Search This Blog

Sunday, June 3, 2018

ළමා අපයෝජනය පිළිබඳ ඔබ අවදියෙන්ද...??

දිගු ඉතිහාසයක් කරා දිවෙන සංස්කෘතියක් ඇති රටක් ලෙස ශ‍්‍රී ලංකාව ප‍්‍රසිද්ධියට පත්ව ඇති අතර මෙම සංස්කෘතිය තවත් ඔප්නංවාලන, අපටම ආවේනික වූ සංචාරාත්මක සම්ප‍්‍රදායක් හා සාරධර්ම රැසක් ශ‍්‍රී ලාංකිකයන් වූ අපට උරුම වී ඇත. මුලු මහත් දකුණු ආසියාතියටම පොදු වූ සුවිශේෂි ලක්‍ෂණයක් වන මව පියා  දූ පුතුන් ප‍්‍රධානව සැකසුණු පවුල් සංස්ථාව අප සමාජය තුළ සංකේතානුගතව ඇත. මේ අනුව ස්වාමියාගෙන් බිරිඳට බිරිඳගෙන් ස්වාමියාට ඔවුන්ගෙන් දරුවන්ට වැඩිහටිියන්ගෙන් බාලයන්ට ආදී  වශයෙන් ඉටුවිය යුතු කාර්යය කොටස් බෞද්ධ ඉගැන්වීමෙන් ඔප් නැංවී සදාචාරාත්මක රාමුවක යුතුකම් හා වත්පිළිවෙත් ජාලයක් ලෙස පවතී. එකි සදාචාරාත්මක රාමුව තුළ ළමයා යනු ඉහළ පිළිගැනීමක් ආදරයක් හා අවධානයක්  ලැබූ  අයෙක් වූ අතර සෑම විටම මේ මානුෂික අංශවල ඉහළම තලය වූයේ  ළමා රැකවරණයයි.

 ළමා කාලය යනු පුද්ගලයකුගේ පෞරුෂය වර්ධනයේ ආරම්භය හා ගොඩනැගීම ඇති වන ඉමහත් සුවිශේෂි කාල පරිච්ඡේදයයි. සමාජයේ පවතින ධර්මතා, හර පද්ධතින්, භාෂාව යනාදි සියලූම සංස්කෘතින් මැනවින් ඉගෙන ගන්නා කාලයයි. පුද්ගලයෙක් සමාජයට අවශ්‍ය හා සමාජය පිළිගන්නා ලෙස ඔහුගේ හෝ ඇයගේ සිරිත් විරිත් හුරු පුරුදු ආකල්පයන් සකස් කරනුයේ මේ ළමා කාලයයි. පුද්ගලයෙකුගේ  මුලු ජීවිත පැවැත්ම තීරණය කරනු ලබන්නේ ළමා කාලය යනුවෙන් පැවසීම වඩාත් උචිතය. එමනිසා ළමාවිය පිළිබඳව පැවැත්ම හා සංකීර්ණතා පිළිබඳ මෙන්ම ඒ කරුණුවල සාර්ථකභාවය මත ඔවුන්ගේ   හෙට දවස මීට වඩා වගකීමෙන් අවධානයට යොමු විය යුතුය.

  අද සමාජය දෙස බලන විට, එදා සමාජය ළමයා වෙත පෑ ආදරණීය බව, රැකවරණය ගිලිිහෙමින් ඇති බව පැහැදිලිවම පෙනෙන කරුණකි. ළමයා වෙත දැඩිසේ පැවතිය යුතු මෙම ආදරය, රැකවරණය, පිළිගැනීම අවධානය අඩුවීම නැතහොත් ගිලිහීම සමාජයේ මහා ව්‍යවසනයක ආරම්භය බවට වර්තමානයේ පත්ව ඇත. වයස අවරුදු 5ට අඩු මිලියන එකසිය පනහක් පමණ වන දරුවන් දියණුු වෙමින් පවතින රටවල්හි අන්ත දිළිඳුකමින් පීඩා විඳිමින්   ජීවත් වේ. දියුණුවට පත් රටවල ද දරුවන් මිලියන ගණනක් නොසලකා හැර අයුතු ආකාරයෙන් සැලකීම්වලට යටත්ව ඇති අතර ලිංගික අතවරවලට ලක්වීම හෝ මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වූවන් බවට පත් වී තිබේ. සමාජ සංස්ථා විසංවිධානය වීමත්, සමාජ චර්යාවේ සිදුවන නොයෙකුත් විපර්යාසයන් හමුවේ  ළමා සුරක්‍ෂිතභාවය ගිලිහී ළමුන් අපයෝජන ක‍්‍රියාවන්ට ලක් වන බව මින් පැහැදිලි වේ. ශ‍්‍රි ලංකාවේ වලංගු නීතිය යටතේ ළමයා යන්න එක් එක් වයස්  කාණ්ඩ යටතේ දක්වා ඇත.

ළමයා යනු කවරෙක්ද?

ළමා අපචාර හා ළමා අපයෝජන පිළිබඳ කතා කිරීමේ දී මීළඟ ගැටළුව වන්නේ ‘ළමයා’ ලෙස හඳුන්වනු ලබන්නේ කවරෙක්ද? යන්න නිර්වචනය කර ගැනීමයි. එයට හේතුව නම් දණ්ඩ නීති සංග‍්‍රහය තුළ මෙන්ම විවිධ අණ පනත්වල දී ළමයා යන්න විවිධ ලෙස හඳුන්වා ඇති බැවිනි. එසේම කම්කරු දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා කාර්යාංශය, ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ ආයතන මගින් හඳුන්වා දී ඇති අණ පනත් මගින් ද ළමයා යන්න විවිධ තරාතිරම් හා වයස් මට්ටම් අනුව නම් කර ඇති බවක් දක්නට ලැබීමයි.

ජාත්‍යන්තර තත්ත්වය විමසා බැලීමේදී ද මුල් අවධිය පටන්ම ළමයා ගැන හා ළමා ආරක්ෂාව ගැන කතා කළ ද ළමයා කවරෙක්දැයි නිර්වචනය කර නැත. 1930 අංක 29 දරණ ජාත්‍යන්තර කම්කරු සංවිධානය බලෙන් වැඩ ගැනීමේ සමුළුව මගින් ළමා හා වැඩිහිටි දෙපිරිසටම බලපාන ආකාරයේ වෛශ්‍යා වෘත්තිය, වහල් භාවය, බලෙන් වැඩ ගැනීම වැනි විවිධාකාර සූරාකෑම්වලින් ළමයින් ආරක්ෂා කිරීම සදහා පියවර ගෙන ඇතත් ළමයා යනු කවරෙක්දැයි නිර්වචනය කර නැත.

x විවිධ තැනැත්තන් අතර දැඩි අශිෂ්ඨ ක‍්‍රියා
x බරපතල ලිංගික අපයෝජනය
x කුට්ටනය.
x ළමයින්ගේ අයුතු ලිංගික ප‍්‍රයෝජන ගැනීම
x ළමයින් වෙළඳාම් කිරීම
x බලහත්කාරයෙන් හෝ අනිවාර්යයෙන් වැඩ ගැනීම

ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අනුව සමාජ අපයෝජන නීතිමය වශයෙන් ඇතුළත් වන්නේ 1995 අංක 22 පනත සංශෝධන ද : නි : ස : 363 වගන්තිය යටතේය. 2014 වර්ෂය වන විට බාල අපරාධ සංඛ්‍යාව 21 බවට පත්ව ඇත. (මුලින්ම පැවතියේ බාල අපරාධ 18 ක් පමණි. එය පසුව අපරාධවල ස්වරූපය අනුව 18, 19, 20, 21 දක්වා ක‍්‍රමයෙන් වැඩිවිය. එම අපරාධ 13. ‘ D’ ගණයේ අපරාධ ලෙස සැලකේ.
1. අපහරණය/පැහැරගෙන යාම
2. ගිනි තැබීම
3. රුපියල් 5000 ට වැඩි අලාභ ඇතිවන පරිදි සිදුවන අනර්ථය
4. ගෙවල් බිඳීම සහ සොරකම්
5. බරපතල තුවාල සිදු කිරීම
6. පිහි ආදියෙන් තුවාල කිරීම
7. මනුෂ්‍ය ඝාතනය  හෝ තැත් කිරීම
8. ස්ත‍්‍රී දුෂණය
9. කරළි කෝලාහල
10. කොල්ලය

ළමයා යනු කවරෙක්ද යන්නට පවතින ව්‍යාකූලත්වය හඳුනා ගත් කම්කරු දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය අනුව සහ ජාත්‍යන්තර නීතියට අනුව ළමයා යනු කවරෙක්ද යන්න මෙසේ පැහැදිලි කරයි. අප ආදරය කරන අප දකින අපගේ දරුවන්, අප රටේ ක‍්‍රියාත්මක වන නීතිය තුළ දී ළමයෙකුද, තරුණයෙකුද, වැඩිහිටියෙකුද යන්න හඳුනා ගැනීම නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේදී අවශ්‍ය වේ. විශේෂයෙන්ම ළමයින්ට අදාළව නීති ක‍්‍රියාත්මක කිරීමේදී එම නීතියට අදාළ පනත අනුව ළමයකු හඳුනාගත යුතුව ඇත. නීතිය තුළ ළමයෙකුගේ අවම වයස පිළිබඳව ඒකීය බවක් නොමැති බැවින් පනතේ මූලික අරමුණ අනුව අවම වයස හෝ වයස් කාණ්ඩය මෙසේ දක්වා ඇත.

ළමයාගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ළමයින්ට මග පෙන්වීමක් සිදු කරන ආයතන ඉතා අල්පය. ඒවා බොහෝ විට ආගමික හෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වා ගෙන යනු ලබන ඒවාය. මීට අමතරව ඇත්තේ පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ළමා ආයතනයන්ය. එහෙත් එහි වාසය කරන ළමයින් පිළිබඳ නිශ්චිත අර්ථ කථනයක් දක්වා නැත. ඒ ඒ ආයතනවල ඇති ප‍්‍රතිපත්ති සහ සම්මතයන්ට අනුව ළමයා යන්න අර්ථ දක්වයි.

ළමා ශ‍්‍රමය අපයෝජනය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ක‍්‍රියාත්මක වන ප‍්‍රධානතම ජාත්‍යන්තර සම්මුතියක් වන්නේ අවම වයස් සම්මුතියයි. ළමයි අඩු වයසින් මෙහෙකාර සේවය ඇතුළු ආර්ථික ක‍්‍රියාකාරකම් වල යෙදවීම පාලනය කිරීම සඳහා නෛතික වශයෙන් අවම වයසක් නියම කිරීම ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූ අවස්ථාවක් විය. මේ සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 1973 වසරේ දී ප‍්‍රකාශයට පත් කරන ලද අංක 138 දරණ අවම වයස් සම්මුතිය මගින් සේවයට යොදා ගත හැකි අවම වයස් මට්ටම රටවල් තුළ ඇති ආර්ථික සාමාජීය වතාවරණය මත තීරණය කළ හැකි බව සඳහන් කර ඇත.

x 1956 අංක 47 දරණ ස්ත‍්‍රීන් තරුණ අය හා ළමයි සේවයේ යෙදවීම පිළිබඳ පනත 14 ට අඩු 14- 18
x 1942 අංක 45 දරණ  කර්මාන්ත ශාලා ආඥා පනත තරුණයා – බාල තැනැත්තා 14-18 බාල තැනැත්තා
x 1954 අංක 19 සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ පනත 14 ට අඩු 14-18
x 1939 අංක 48 ළමා හා යෞවන ආඥා පනත 14 ට අඩු 14-16 යෞවනයන්
x 1841 අංක 021 අයාල ආඥා පනත 16 ට අඩු
x 1992 ශ‍්‍රී ලංකා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය 16 ට අඩු
x 1998 අංක 50 ජාතික ළමා රක්ෂන අධිකාරී පනත 18 ට අඩු
x 1998 අංක 22/1998 අංක 29 පනත් වලින් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහය
    75 වගන්තිය 08 ට අඩු
x එම 360 වගන්තිය 10 ට අඩු
x එම 76,82, 363 වගන්ති 12 ට අඩු
x එම 364 අ 3 වගන්තිය 14 ට අඩු
x එම 364 අ 3 වගන්තිය 16 ට අඩු
x එම 80 වගන්තිය 18 ට අඩු

ශ‍්‍රී ලංකාව තුළ ‘ළමයා’ යන්න නිර්වචනය කර ඇත්තේ කෙසේදැයි විමසා බැලීමද අතිශයින්ම වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත‍්‍රය තුළ රෝම ලන්දේසි නීතිය ක‍්‍රියාත්මක වේ. බාල වයස්කාරත්වය පිළිබඳව පැහැදිලිව විස්තර කරන රෝම ලන්දේසි නීතිය අනුව වයස අවුරුදු 7 ට අඩු දරුවන් ළමයින් ලෙස වර්ග කර දක්වා ඇත. ඒ අනුව ළමයින්ට නීතිය ඉදිරියේ පුළුවන්කමක් නැත. ඔවුන්ට තම හිමිකම් ලබාගත හැක්කේ භාරකාරයෙකු යටතේය. එම භාරකරු දෙමාපියන්, පවුලේ ඥාති වැඩිහිටියෙකු හෝ භාරකාරත්වය පැවරූ භාරකරුවකු විය හැක.

1995 දී දණ්ඩ නීති සංග‍්‍රහයේ 76 වන වගන්තියේ මෙසේද දක්වා තිබේ. ‘‘අවුරුදු 8 ත් 12 අතර පුද්ගලයෙකු කරන ලද වරදක් සම්බන්ධයෙන් ඒ පුද්ගලයාට විරුද්ධව නඩු පැවරිය හැක්කේ තමා කරන ලද ක‍්‍රියාවේ ස්වභාවය හා ප‍්‍රති විපාක තේරුම් ගැනීමේ හැකියාවක් එම පුද්ගලයාට ඇත්නම් පමණි.’’ මේ අනුව එම වගන්තියේම වයස අවුරුදු 8 ත් 12 අතර පුද්ගලයෙකු ළමයෙකු වශයෙන් පෙන්වා දී ඇත.

දණ්ඩ නීති සංග‍්‍රහයේ 58 වන වගන්තියේ ළමයෙකු යනු කවරේද යන්න තවදුරටත් විග‍්‍රහ කර ඇත. ඒ අනුව වැරදි හා දඬුවම් සම්බන්ධයෙන් වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයන් සලකන්නේ වැඩිහිටියන් වශයෙන් බව සඳහන් වේ. එහෙත් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයෙකුට විරුද්ධව මරණීය දණ්ඩනය පැනවිය නොහැකි බවට තිබේ. මේ අනුව ළමයෙකු යනු වයස අවුරුදු 18 ට අඩු අයෙකු බව ගම්‍ය කර තිබේ.

විශේෂ අවස්ථාවල දී වයස අවුරුදු 18 ට අඩු ගැහැණු ළමයින්ට රජතුමාගේ ප‍්‍රදානයන් මගින් හෝ දෙමාපියන්ගේ අනුඅමැතිය යටතේ, ඇතැම් ගණුදෙණුවලදී බාල වයස්කාරත්වය බිඳ හෙලිය හැකි බව සඳහන් වේ. එවැනි අවස්ථාවලදී ළමයෙකු සේ සලකනු ලබන්නේ වයස අවුරුදු 18 ට අඩු දරුවන්ය.
සාමාන්‍ය සමාජය තුළ ළමයෙකු ලෙස හඳුන්වන්නේ අවුරුදු 18 ට අඩු තැනැත්තෙකි. එවැනි තැනැත්තෙකු දරුවකු, ළමයකු, තරුණයකු ලෙස හැඳින්වීමට සාමාන්‍ය සමාජය හුරු පුරුදු වී සිටියද ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ ළමයකු යන්නෙන් අර්ථ දක්වන්නේ කුමන වයස් මට්ටමකට අයත් පුද්ගලයෙකුටද යන්න පිළිබඳව ව්‍යාකූලත්වයක් පවතී. එයට හේතුව වන්නේ ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිවල ඒ ඒ නීති ප‍්‍රතිපාදනයන් අර්ථ දැක්වීමේ දී ළමයාගේ වයස විවිධාකාරයෙන් සඳහන් කර තිබීමයි. දණ්ඩ නීති සංග‍්‍රහයට (1995) අනුව ළමයකු වශයෙන් නිර්වචනය කර ඇත්තේ වයස අවුරුදු 8, 10, 12, 16 සහ 18 යන වයස් මට්ටම්වලට අයත් ගැහැණු හා පිරිමි දරුවන්ය. එසේම දණ්ඩ නීති සංග‍්‍රහයේ 76 වගන්තියේ මෙසේද සඳහන් වේ. ‘‘වයස අවුරුදු 8 ට අඩු පුද්ගලයෙකු කරන කිසිම ක‍්‍රියාවක් නීතිය අනුව වරදක් වශයෙන් නොසැලකේ. එවැනි පුද්ගලයෙකුට කිසියම් චෝදනාවකට විරුද්ධව නඩු පැවරිය හැක්කේ තමා කරන ක‍්‍රියාවේ ස්වභාවය හා ප‍්‍රති විපාක තේරුම් ගැනීමේ හැකියාවක් එම පුද්ගලයාට ඇත්නම් පමණි.’’ යන්නයි. 

එසේ වුවද ජාත්‍යන්තර නීතිය අනුව ළමයෙකු හෝ තරුණ අයෙකු හඳුනා ගැනීමේදී වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මීට අනුබද්ධ ආයතන මගින් සම්මත කොට ඇති ප‍්‍රඥප්තීන්ය. මෙහිදී ද ඉතා වැදගත්ම ප‍්‍රඥප්තිය වන්නේ  ‘‘ළමා අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියයි’’. මෙම ප‍්‍රඥප්තිය 1989 වර්ෂයේදී ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම ප‍්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු අයෙකු ළමයෙකි. මේ අනුව ජාත්‍යන්තර නීතිය පරිදි ළමයෙකු යනු වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු වශයෙන් හඳුනා ගත හැකිය.

  ළමා අපයෝජන යන්නෙන් අදහස් කරනුයේ ළමයාගේ සෞඛ්‍යට සහ වර්ධනයට හානිකර හෝ හානිකර වීමට මං සලසන ළමයා වේදනාවට පත් කරවන ලිංගික කටයුතුවල වැරදි ලෙස යොදවා ගැනීම හා මෙහෙකාර සේවයට යොදවා ගැනීම වැනි පහත් කි‍්‍රයාවලට ලක් වීමයි. නැතහොත් අපයෝජන යන්න දරුවෙකුගේ මූලික අයිතිවාසිකම් වන කායික, අධ්‍යාත්මික සහ සදාචාර අවශ්‍යතා (Physical, Emotional or Moral Needs) නොසලකා හැරීම ලෙස විග‍්‍රහ කළ හැක. ළමා අපයෝජන පිළිබඳ නෛතික සිද්ධාන්තයන් බිහිවී ඇත්තේ දරුවා, ඔහුගේ කායික මානසික අවශ්‍යතා සහ ඔහුගේ අනාගතය යන කරුණු පදනම් කර ගෙනය. ජාත්‍යන්තර වශයෙන් කතා කරන විට ඇමරිකාවේ ළමා අපයෝජනය පිළිබඳ නීතිය විග‍්‍රහ කොට ඇත්තේ දරුවා විෂයයෙහි කායික හෝ මානසිකව හානි සිදුවිය හැකි ආකාරයේ ක‍්‍රියා කිරීමය. දරුවාගේ වර්ධනය අත්‍යවශ්‍යය සාධකයක් ඔහුට අහිමි කිරීම, ඔහුගේ සහ පැවැත්මට අවශ්‍ය රැුකවරණය ඔහුට අහිමි කිරීම, අනාගතයේ ඔහුගේ පෞරුෂත්වයට සාදාචාරයට හා අධ්‍යාත්මයට මෙන්ම ඔහුගේ සුභ සාධනයට පටහැනි කාර්යයන්හි යෙදීම ලෙසය. ඒ  අනුව ළමා අපයෝජනයේ ස්වරූප කිහිපයකි.

1. ශාරීරික අපයෝජනය
2. නොසලකා හැරීම
3. ලිංගික අපයෝජනය
4. චිත්තවේගී අපයෝජනය

මෙම කාණ්ඩ හතර වෙන වෙනම ගත් කළ ඒ තුළ ද කරුණු ගණණාවක් ඇතුළත්ය. නිදසුනක් ලෙස මෙහි හඳුන්වන්නේ,

x ළමයා කේන්ති ගැන්වීම
x සපා කෑම
x පයින් ගැසීම
x පිලිස්සීම
x පීඩාකාරී ලෙස ශරීරයට හානි කිරීම
x වෙළදාමේ යෙදවීම ආදියයි.

මේවා තුළද නැවත අනු කොටස් දැකිය හැක. නිදසුනක් ලෙස ‘පිළිස්සීම’ ගතහොත් ඒ තුළ, උණුවතුරින් පිළිස්සීම, සිගරට්වලින් පිළිස්සීම, යකඩ පිහිතල වැනි උපකරණ රත් කර පිළිස්සීම, ඇඳුමට ගිනි තබා පිළිස්සීම, රත් කළ තෙල් වැනි දෑ මගින් පිළිස්සීම, අධික රස්නෙන් යුත් ආහාර පාන ලබා දී පිළිස්සීමට ඉඩ හැරීම, රසායනික ද්‍රව්‍ය වලින් පිළිස්සීම ආදිය දැක්විය හැකිය.
නොසලකා හැරීම ගත් විට ළමයා අපිරිසිදුව තබා ගැනීම, ආහාර පාන ලබා නොදීම, අධ්‍යාපනය ලබා නොදීම, මානසික අවශ්‍යතාවන් මග හැරීම, රෝගී වූ විට ඖෂධ ලබා නොදීම ආදී බොහෝ කරුණු ඇතුළත්ය. එසේම ලිංගික අපයෝජනය ලෙස හඳුන්වන්නේ ළමයා කුමන හෝ ආකාරයකට ලිංගික ක‍්‍රියාවකට බඳුන් කිරීමයි. නැතිනම් ලිංගික වශයෙන් ළමයා යොදා ගනිමින් ලබා ගන්නා වූ තෘප්තියයි.

x ළමයෙකු අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම
x ලිංගික අවයව ප‍්‍රදර්ශනය කිරීම
x අසභ්‍ය දේ පෙන්වීම
x සමලිංගික සේවනය
x දුෂණය කිරීම
x ව්‍යාභිචාරය
       ආදී කරුණු ඇතුළත්ය.

මේ අනුව ශ‍්‍රී ලංකාවේ අපයෝජන රැල්ල ඉතා සිඝ‍්‍රයෙන් වර්ධනය වීමක් මිස අඩු වීමක් දැකිය නොහැකිය. ඒ අතර ළමා ලිංගික අපයෝජන කැපී පෙනේ. සමාජයේ පෙර ගමන් කරුවා වන ළමයාට ලිංගික අපයෝජන කි‍්‍රයාවන්ට මුහුුණ පෑමට සිදුවීම රටක සංස්කෘතිය විනාශ මුඛයට කරා ගමන් කිරීමකි. ළමයින්  සමාජයට සම්පතකි. ඔවුන් යහගුණයෙන් යුක්තව වර්ධනය වී වැඩිහිටියන් බවට පත් වීම සමාජයේ ඉදිරි ගමන සඳහා ප‍්‍රයෝජනවත් වනු ඇත.
  ළමා අපයෝජන සම්බන්ධයෙන් සමාජය තුළ පවත්නා පොදු අදහස වන්නේ ළමා අපයෝජන හේතුවෙන් සමාජය කිසියම් අර්බුදකාරී තතත්වයකට පත් වී ඇති බවයි.  එය සමාජ ගැටලුවක් ද වී ඇත. ඒ සඳහා වහාම විසඳුම් ලබා දිය යුතු වන්නේ ඒ නිසාය. ඒ සමගම මේ සම්බන්ධයෙන් විවිධ සංවාද තර්ක විතර්ක හා විසඳුම් ද ඉදිරිපත් වන බව පෙනේ. ළමා අපයෝජන සම්බන්ධව  දැනට පොත්පත් විශාල සංඛ්‍යාවක්  රචනා වි ඇත. කෙසේ කොතෙක් මේ පිළිබඳ කරුණු වාද විවාද විසදුම් ඉදිරිපත් වුවද ළමා අපයෝජකයින් යැයි සැලකෙන පිරිසේ විශාල අඩු වීමක් දැකිය නොහැකිය. ළමා අපයෝජන පිළිබඳ මෙතෙක් ඉදිරිපත් වී ඇති විවිධ සම්ප‍්‍රදායන් හා න්‍යායාත්මක කරුණු තුළින් ඉවත් වී ඒ පිළබඳව නිදහස්ව හා ස්වාධීන විවෘත මනසකින් යුතුව කරුණු සොයා බැලීම වැදගත් වන්නේ එනිසාය.

 


10 comments: