Search This Blog

Thursday, May 31, 2018

ජනප‍්‍රිය සංස්කෘතිය.....


ජනප‍්‍රිය සංස්කෘතිය.....

ජනමාධ්‍ය හා සමාජය අතර පවතින සම්බන්ධතාවත් ජනමාධ්‍ය සමාජයට සිදු කරන බලපෑම් පිළිබඳ අධ්‍යයනයේ දී  ජනප‍්‍රිය සංස්කෘතිය වැදගත් මුලාශ‍්‍රයකි. ජනප‍්‍රිය සංස්කෘතිය යනු පවතින  සංස්කෘතික ලක්ෂණවලට නවීන ලක්ෂණයන් එක්වීමයි. සංස්කෘතිය නිරන්තරයෙන්ම වර්ධනය වන්නකි. එමනිසා ජනප‍්‍රිය සංස්කෘතික ලක්ෂණයන් ද  සංස්කෘතික අංග වලට එක්වී ඇත්තේ ඈත අතීතයේ සිටය. ජනමාධ්‍ය සංස්කෘතිය පිළිබඳ  හැදෑරීම් විවිධ ක්ෂේත‍්‍රවල දී වැදගත් වන්නේ එනිසාය. එය ස්වාධීනව පර්යේෂණයට ලක්කළ යුතු විෂය පථ බවට පත්ව ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳ විවිධ විද්වතුන් විසින් අදහස් දක්වා ඇත. එහිදී අවධානය යොමු කරන කරුණු දෙකක් පවතී. එනම්  රටක  සංස්කෘතික පදනම විනාශ කරන ලක්ෂණයන් ජනප‍්‍රිය සංස්කෘතිය තුළ පවතින බව සහ රටක ඉදිරි පැවැත්මට උපකාරී වන නව ජවයක්  ඇති කරලීමේ හැකියාවක් ජනප‍්‍රිය සංස්කෘතියට පවතින බවයි. බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ ජනමාධ්‍යවලින් විසුරුවා හරිනු ලබන විනෝදාස්වාදන ක‍්‍රමයන් මෙයට අයත්වන බවයි.

වර්තමානය වනවිට සමාජයේ සෑම අංශයක් කෙරෙහිම ජනප‍්‍රිය සංස්කෘතිය හිතකර සහ අහිතකර ලෙස බලපෑම් කෙරෙන අතර  ජනප‍්‍රිය සංස්කෘතියකින් තොරව කිසිදු සමාජ සාධකයක් විචාරය කිරීමට  නොහැකි තත්ත්වයට පත්ව ඇත. ආර්ථිකය, කලාව, දේශපාලනය, ආගම, අධ්‍යාපනය ආදී සෑම ක්ෂේත‍්‍රයක් තුළම  ජනප‍්‍රිය සංස්කෘතිය සිය අණසක පතුරුවා ඇතැයි පැවසීම නිවැරදිය. වර්තමානයේ ජනප‍්‍රිය සංස්කෘතිය සීමාව ඉක්මවා සමාජයට බලපෑම් සිදු කරන්නේ මානව  ක‍්‍රියාකාරිත්වය පදනම් කරගෙනය. ජනප‍්‍රිය සංස්කෘතිය විලාසිතාවක් බවත් ඒ පිළිබඳව සීමාව ඉක්මවා අවධානය යොමු කිරීමක් ද දැකගත හැකිය. ජනප‍්‍රිය සංස්කෘතිය තුළ පවත්නා සියල්ල ඒ ආකාරයෙන් බාර ගැනීම කළ යුතු යැයි හෝ අපේ සියලු සමාජ ක‍්‍රියාකාරකම් ජනප‍්‍රිය සංස්කෘතිය පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක කළ යුතුය යන නිගමනය  පිළිගත  නොහැකිය. කුමන  හෝ සංස්කෘතියක් ක‍්‍රියාත්මක වන්නේ මානව චින්තනය හා මානව  ක‍්‍රියාකාරකම් පදනම් කර ගැනීම තුළ බැවින් මානවයාගේ වගකීම වන්නේ යහ සමාජයක් ගොඩනැඟීම සඳහා ඒ ඒ සංස්කෘතීන් මුවහත් කිරීමය. එහෙත් අවාසනාවකට මෙන් ජනප‍්‍රිය සංස්කෘතිය කෙරෙහි අනවශ්‍ය අවධානයක්, සීමාරහිත අවධානයක් යොමුවීම නිසා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එයට අප අයත් විය යුතු බවය. එයින් ගම්‍ය වන්නේ මානවයාට මානව ක‍්‍රියාකාරකම් පාලනය කරගත නොහැකි බවයි. මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය කරන්නේ මානවයාය. එසේනම් මාධ්‍ය සංස්කෘතියේ නිර්මාණකරු ද මානවයා බව පැහැදිලිය. 
නිදසුනක් ලෙස  අද පවතින ආහාර බොහොමයක් ජනප‍්‍රිය සංස්කෘතිය සමග නවීකරණය වී ඇත. පවතින සංස්කෘතිකාංග තුළට නව අංග එක් කරමින් ජනප‍්‍රිය සංස්කෘතියක් නිර්මාණය කොට මාධ්‍ය හරහා පාරිභොගික ජනතාව ආකර්ෂණය කර ගනිමින් බොහොමයක් ආයතන ලාභ අපේක්ෂාවන් ඉටු කර ගනියි. නමුත් ඒ තුළ පවතින මුසාවාදිත බව පිළිබද මෙන්ම එම ආහාර ආහාරයට ගැනීමේ දී ශරීර සෞඛ්‍ය පළිබදව ද අවධානය යොමු කළ යුතුය.
සැබෑ යථාර්තය පිළිබඳව  ගවේෂණය කරන්නේ නම් වඩාත් ස්වාධීන, අදින, නිරවුල් ඇසකින්  විද්‍යාත්මකව හා  නිවැරදි පදනමක් යටතේ ලෝකය අවලෝකනය කළ හැකිය. එනිසා නව සංකල්ප බිහි වන තරමට මෙම  සංකල්ප අන්ධානුකරණයෙන් වැළඳ ගැනීම නො නොකළ යුත්තකි. වඩාත් කාලීන විධිමත් මිනුම් දඬු ඇසුරු කරගනිමින් නව සංකල්ප විචාරයකට ලක්විය යුතු කාලය එලඹී ඇතැයි මා හැඟි අදහසයි.

Tuesday, May 29, 2018

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස

මාධ්‍ය නිදහස යන්න ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළත්, දේශපාලන ක්ෂේත්‍රය තුළත් එක සේ සංවාදශීලි මාතෘකාවකි. මෙරට ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව මඟින්ම පිළිගෙන සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අතිශය වැදගත්ය. අතීතයේ දී තොරතුරු හා දැනුම ප්‍රකාශයට පත් කිරීම සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම සහ ප්‍රාථමික මුලාශ්‍ර ඔස්සේ සිදුවිය. එහෙත් වර්තමානය වනවිට තාක්ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයන් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජ ගතවීමේ ක්‍රමික වර්ධනයත් සමඟ ප්‍රකාශන නිදහස පිළිබඳව සාකච්ඡාවට  ලක්විය. එමනිසා වර්තමානය වනවිට තොරතුරු ප්‍රකාශනය හා බැඳුණු මාධ්‍ය නිදහස අතර ඝට්ටනයක් පවතී. යම් සිදුවීමක් පිළිබඳව විස්තරාත්මක ආකෘතියක් ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ශක්‍යතාව  පවතින්නේ පුවත්පතටය. ඇතැම් අවස්ථාවල දී පුවත්පත්  යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා කිරිමේ දී එහි අනන්තය දක්වාම ගොස් පාඨකයාට සත්‍ය හා විශ්වාසනීය තොරතුරු අපක්ෂපාතී වාර්තාකරණයක් හරහා ලබා දීමට උත්සාහ කරයි. මෙහි දී සිදුවීමට අදාළ පුද්ගලයා කවරෙක්ද? ඔහු නියෝජනය කරන සමාජ පන්තිය කුමක්ද යන කාරණා පුවත්පත් කලාවේදියාට අදාළ වන්නේ  නැත. ඔහුට අවශ්‍ය වන්නේ පාඨකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උපරිම ආකාරයෙන් සම්පුර්ණ කිරීමට වේ. 
මෙලොව සියලූම මනුෂ්‍යයන් උපත ලබා ඇත්තේ නිදහස්ව ය. සෑම දෙනාටම එකම ආකාරයෙන් අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි විය යුතු ය. සෑම පුද්ගලයෙකුට ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අර්ථ පූර්ණව භුක්ති විඳීමට හැකිය. ප්‍රකාශන නිදහස යනු ඉදිරිපත් කිරීමට හා නිදහසේ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියයි.
මානවයා සතු ප්‍රකාශන නිදහස තොරතුරු ලබා ගැනීමේ අයිතිය  1948  දෙසැම්බර් 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කොට ප්‍රකාශයට පත් කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන් තහවුරු කොට තිබේ. මේ ප්‍රකාශනය මගින් ලෝකයේ සියලුම මිනිසුන්ගේ සහජ අයිතිවාසිකම් හා නිදහස අර්ථ පුර්ණව ඉදිරිපත් කරන ලදී.
රාජ්‍ය හා සමාජීය චර්යාව පාලනය කිරීමේ මාර්ගයක් ලෙස රාජ්‍යයන් ද, සංවිධාන හා පුද්ගලයන් ද බැඳී සිටිය යුතු බව එයින් පිළි ගනී .එසේ පිළිගනිමින් ලොවටම පිළිගත හැකි නියමයන් හා සදාචාරාත්මක වටිනාකම් සමුහයක් මේ ප්‍රකාශනය මඟින් ඉදිරිපත් වේ .මේ ප්‍රකාශනයට නීතිමය බලයක් නැතත් එහි සදාචාරාත්මක වටිනාකමක් තිබේ. මේ ප්‍රකාශනයට අනුව ක්‍රියා කිරීමෙන් ලෝකයේ සියලුම දෙනාට සාධාරණ හා වඩාත් හොඳ ලෝකයක් බිහි කිරීමට හැකි වන්නේ ය යන අදහස ඉදිරිපත්ව තිබේ.
අදහස් පළ කිරීමේ නිදහස පිළිබඳව මේ ප්‍රකාශනයේ 19 වන වගන්තියේ  දැක්වේ .
“තම නිදහස් මත දැරීමට හා ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුට ම අයිතිය ඇත. අනුන්ට බාධාවක් නොමැතිව තම මතය දැරීමටත් දේශ සීමා නොසළකා කවර මාධ්‍යයකින් හෝ තොරුතුරු ලැබීමටත් තොරතුරු ලබා දීමටත් ඇති අයිතිය ඊට ඇතුළත් ය.”
මේ ප්‍රකාශනයේ අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබද අයිතිය හැමදෙනාම සතු බව දැක් වේ.මෙයින් අදහස් කරන්නේ එම අයිතිය එක රටක ජනතාවකට නොව සියලුම පුද්ගලයන්ට හිමි අයිතියක් වන බව ය.මේ ප්‍රකාශනය මඟින් පිළි ගැනෙන්නේ අදහස් දැරීමේ හා පළකිරීමේ නිදහස සමස්ත මානව වර්ගයාටම අවේණික අයිතියක් වන බව ය.එසේම එය මානව පැවැත්මට මුලිකවනවා පමණක් නොව, සමාජ සංවර්ධනයට ද අවශ්‍ය කරුණක් වන බව ය. එමෙන් ම “ දේශ සිමා නොසලකා ඕනෑම මාධ්‍යක් ඔස්සේ තොරතුරු සෙවීමේ ,ලැබීමේ සහ බෙදා හැරීමේ අයිතිය” මේ ප්‍රකාශය මඟින් තහවුරු කර තිබේ. පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැරුණු විට 1978 දී පැන වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් භාෂණ ප්‍රකාශන අයිතියට සුවිශේෂී ස්ථානයක් ලබා දී තිබේ. 
  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ”භාෂණය හා ලේකනයේ නිදහස ලෙස හඳුන්වා ඇති එම නිදහස මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අඩංගු පරිදි ම සඳහන්ව නොතිබුණත් සමස්තයක් ලෙස ගත කල්හි එකී නිදහස මින් ගම්‍ය වන බව මෙහි  අදහස වේ.
විසුවලිංගම්ට එදිරිව ලියනගේ නඩුවේදී මෙන්ම විමල් පෙරේරා එදිරිව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නඩුවේ දී,  එවකට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් විකාශනය වූ ස්වභාරති ගීත වැඩසටහන අතරතුර ශ්‍රාවකයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු නොදී  එම වැඩසටහන නවතා දමන ලදී. එහිදී විමල් පෙරේරා නමැත්තා තම අයිතිය උල්ලංඝනය වීම පිළිබද ව ශ්‍රේෂ්ඨාධිකරණය  ඉදිරියේ නඩු පවරන ලදී. එහි තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ තොරතුරු දැනගැනීම පිළිබද ව නීතිමය තත්ත්වයක් ව්‍යවස්ථාව තුළ සඳහන් නොවුණ ද එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තුළ සනාත වන බවයි .
සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය (ICCPR1976 දී ගොඩනගන ලදී. මේ සම්මුතියේ බලපෑම වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන රටවල් එම ලේකනවල සඳහන් මානව හිමිකම් සිය රටවැසි ජනතාවට ද සහතික කර දීමේ වගකීම එකී රජයන් විසින් බාරගන්න ලද බවයි. 
සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තියේ ජනමාදධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට අදාළ වේ. ඒ මෙසේ ය.
බාධාවකින් තොරව අදහස් දැරීමේ අයිතිය සියලූ දෙනා සතුය.
➤ ප්‍රකාශන නිදහස පිළිබඳ අයිතිය සියලූ දෙනා සතුය.
දේශ සීමා නොසළකා වාචිකව, ලිඛිතව හෝ මුද්‍රිතව කලාවේ ස්වරූපයෙන් හෝ තමා කැමති  ඕනෑම මාධ්‍යයක් සියලූම ආකාරයේ අදහස් තොරතුරු සෙවීමේ ලැබීමේ හා පතුරුවා හැරීමේ නිදහස මේ අයිතියට අයත් වේ.
ඉහත සදහන් සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඊට අනුරූපී 19 වන වගන්තිය තවදුරටත් පැහැදිලි කරනු ලබති. එසේම විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තියෙන් සහතික කෙරුණු හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මඟින් වඩාත් නිරවුල්ව  දක්වා තිබේ.එසේම සම්මුතියට අත්සන් කරන රටවල් බැඳීමක් බවට පත් කරමින් එම වගන්තියට නීතිමය බලයක් ද ලබා දෙති .එසේම සම්මුතියේ අඩංගු අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ දී ඒ හා බැදුණු විශේෂ යුතුකම් හා වගකීම් ද සඳහන් කර තිබේ.මේ නිසා අන්‍යයන්ගේ හිමිකම් හා කීර්තියට ගරු කරනු සඳහා නීතිය මඟින් ඇතැම් සිමාවන් පනවනු ලැබීමට පුළුවන.මෙහි 19 වන වගන්තියේ 3 (ආ ) අනු ඡේදය මඟින් සෙසු පුද්ගලයන්ගේ හිමිකම් හා කීර්තියෙන් ආරක්ෂා කරනවා සේ ම 3 (ආ ) අනු ඡේදය මඟින් ජාතික ආරක්ෂාව, ජනතා විනය, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය වැනි බැඳියාවන් සුරැකීම රජයේ යුතුකමක් බව පෙන්වා දෙයි.
මෙලෙස මිනිසාගේ ප්‍රකාශන නිදහස භාෂණයේ නිදහස නෛතික වශයෙන් ආරක්ෂා කර ඇත. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  (1978)  14 (1) වගන්තිය මඟින් ප්‍රකාශන නිදහස භාෂණයේ නිදහස  සහතික කොට තිබේ. එනම්,
“සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස හා ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.”
මෙසේ අයිතීන් ආරක්ෂා කර ඇති සේම එම අයිතීන් යම් යම් සීමාවන්ට ද ලක් කර තිබේ. ඒ වගකීමෙන් යුතුව මෙම නිදහස භුක්ති විඳීමට ඉඩකඩ සැලැස්වීමටයි. මන්ද  ඕනෑම පුද්ගලයෙකුට නිදහස තිබූ පමණින්  ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට නොහැකි වේ. කිසිවෙකුට හිංසා පීඩා වන ආකාරයට අදහස් පල කිරීමේ හැකියාවක් නොමැත. එලෙස අදහස් ප්‍රකාශ කළහොත් එය ශිෂ්ටසම්පන්න සමාජයක් වේද?
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 29 (2) හා 30 වගන්තිවලින් එය සීමා කර තිබේ. 29 (2) වගන්තියේ සඳහන් පරිදි,
”සමාජයේ කිසිවෙකුට හිංසා හා පීඩා වන ලෙස සිය අයිතිවාසිකම් හා නිදහස භාවිත නොකළ යුතුය.”
ඒ වගේම භාෂණයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැනවූ අණ පනත් මගින් සීමා කර තිබේ. එනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (1978) 15 (2) ව්‍යවස්ථාව හා 15 (7) ව්‍යවස්ථාව මගින් සීමා කර තිබේ.

15 (2 ) ව්‍යවස්ථාව 
  “14 වන ව්‍යවස්ථාව 01 වන අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විදිය හැක්කේ ද ක්‍රියාත්මක විය හැක්කේ ද වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස කිරීම අපහාසය හා වරදකට පෙළඹවිම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සිමා කිරීම්වලට යටත්වය.” 
මේ නියමයන්ට අනුව භාෂණයේ නිදහස, ප්‍රකාශ කිරීමේ නිදහස තිබුණු නිසාම කෙනෙකුව අපකීර්තියට පත් කිරීමේ හෝ ලංකාවේ විවිධ ජාතින් අතර අසමගිය ඇතිවන පරිද්දෙන් කිසිවක් ලිවීම් හෝ පර්ල්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වරප්‍රසාද කඩ කරන ආකාරයකින් කිසිවක් සඳහන් කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩක් නැත.මේ නියමය සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 3 (අ ) හා (ආ ) වගන්තිවල පරමාර්ථයන්ට අනුකූල වේ. මේ අනුව බලන කළ සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තවෙත් එක හා සමාන තතත්වයක් ගම්‍ය වන බව පැහැදිලි ය.