨකයා උපත ලබන්නේ නිර්මාණකරුවාගේ මරණයක් සමඟිනි.”

එසේනම් රත්න ශ්‍රී විජේසිංහයන් විසින් ගීත ගෝවින්දය වස්තු බීජය කොට ගනිමින් නිර්මාණ කරළියට එක් කළ  ප්‍රේමගත ආශ්චර්යමත් අස්වැසිල්ලෙන් නිති නැහැවුණු අපූර්ව ප්‍රේමාතුර යුවළක් වටා ගෙතුණු ආනන්දජනක ප්‍රේම පුවතක දිග හැරුමයි මේ ....
ශ්‍රි ජයදේවයන් විසින් ගීත ගෝවින්දයේ සුප්‍රීත පීතාම්බර ලෙස විප්‍රලම්භයෙන් වේදනා විදි රාධා සහ ක්‍රිෂ්ණාගේ අභිරමණය ගෙනහැර දක්වන්නේ පහත ආකාරයෙනි.

රාධාව යුවලතින
ඇද වැලද දැපන ලූ
පයෝධර බරින පෙළුැ
දිමුතු නියගින් පහළ
දසන් මුස කළ ලවන්
පුළුලුකුළු පහර දුන්
තමා වෙත නමා ගත්
රත ලවන් මධු පොවා
සකල හද මෝහ කළ
ගෝවින්ද අතිවිපුල්
ආනන්ද වින්දේය
මන්මද්‍ර විපරීතගති මහත් විස්මයකි!

(ගම්ලත්,සුචරිත.(1985).ගීත ගෝවින්දය:105 පිට)
රත්න ශ්‍රී විජේසිංහයන් විසින් ගීත ගෝවින්දයේ එන යට කී කාව්‍ය මහත් සංයමයෙන් ස්පර්ෂ කරමින් සිය අපූර්ව නිර්මාණයට මෙලෙස ජීවය සපයයි.

“තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙළුම් කැකුළ දැඳුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා....”

විරහ වේදනාවෙන් පෙළුණු ක්‍රිෂ්ණා තම වරද පිළිබඳව පශ්චාත්තාපයෙන් ඔද්දල්ව රාධාගේ අභිරමණය අවස්ථාවේ දී විප්‍රලම්භය පසෙක ලා සිත් සේ අනුරාගීය වෙලීමකට රාධාවන්ට ආදරණිය අයුරින් ඇරයුම් කරයි.  කාන්තාවකගේ පියයුරු රණ තිසරුන්ට සම කිරීම නිතැතින්ම සාහිත්‍ය තුළ සුලභය. ඒ තරම් අපූරු වර්ණනයක් තවත් නොමැති තරම්ය. රාධාගේ රණ තිසරකුගේ මෙන් පියයුරු නිදහසේ හැසිරීමට ඉඩ හරින ලෙසත් එම තිසර තුඩින් ක්‍රිෂ්ණාගේ හදවතේ නෙළුම් කැකුළ පුබුදන ලෙසත් ආයාචනා කරයි. මොවුන් දෙදෙනාගේ කාම සම්භෝගයේ රූපක  චිත්ත රූප , සංකල්ප රූප ‘භාෂාව’ නම් අපූර්ව නිර්මාණය භාවිතයෙන් ඉදිරිපත් කරන ආකාරය ඉතා අපූර්වය. පෙරදිග සාහිත්‍යයේ දැක්වෙන ආකාරයට අනංගයා, දුන්නෙන් හීයක් විඳි පසු ආදරය නම් වූ උත්තරීතර  හැඟීම ජනිත වේ.  නමුත් මෙහි දුන්නේ රැහැන් පට බෲංගයන්ගෙන් (මී මැස්සන්ගෙන්) පිරී ඇත. ගීතය ආරම්භයේ සිටම තිසර තුඩ, නෙළුම් කැකුළ,  ආදී සංකේත භාවිතයට යොමු වන රචකයා අනංගයාගේ දුන්නෙහි රැහැන් පට බෲංගයන්ගෙන් සරසනුයේ අභිරමණයට ඖචිත්‍ය වූ පරිසර වර්ණනා යොදා ගනිමිනි. ව්‍යංගයාර්ථය භාවිතයෙන් රචකයා අනංගයාගේ දුන්න බෲංගයන්ගෙන් සරසනුයේ මී  මැස්සන් මල් මතින් රොන් ගන්නේ යම්  සේද විරහ වේදනාවෙන් පෙළුණු  ක්‍රිෂ්ණා රාධාවන් සමඟ ඇතිවන අනුරාගීය බන්ධනය මැනවින් ප්‍රකට කරමිනි. ප්‍රේමගත ආශ්චර්යමත් අස්වැසිල්ලෙන් නිති පැහැසුණු අපූර්ව ප්‍රේමාතුර යුවලක් වන මෙම ආනන්ද ජනක ප්‍රේම පුවත භාෂාව නම් අපූර්ව නිර්මාණයෙන් ඉතාම සංයමයෙන් ගෙන හැර දක්වන ආකාරය විස්මයට ලක් කරයි. මෙයින් ආදරණීය ක්‍රිෂ්ණාවන් සිය සොඳුරු රාධාගේ තිසර යුවලට තුඩ පාන්නයැයි ඉඟි දෙයි. කාන්තාවන් මුලික රතිකාමි හැඟුමකට අවතීර්ණ වූ සැනින් තිසර තුඩ ඉපලීමට පත් වන ආකාරය රත්න ශ්‍රී විජේසිංහයන්  සංයමයෙන්   ඉදිරිපත් කොට ඇත. හදවත වැනුමට “මහද සුරත් නෙළුම් කැකුළ’‘ ලෙස අපූරු රූපකයක් භාවිත කරමින් ගේය පද රචනයක රචකයා යෙදී ඇත. දුන්නෙන් හීය මිදෙන විට “සරක්” වැනි හඬක් මවයි. මෙහිදී ඔවුනොවුන්ගේ සුසුම් නද පිළිබඳ ව්‍යාංගාර්ථයෙන් ඉඟි මැවෙයි. ප්‍රේමාතුර හැඟුමින් ඔද්දල්ව කෙරෙන සිප වැළඳ ගැනීම් අතර ඕනෑම පෙම්වත් දැහැනක සුසුම් සර වේගවත් බවින් යුක්තය. “සොඳුර රති හැඟුමින් ආතුරව සැලෙන නැලවෙන ඔබේ දෙතොල් සිප ගනිමින් සුසුම් දැහැනෙහි කිමිදෙන්න අවසර ද මට.... ” ලෙස ක්‍රිෂ්ණා ආදරණීය අයුරින් ඉල්ලීමක් කරයි. 


නොඉවසිලි අචල කෙළි
ඇරඹුණිය නොපමාව
රාධාව රති විකල
පරදනුව ශ්‍රී ක්‍රිෂ්ණ
නැගුණීය ඔහු මතෙහි
අධික විය රති වේග
පුළුලුකුළ නිසල විය
කර ලතා ලිහිල් විය
ළමැද කම්පිත වීය
පියැවිණිය නෙත් උපුල්
පැරදුණිය රාධාව
ළඳුන් රති පරාක්‍රම
කෙසේ නම් ඉටු වේද....

රාධාගේ පළොල් වන්
නිය පහර ලත් ළය ද
නිදි වරා රතු නෙත් ද
රතු පැහැය පහව ගිය
ඉදිමි ගිය ලවනත ද
ලිහිල් වී මැලවී ගිය
මල් බරැති වරලස ද
ගිලිහි රසනා දම ද
උදෑසන නෙත ගැටෙත
ඒ අනඟ සර පසින 
හරිහු හද පර්ජිතව
යළි කාම ගිනි නැගිණ
අත්භූත නොවෙද එය....
(ගම්ලත්,සුචරිත.(1985).ගීත ගෝවින්දය:106 පිට)


මෙසේ මනරම් වූත් අපූර්ව වූත් ප්‍රිය සම්භෝගය ආරම්භ කිරීමට ජයදේවයන් සිය නිර්මාණ ශක්තිය මෙහෙයවද්දී ලාංකේය චිත්ත සන්තානයන්ට අපූර්ව ආකාරයෙන් රත්න ශ්‍රි විජේසිංහයන් පද කිහිපයකට ලඝු කරමින් ගෙන එනුයේ එදා රාධා ක්‍රිෂ්ණාව මෙදා සාහිත්‍යයෙන් මහත් සංයමයෙන් නව සිතුවිලිවලට ආමන්ත්‍රණය කරමිනි.




“කොලොම් වන හිසේ මුවර ද
මමන මද පොතින් සීතල 
වඳුල කලාපේ මංගල
යහන් සළුව සෝදා
සුසුම් නලින් වියලෙන්නට
ඉඩ හරින්න රාධා ....”

කොයිතරම් අපූරුවට මහා ගීත කාව්‍යයක් පද කීපයකට ගළපා ඒ අපූර්ව රසය නවක ප්‍රේමවන්තයින්ට සුදුසු ලෙස රත්න ශ්‍රී විජේසිංහයන් ප්‍රතිනිර්මාණය කොට ඇත්ද...
පෙම්වතුන් දෙදෙනාගේ අභිරමණය කෙමෙන් කෙමෙන් උදා වන බවත් එකී අවස්ථාව සඳහා රාධා හා ක්‍රිෂ්ණා පමණක්ම නොව බාහිර පරිසරය ද ඔවුන් දෙදෙනා හා සමාන්තරව සූදානම් වන බව මනා ලෙස පද සුසංයෝගයකින් කිවිදාණන් ගෙන හැර දක්වයි. සීත ඍතුව නිමා වී, වසන්ත සමය උදා වී ගස්වල සුගන්ධවත් පුෂ්පයන්ගෙන් මකරන්දවත් වී, ගහකොළ ඵල බර වී ඇත. රාධා ක්‍රිෂ්ණා සම්භෝගයේ යෙදෙනුයේ කොලොම් හෙවත් අශෝක මලින් සුගන්ධවත් වූ වනයකය.  අශෝක මල් පිපි ඇති බැවින් එමඟින් කිවිදාණන් ව්‍යංගාර්ථවත්  කරනුයේ වසන්ත කාලය උදා වී ඇති බව නොවෙද. මෙකී කොලොම් වනයෙහි තුරු හිස මලින් මල් මකරන්ද හෙවත් මල් පැණි වෑහෙන බව රචකයා අපූර්වත්වයෙන් ගෙනහැර දක්වයි. එසේ වැහෙන මල් පැණිවලින් ලතා මණ්ඩපයේ  මංගල යහනෙහි සලුව තෙමෙන බවත් එලෙස තෙත පිරුණු තැන් සුසුම්වලින් වියලෙන්නට ඉඩ හරින ලෙස ක්‍රිෂ්ණා රාධාගෙන් ඉල්ලා සිටියි. ශෘංගාරය උණු වතුර නම් භාෂාව යනු එම උණු වතුරට එක් වන සිහිල් ජලයයි. එමඟින් මිනිස් සිත් සතන් අසහනයට පත් නොකොට නිවා සනාසාලිය හැකිය. එම භාෂා ප්‍රාතිහාර්ය රචකයා මෙහිදී භාවිත කොට ඇත. ක්‍රිෂ්ණාවන් සතුටු කරමින් මල් පැණි වපුරන කොලොම් වනය නම් , රාධාවන්ගේ ශරීරයයි. මේ මොහොතේ ඉන් නොකඩවා මල් පැණි වෑහෙන බවත් එය කෙතරම් ද යත් සලුපිළි පවා තෙතබරිත වී ඇති බව ව්‍යංගයෙන් ඉදිරිපත් කරනුයේ අමු අමුවේ කියා පෑ හැකි හරපයක් අපූර්වත්වයෙන් හකුලා දක්වමිනි. ශ්‍රී ජයදේවයන් විසින් 
උදෑසන නෙත ගැටෙත
ඒ අනඟ සර පසින 
හරිහු හද පර්ජිතව
යළි කාම ගිනි නැගිණ
අත්භූත නොවෙද එය....


ලෙස ගෙන එන පැදි පෙළ අනුකරණයකින් තොරව රාධා ක්‍රිෂ්ණාගේ සම්භෝගයේ දී රාධාවන්ගේ ශරීරය අශෝක මල් මතින් වෑහෙන මුවරද ලෙස සුඛනම්‍ය ස්වරයෙන් රචනා කරන්නේත් අභිරමණයේ උච්චතම අවස්ථාව පෙන්වා දෙන්නේ සියල් මනස් මෝහනය කර පුබුදුවාලමිනි.  
යළි කාම ගිනි නැගිණ
අත්භූත නොවෙද එය....
ශ්‍රි ජයදේවයන් ගෙනහැර පෑ මෙකී යථාර්තය ආදරයේ උච්චතම අවස්ථාව තවත් ලෙසකින් තම පෙම්වතා හෝ පෙම්වතිය පුල පුලා බලා සිටි අවස්ථාව රාගයේ ගින්න නිමාවක් නොමැති බව කිවිදාණන් දක්වනුයේ තෙත් වූ සළුව සුසම් නලින් වියලෙන්නට හරින ලෙස පවසමිනි. තවමත් අභිරමණයෙන් මිදීමට ක්‍රිෂ්ණා සූදානම් නැත. ප්‍රේමාතුර හැඟුමින් ඔද්දල්ව කෙරෙන සිප වැළඳ ගැනීම් අතර ඕනෑම පෙම්වත් දැහැනක සුසුම් සර වේගවත් බවින් යුක්තය. එම සුසුම් සරවලින් සයනයෙහි සළුව වියලෙන්නට නම් අපූර්ව වූත් සුන්දර වූත් ප්‍රිය සංවාසයෙහි තව දුරටත් කිමිද සිටිය යුතු බවට ක්‍රිෂ්ණා රාධාවන් ආදරයෙන් රාගයෙන් මුසපත් කරයි. 



“නියගලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවල පිරුණු උණුසුම නිවාලන්න රාධා
ලහෝපළු සිහිල හෙල්මැලි
සඳුන් කල්ක තවරා....”

සිදු කළ වරදින් පශ්චාත්තාපයට පත් වූ ක්‍රිෂ්ණා අභිරමණය පුරාවටම කතා නායකයා වෙයි. සිදු වූ වරද කිසිසේත් ස්මරණයට නොගෙන අනුරාගයේ සැතපෙන්නට හැකි සෑම අවස්ථාවකදීම රාධාට ඇරයුම් කරයි. රාධා ක්‍රිෂ්ණාගේ අභිරමණයේ තරම කොතෙත් ද කිවතොත් ලතා මණ්ඩපය උණුසුම් වී ඇත.  අභිරමණයෙන් නැගුණු උණුසුම නිවාලන ලෙස රාධාගෙන් ක්‍රිෂ්ණාවන් ඉල්ලා සිටියි. නමුත් ඔය කියන උණුසුමෙහි උච්චතම තැන ආස්වාදයෙන් උපරිමය හෙවත් සුරතාන්තය නම් වේ. එහෙත් රාධා හා ක්‍රිෂ්ණා යන දෙදෙනාටම තවමත් එහි අවසානයක් ඇති විය යුතු වීම සතුටක් ගෙන නොදෙයි. එසේ උණුසුම් වීමට ඉඩ නොදී අශෝක මල් ඇතිරිලි  මත රතිකම් රඟද්දී සඳුන් ආලේපය ඇඟ තවරා සුදු නෙළුම් ද ගවසා ගන්නා ලෙස ක්‍රිෂ්ණා රාධාට පවසයි. සංකේත භාවිතය කෙරේ තම පරිකල්පන ශක්තිය යොමු කරන රත්ත ශ්‍රී විජේසිංයන්හයන් වැඩි මොහොතක් රති පහස විදීමට පැරණියන් අනුගමනය කළ රහසක් ගෙන හැර දක්වයි.  සඳුන් ගලගා තුනුවගෙහි තවරා ගැනීමෙන් ශරීරය සිසිල් වන බැවින් සුරතාන්තය පමා කෙරෙන බව ජනශ්‍රැතියෙන් දැක්වේ. ශෘංගාරය පිළිබඳව සංයමයෙන් යුතුව භාෂාව යොදා ගනිමින් සිදු කළ වෑයම සැබවින්ම අගය කිරීම යෙහෙකි. නමුත් දෙදෙනාගේ සම්භෝගය අවසානය එතරම් සුබදායක නොවේ. ඒ බව කිවිදාණෝ අපූරු සංකේත භාවිතයකින් ගෙනහැර දක්වයි. කළිඳු ගංතෙර අසළ වන ගැබෙහි නියගලා මලින් සෝබන වී හමාරය. මෙතෙක් වේලා අශෝක මල් මකරන්දයෙන් ඔපවත් වූ වනයෙහි නියගලා මල් පිපී ඇති බව දැක්වීමෙන් නැවතත් රාධා තුළ ක්‍රිෂ්ණා වෙනත් ස්ත්‍රීන් සමඟ අනුරාගයෙන් බැඳෙයිදෝ යන සැකය ඇති වේ. නමුත් ජයදේවයන් ගීත ගෝවින්දය තුළ ද රාධාගේ සිත්හි සැකය ගෙන හැර දැක්වුව ද සිය පරිකල්පන ශක්තිය මෙහෙයවන රත්න  ශ්‍රී විජේසිංහයෝ රාධාගේ සිත්හි මතුවන සැකය නියගලා මලකට සමාන කරමින් ප්‍රේක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් ගෙන හැර දැක්වීම සැබවින්ම අපූර්වය.
සිය නිර්මාණයට උපමා, රූපක, සංකේත ආදී නිර්මාණාත්මක කාවf්‍යාපක්‍රම නොඅඩුව යොදා ගන්නා රත්න ශ්‍රී විජේසිංහයන් පැරණි සම්භාව්‍ය භාෂාව උපරිමයෙන් භාවිත කොට ශෘංගාර රසය උපරිමයට ගැබ් කොට මෙම ගීතය නිර්මාණය කොට ඇත. එසේම ගීත  ගෝවින්දය සිය නිර්මාණයට වස්තු බීජය වූව ද අනුකරණය නොකොට සිය චිත්ත සන්තානයෙන් පිලිපන් නිදහස් පද සුසංයෝගයට යොමු වී ඇත. ගීත ගෝවින්දයෙහි අභිරමණය කාව්‍ය 31 කින් නිර්මිත වූවද රත්න ශ්‍රී විජේසිංහයන් එය පද කිහිපයකට ලඝු කොට දැක්වීම අතිශය විස්මයජනකය.
ගීතය යනු සුගායනීය හැකියාව සහ ගති ලක්‍ෂණ ඇති ගාම්භීර , සංකීර්ණ සහ විශ්මය ජනක අරුත් සංගෘහිතව ,  රිද්ම - චන්දස් , ලය , තාල සහ ස්වර නිර්මිත ආදියට අවනත කළ හැකි , මිනිසා සොයාගත් අපූර්වතම නිමැවුමකි. අභිරමණය රසික හදවත් තුළට සංතර්පණය කිරීමට පදවලින් නිරූපිත අර්ථය සපථ කිරීමට වඩා යෝග්‍ය ලෙස “තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා” ගීතයට සංගීතය සංකලනය කොට ඇත. මෙම ගීතයේ දී වික්ටර් රත්නායකයන් බටහිර සංගීතයට  උත්තර භාරතීය සංගීතය සුසංයෝග කරමින් අපූරු ස්වර මාධූර්යයන් උත්පාදනය කොට ඇත. තබ්ලාව , බටනලාව , සිතාරය, වයලීනය යොදා ගනිමින් භාවයන් උද්දීපනයට යොමු වී ඇත. ගීතය ආරම්භයේ දී වස් දඬු වැයීම මඟින් රසිකයාට සිහි ගන්වනුයේ ක්‍රිෂ්ණා වස් දඬු වාදනය මඟින් රාධාගේ හැඟීම් උද්දීපනය කරන ආකාරයත් ඇය තම වසඟයට නතු කර ගන්නා ආකාරයත්ය. තබ්ලාව, සිතාරය, වයලිනය යොදා  ගනිමින් අමිහිරි වාදනයෙන් මිදී රාධා ක්‍රිෂ්ණාගේ අභිරමණයට සුදුසු භාවයන් පුබුදුවාලන සෞම්‍ය වාදනයන් යොදා ගනිමින් නිදහසේ ගලා යෑමකට ඉඩ දී ඇත. එයට හේතුව නම් , විරහ වේදනාවෙන් එකිනෙකා වැලපෙමින් සිටි රාධා ක්‍රිෂ්ණාව නැවත කාම සම්භෝගයේ යෙදීමට අවැසි රාගය රතිය උද්දීපනය කිරීමට යැයි වික්ටර් රත්නායකයන් පවසයි. සිතාරය සහ වයලීනය බොහෝ ගීතවලදී ශෘංගාර රසය හුවා දැක්වීමට යොදා ගන්නා අතර ඉන්දියානු කතා පුවතක් නිසාම ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය මැනවින් යොදා ගෙන ඇත. තබ්ලාවෙන් වැයෙන  රාගයන් මඟින් රාධා හා ක්‍රිෂ්ණාගේ සම්භෝගයේ උච්චතම අවස්ථාවන් ගෙනහැර දක්වයි. 

යට කී ආකාරයට ගීතයේ උඩු පෙළ අර්ථය එසේ වුව ද එම ගීතය තුළ ගැබ් වූ යටි පෙළ අර්ථය පිළිබඳ අවධානය යොමු කිරීම අගනේය. අධ්‍යතනය කෙරෙහි අවධානය යොමු කරන කළ නවීකරණය, කාර්මීකරණය හමුවේ විශ්වගම්මාන සංකල්පය සමඟ යන්ත්‍ර සූත්‍ර බවට පත් වූ මිනිසා ආත්මයම සංසිදවන ලිංගික ක්‍රියාවලියේ දී වුව ද එය ඉතා කඩිසරව ඉතා යුහුසුළුව කිරීමට යොමු වී ඇත. විලාසිනියකගේ ප්‍රේමය නම් ග්‍රන්ථය ලිවීමට සර්ච්චන්ද්‍රයන් අනුභූතිය ලෙස තෝරා ගනුයේ කණවේර ජාතකයයි. කණවේර ජාතකයේ ස්ත්‍රිය නගර ශෝභනියකි. රජවරුන් , බ්‍රාහ්මයන් සමඟ ද ඇය සබඳතා පවත්වයි. නමුත් එක් දිනෙක රජ වාසලේ දී පුරුෂයෙකු මරණ දණ්ඩනයට නියම වූ පසු එම පුද්ගලයා තම මලණුවන් යැයි පවසා බේරා ගනුයේ ඔහු සමඟ වාසය කිරීමේ මනදොලක් ඇති වූ නිසාය. එම පුරුෂයා රළු හැඩි දැඩි පුද්ගලයෙකි. සොරෙකි. අවසානයේ මෙම පුද්ගලයා විලාසිනියගේ ගෙල සිරකොට රන් ආභරණ රැගෙන පලා ගියත් ඇය සිහි සුන් වී සිටි නිසා සිහි ලැබුණු පසු එම පුරුෂයාම සොයා වැලපෙයි. මේ අනුව කාන්තාවගෙන් කාන්තාවකට රමණය ගතික ස්වභාවයක් උසුලයි. එනිසා යට කී ගීතයේ දැක්වෙන ආකාරයේ රාධා මෙන් කාන්තාවන් සුලලිත සුමට ආකාරයට රුචියක් නොදැක්වීමට ද පුළුවන. සිග්මන් ප්‍රොයිඞ් දක්වන ආකාරයට ලිංගිකත්වය විශමලිංගිකය. එනිසා මෙම ලිංගික ක්‍රියාවලිය ඒ ඒ පුද්ගලයාට අනන්‍ය බව ප්‍රොයිඞ් දක්වයි. පුරුෂාධිපත්‍ය නිසා පුරුෂයා ලිංගික ප්‍රහාරයකු බවටත් ස්ත්‍රිය ලිංගික පීඩිතයෙකු බවටත් පත්ව ඇත. නමුත් ස්ත්‍රියට අවශ්‍ය වනුයේ මීට වඩා වෙනස්ම ක්‍රියාවලියක් විය හැකිය. ඔයැ ජදකදර චමරචකැ නවකතාවේ දැක්වෙන  ආකාරයට එහි කාන්තාවට එම පුද්ගලයා කොතෙක ලිංගික ක්‍රියාවලියේ යෙදුනද ඇයට එය අංශු මාත්‍රයකුදු නොදැනෙන බව පවසයි. මෙය වූ කලී ප්‍රොයිඞ් සඳහන් කළ ලිංගික ක්‍රියාවලිය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වූ ස්වභාවය නොවෙද? මෙකී ගැටළු නිසා අදවන විට ආදරය කාලීන ගැටළුවක් වී හමාරය. අධ්‍යයතනය වන විට ආදරය, ප්‍රේමය , විරහව , අභිරමණය යනාදී මේ කාරණා සියල්ලම බලය , වාණිජකරණය, ගෝලීයකරණය ආදී සංකල්ප නිසා  උඩු යටිකුරු වී හමාරය. ආදරය , වෛරය බවට පත් වෙමින් තම පෙම්වතිය, පෙම්වතා , ස්වාමියා, බිරිඳ ඝාතනය කරන්නටත් එසේම ප්‍රේමය නම් වූ උත්තරීතර දායාදය සිල්ලරට විකිණීමටත්  අද සමාජය  යොමු වී හමාරය. මෙවැනි කාල සීමාවක් තුළ ක්‍රිෂ්ණාට කොතෙකුත් ස්ත්‍රීන් සිටියත් රාධා තම පතියා පිළිබඳ දැඩි ස්නේහයක් පතිවෘතා ධර්මය ආරක්‍ෂා කරමින් සිටීම තුළ ද ගැඹුරු සමාජ යථාර්තයක් සමාජය අභිමුව පෘථුල කරයි. “ඉවසීමෙන් සැනසීම ලැබේ” ය යන පුරාණ කියමන මෙම ගීතය තුළ ව්‍යංගාර්ථය හරහා ප්‍රේක්‍ෂක විචාරයට තිළිණ කොට දක්වයි. 

වයෝවෘධ පුද්ගලයන් සහ තරුණ පුද්ගලයෙකු නිවසක එකට වාසය කරන අතරතුරදී වයෝවෘද්ධ පුද්ගලයාගේ ඇසක් වපර බවක් එම ඇස ගිජු ලිහිණීයෙකු මෙන් තමන් දිහා බලා සිටින සේ පෙනෙන නිසා ඔහුට මහලු පුද්ගලයාව මරන්නට සිතෙයි. දින 07 ක් මැරීමට තැත් කළ ද අවසානයේ වපර වූ ඇසටම ඇණ මහලු පුද්ගලයා මරා දමා එම නිවසේම යට වළ දමනු ලබයි. මෙම පුද්ගලයා නොමැති බව දැනගත් පොලිසිය පැමිණි පසු කිසිදු සාක්‍ෂියක් ඉතුරු නොවන සේ ඔහු ඒ පිළිබඳ අංශු මාත්‍රයකු දු නොදන්නා සේ කටයුතු කරයි. එහෙත් පොලිසිය මද දුරක් ගිය පසු තරුණ පුද්ගලයා තේ පැන් සංග්‍රහයක් භුක්ති විදින ලෙස පොලිසියට ආරාධනා කරයි. පොලිසිය හිද ගෙන සිටිනුයේ එම මැරුණු පුද්ගලයා වැළලූ මතුපිටය. තරුණ පුද්ගලයාට මිය ගිය මිනිසාගේ  හද ගැස්ම ලබ් ඩබ් ලබ් ඩබ් ලෙස ඇසීමට පටන් ගනී. නමුත් ඔහුට ඇසෙනුයේ ඔහුගේම හදවතේ හඬයි. “ගතු කියූ හදවත” නම් කෙටිකතාව ලෝකයට හඳුන්වා දුන් එඞ්ගා ඇලන්පෝ නම් කතුවරයා මෙහි දක්වන ආකාරයට  වරදක් කළ පසු හෘද සාක්‍ෂියෙන් ගැලවීමක් නැත. එඞ්ගා ඇලන්පෝ හෙළි කළ මෙකී යථාර්තයම  “තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා” ගීතයට ගේය පද සැපයූ රත්න ශ්‍රී විජේසිංහයන් වරද කළ ක්‍රිෂ්ණා කතා නායකයා කොට මැනවින් සහෘදයා අබිමුව සිතන්නට යමක් ඉතිරි කොට ඇත.
හෙල ජන සමාජයෙහි ආදරය යනු පූජණීය, ගෞරවය ඇතිව, සාරධර්මයන්ට අනුකූලව ගොඩ නැගුණු උත්තරීතර ගුණාංගයකි. නමුත් ආදරයට මුදලින්, දුශ්චරිතයෙන් අරුත් සපයන මෙවන් යුගයක මිනිසාට ආදරයේ ගුණාත්මක සංරචකයන්හි වටිනාකම පෙන්වීම සඳහා මෙවැනි ගීත අගය කළ යුතුමය. පුරුෂයාගේ පත්නි දෝශය, ස්ත්‍රියගේ පතිවෘතය, සැමියාගේ ව්‍යභිචාරය නිසා බිරිඳ තුළ හට ගන්නා ඊර්ෂ්‍යාව, පසුතැවිල්ල, ආලයෙහි හා ද්වේශයෙහි සම්මිශ්‍රණය, පුරුෂයාගේ ඇවැත් සිත, පුරුෂයාගේ ව්‍යභිචාරය නොතකා පතිනිය ඉවසීමෙන් පවුල් සංස්ථාව රැක ගැනීම ආදී ධර්මතා රැසකින් වර්තමාන සමාජයට මෙම ගීතය හරහා ආමන්ත්‍රණය කරයි. මෙම ගීතය හුදෙක් අතීතයේ පැවතුණු පුරාවෘතයක් ගෙන හැර දැක්වීමක්  නොව  ආදරය යනු රාගයම ද? යන්න දෙවරක් සිතා බලන්නට  වත්මන් පරපුරට දෑස් විවර කර බැලීමට  අවකාශ්‍ය ලබා දුන් අග්‍රගණ්‍ය නිමැවුමකි.

  සාර්ථක ගීතයක් නිර්මාණය වීම සඳහා ගේය පද රචනය, සංගීතය හා ගායනය එක හා සමානව තිබිය යුතුය. “තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා” ගීතය එකී ත්‍රිත්වයම මනාව සුසංයෝග වූ ගීතයක් බව සහෘදයා පිළිගනු නිසැකය. සාර්ථකත්වය යනු අවශ්‍ය පදාර්ථයන් සියල්ල එක හා සමානව සම්පූර්ණ කර තිබීමයි. එබැවින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙහි වචන මනාව උපයුක්ත කොට ගනිමින් ශෘංගාරය ඉතා සංයමයෙන් ඉදිරිපත් කළ සාර්ථක නිර්මාණයක් බැව් කිව හැකි මනාය.