Search This Blog

Thursday, June 21, 2018

සමාජ ජාල මාධ්‍ය භාවිතය ...


සමාජ ජාල මාධ්‍ය භාවිතය ...


සන්නිවේදන තාක්ෂණයේ විශ්ව ව්‍යාප්තිය තුළින් ලෝකය එකට යා කිරීමට අන්තර්ජාලයට හැකි වී තිබේ. ක්ෂණික බව හා ඍජු බව තුළින් සාර සන්නිවේදන කි‍්‍රයාවලියක් මින් සිදු වන අතර පුද්ගල කේන්ද්‍රීය පසුබිමක් තුළ මෙය නිර්මාණය වී තිබේ. සංකීර්ණ වූ සමාජයක් තුළ පුද්ගල අවශ්‍යතාවන්ගේ ස්වරූප විවිධ දිශානති ඔස්සේ ව්‍යාප්ත වන අතර එම අවශ්‍යතා ව්‍යාකූල වේ. අවිවේකී බව නිසාම යම් හුදකලා බවකට පුද්ගලයා මුහුණ දෙමින් සිටී. මෙම රික්තයට විසඳුම් ලෙස සමාජ ජාල මාධ්‍ය භාවිතයට පුද්ගලයා මහත් රුචියක් දක්වයි.
අන්තර්ජාලය සමඟ විවිධ  සම්බන්ධතා ගොඩනැගීම වර්තමානය තුළ වර්ධනය වී තිබේ. මෙහිදී අන්තර්ජාලය සතු වේගවත් බව මීට හේතු වී ඇත. පුද්ගලයන් අතර ඇති වන සබඳතාවන්ගේ පුළුල් බව මත නව මාධ්‍යයන්හි ප‍්‍රසාරණය වීම ක‍්‍රමිකව සිදු වේ. සමාජීය මාධ්‍ය  බිහි වීම ද මෙහි ප‍්‍රතිඵලයකි. 1994 වර්ෂයේ Geocitis ලෙස සමාජීය මාධ්‍ය අන්තර්ජාලයේ භාවිතයට එක් වූ අතර මේ මඟින්  අන්තර්ජාල භාවිත කරන්නන්ට රිසි ලෙස තම  වෙබ් අඩවි නිර්මාණය කිරීමේ අවකාශය ලැබුණි. මෙය සමාජීය ජාල වර්ධනයට හා ව්‍යාප්තියට හේතු විය. පුද්ගල සබඳතා පහසුවෙන් නිර්මාණය කළ හැකි වීම සමාජීය මාධ්‍ය (Social Media) තුළ පවතින වාසියකි. ඇමෙරිකාවෙහි 2011 වර්ෂය වන විට මිනිත්තුවකට බිලියන 88 ක් සමාජීය මාධ්‍ය භාවිත කළ අතර 2012 වන විට එය මිනිත්තුවකට බිලියන 121 දක්වා වර්ධනය වී ඇත. මින් සමාජීය ජාල තුළ පුළුල් වශයෙන් සබඳතා පවතින බව අවධාරණය කළ හැකි වෙයි. වසරක් තුළ සමාජීය මාධ්‍ය භාවිත වර්ධනය බිලියන 33 කින් ඉහළ යාම විද්‍යමාන කරයි.

සමාජ ජාල මාධ්‍ය යනු Andreas Kaplan Michael Haenlein (2010) ගේ විග‍්‍රහයට අනුව අන්තර්ජාලය පදනම් වූ අයඳුම්පතක් මඟින් බිහි කරනු ලබන සංකල්පමය හා තාක්ෂණික පදනමක් සහිත Web 2 සංකල්පය හරහා භාවිත කරන්නන් විසින් බිහිකරනු ලබන අන්තර්ගතයක් ඇත. ඉන් විවිධ නිර්මාණයන් හා හුවමාරු කිරීම් සිඳුවන සමූහයන් භාවිත කරන මාධ්‍ය සමාජ ජාල මාධ්‍ය වෙයි. මේ අනුව අන්තර්ජාලය  ඕනෑම පුද්ගලයෙකුට නිර්මාණය කළ හැකි හා භාවිත කළ හැකි මාධ්‍යකි.

මෙහිදී ව්‍යාපාරික අරමුණු, අධ්‍යාපනික අරමුණු, විනෝදය, මිත‍්‍රත්වය හා පේ‍්‍රමය වැනි කරුණු මත සමාජීය මාධ්‍ය තුළ නව සබඳතා නිර්මාණය  වේ. විවිධ අවශ්‍යතා මත බිහිවන සබඳතා එකී අවශ්‍යතා මත වර්ධනය හා බිඳ වැටීමට හේතු වන බව පෙන්වා දී තිබේ. මෙහිදී තරුණ පිරිස විශාල වශයෙන් සමාජීය මාධ්‍ය භාවිත කරයි. සමාජ මාධ්‍ය ජාල  වැඩි වශයෙන් භාවිත කරන්නන් අතරින් වැඩි ප‍්‍රතිශතයක් තරුණ පිරිස් වන බැවින් පේ‍්‍රමය මූලික වශයෙන් මෙහිදී ප‍්‍රබල වන බව අවබෝධ කර ගත හැකිය. 2010 වර්ෂයේ මාරිලන්ඩ් විශ්වවිද්‍යාලය සිදු කළ සමීක්ෂණය මත බොහෝ පිරිසක් සමාජීය මාධ්‍යට ඇබ්බැහි වී සිටිින අතර මෙයට ප‍්‍රධාන සාධකය වී  ඇත්තේ ඔවුන් හුදකලා වීමට දක්වන බිය (Fear Of Missing Out – FOMO) නිසා බව නිගමනය කර ඇත. ඒ අනුව සමාජ ජාල තුළ නිර්මාණය වන බොහෝ සබඳතා පුද්ගලයා හුදකලා බවින් මිදීමට භාවිත වන බව පැහැදිලිය.

  •  සමාජීය ජාල භාවිතයේ අවශ්‍යතා...

පුද්ගලයන් අතර ශාරීරික සබඳතාව අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී අත්‍යාවශ්‍ය වෙයි. එය අන්තර් කි‍්‍රයාව හා අභ්‍යන්තර විශ්වාසය සමඟ සම්බන්ධව ගොඩ නැගෙන්නකි. සමාජීය ජාල භාවිතයේ දී පුද්ගලාන්තර සන්නිවේදනයේ ලක්ෂණ විද්‍යමාන වේ. සමාජීය ජාල භාවිතය පවුල කේනද්‍ර කරගත් පුද්ගලාන්තර සන්නිවේදනය අවශ්‍යතා සමඟ සසඳා බැලීම මෙම නව මාධ්‍යයේ මූලික ස්වරූපය අවබෝධ කර ගැනීමේ දී වැදගත් වේ. සමාජීය ජාල මඟින් පවුල තුළම පුද්ගලයා හුදකලා කර තිබේ. පවුලේ අන්තර් සබඳතා දුරස්ථ කෙරේ.

කාලය පිළිබඳ විශ්ව නිර්ණායක වෙනස් වීමට භාජනය වී තිබේ. ඒක මාර්ගික සන්නිවේදනය අන්තර් කි‍්‍රයාකාරීත්වය සහ සහභාගිත්ව සන්නිවේදනය දක්වා පුළුල් වී තිබේ. මෙහි පැහැදිලිවම හඳුනා ගත හැකි සාධකයක් වන්නේ පැරණි සන්නිවේදන රටාවට වඩා සකි‍්‍රය ලෙස ප‍්‍රජාව නව මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු සමාජ ජාල මාධ්‍ය පරිහරණයට යොමු වීී ඇති බවයි. සමාජීය ජාල තුළ ශ‍්‍රව්‍ය දෘශ්‍ය ලිඛිත මාධ්‍ය වෙන් වෙන්ව පරිහරණයට ගැනීමක් නොව එ්කාබද්ධ භාවිතයක් හඳුනා ගත හැකිය. පරිගණක සංඛ්‍යාත භාවිතය, දෘෂ්‍ය සංඥාර්ථ කිරීමේ හැකියාව ව්‍යාප්ත වීම සඳහා ද සමාජීය ජාල උපකාරී වී තිබේ. මෙම ජාල භාවිතය නිසාම නව මාධ්‍ය හැකියා වර්ධනය වී තිබේ.

  •  සමාජීය ජාලවල මෙහෙවර ....

ඍජු පුද්ගලාන්තර වාචික කථනයේ සිට යන්ත‍්‍ර සහය කරගත් ආංකික භාවිතයන් සමාජීය ජාල මඟින් යොදා ගනු ලැබේ. අතිශය වේගවත් ව පණිවිඩ හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව මෙමඟින් සැලසේ. කාලය හා අවකාශය අතික‍්‍රමණය කිරීමට හැකි වීම මෙහි පවතින සන්නිවේදන ප‍්‍රබලතාවකි. ලොව පුරා විසිරුණු සබඳතා ජාලාවක් ගොඩ නගා ගැනීමටත් , දැනුම අවබෝධය වර්ධනය කර ගැනීමට මේ ඔස්සේ අවකාශ ගොඩ නැගී තිබේ. විවේකය පාළුව මඟ හරවා ගැනීමට විනෝදාංශයක් වශයෙන්ද  සමාජීය ජාල ශක්තිමත්ව වර්ධනය වේ. ජනමත ගොඩ නැගීමට ද, මතවාද බලාත්මක කිරීමට ද අධ්‍යතනය වන විට සමාජීය ජාලවල කාර්යභාරය වී හමාරය. පිරිවැයක් වැය නොකොට පණිවිඩ ප‍්‍රචාරය කිරීමට සමාජීය වෙබ් ජාලවලට ඇති හැකියාව ප‍්‍රබලය. එසේම නිශ්චිත ග‍්‍රාහක පිරිසක් ඉලක්ක කොට පණිවිඩ ඉදිරිපත් කිරීමට හැකිවීම වාසියකි. සමාජීය ජාලවල ආගමික, සංස්කෘතික, ආර්ථික, පෞද්ගලික තොරතුරු හුවමාරු කරන ජාල ගොඩ නැගී ඇත්තේ මෙනිසාය.
සමාජීය වෙබ් ජාල සන්නිවේදන ද්විපථ වූවකි. ඍජු ප‍්‍රතිචාර ලබමින් එයින් ගොඩනැෙගෙන ප‍්‍රතිපෝෂණ ඔස්සේ සන්නිවේදන කි‍්‍රයාව කි‍්‍රයාත්මක වෙයි. මෙහි පදනම වන්නේ සන්නිවේදන පණිවුඩ සාරසන්නිවේදනයක් බවට පත්කර ගැනීමට අවකාශ උදා වීමයි. සාරසන්නිවේදනයේ දැක්වෙන ඍජු බව(Openness), සහවේදනය (Empathy), සහයෝගිතාවය (Supportiveness), ධනාත්මකතාව (Postiveness), සමතාව (Equilyty) යනාදිය සමාජීය  ජාල සංයුතියේ දී න්‍යායිකව පිළිගත හැකි කරුණකි. සාරසන්නිවේදන එළඹුම සමාජීය ජාල භාවිතය තුළ අභියෝගයට ලක් කිරීමට අවකාශ පවතී.

  •  සමාජ ජාල නිසා අධ්‍යතනයේ උද්ගත වී ඇති සමාජීය ගැටළු.

ස්වකීය මනෝ භාවය පෞද්ගලික අදහස් හුවමාරු කර ගැනීමට සමාජීය ජාල තුළින් පුද්ගලයාට අවකාශ තිබේ. තම අනන්‍යතාව හෙළි නොකර ව්‍යාජ අනන්‍යතාවක් මඟින් ද එය සිදු කළ හැකිය. ග‍්‍රාහකයා පෞද්ගලිකව නොහඳුනන නමුදු සිතැගි ප‍්‍රකාශ කිරීම මඟින් මානසික සහනශීලි බවක් ඇතිකර ගැනීමට අවකාශ උදා වේ. ග‍්‍රාහකයා සාවධානව අසා සිටීම මඟින් පුද්ගලයාට සහනයක් ලැබේ. මේ අනුව සමාජීය වෙබ් ජාල ඔස්සේ සමාජීය ගැටලු අසා සිටින පිරිසක් ගොඩ නැගී ඇත. මෙවැනි මානසික සහනයක් ගැටලුවට මුහුණ දීමේ දී පුද්ගලයාට අවශ්‍ය වේ. මෙම ස්වභාවය වාසිදායක ලෙස යොදා ගත හැක්කේ සමාජීය ජාල ඔස්සේ යොදා ගන්නා සබඳතාවල ස්වභාවය අනුවය.

සමාජීය ජාල ඔස්සේ ප‍්‍රබල ගැටලු රාශියක් ද සමාජගතව තිබෙන බව හඳුනා ගත හැකිය. ඇබ්බැහිවීම මූලික ගැටලුවකි. ඇබ්බැහි  වීම මඟින් ප‍්‍රමුඛතාව වෙනස් වේ. සියලු අවශ්‍යතා ද්විතීක තලයක තබමින් ඇබ්බැහිවීම වැනි කරුණු කෙරෙහි ප‍්‍රමුඛතාව ලබා දෙයි. එම කාර්ය ඉටු කිරීමට පුද්ගලයා තුළ ගොඩ නැගෙන අභිලාෂය සෙසු සමාජීය කරුණුවලින් පුද්ගලයා දුරස් කරයි. මෙය සමාජීය සබඳතා බිඳ වැටී හුදකලා අයෙකු බවට පත් කිරීමට හේතු වන්නකි. පරිගණක ක‍්‍රීඩා සඳහා ඇබ්බැහිවීමේ ප‍්‍රතිඵලයක් ලෙස උන්මාදනීය මානසික තත්ත්වය ගොඩනැගී තිබේ. මානසික රෝගීන් බිහි වීම තෙරෙහි සමාජීය ජාල භාවිතය හේතු වී ඇති බව මනාව සනාථ වේ. දින 3 ක් ආහාර නොගෙන අන්තර්ජාල ක‍්‍රීඩා සඳහා එක් වූ චීනයේ දරුවෙකු මිය ගිය බවට වාර්තා වී ඇත. පරිගණක අබියස දිගු කාලයක් ගත කිරීම නිසා සමාජීය වෙබ් ජාල කෙරෙහි ම අවධානය යොමු කිරීමෙන් මානසික ආබාධ ඇති වෙයි. අක්ෂි දුබලතාව ද ඇති වේ. අතිශය පෞද්ගලික පදනමක භාවිත කිරීමට ඇති හැකියාව නිසා භාවාත්මක නැමියාවෙන් වර්ධනයකට අවකාශ තිබේ. සිය දිවි නසා ගැනීම් දක්වා ක‍්‍රීඩකයා මෙහෙයවන පරිගණක ක‍්‍රීඩාවන්වල ද වර්ධනයක් සිදු වී ඇත. වැරදි ලිංගික ක‍්‍රියාකාරකම්වලට අදාළ සබඳතා වෙබ් ජාල ඔස්සේ අපරාධ වර්ධනය වීමේ ප‍්‍රවනතාවක් ද පවතී. සමාජීය ජාල ඔස්සේ තොරතුරු ලැබූ මූලයන් පිළිබඳ විශ්වසනීයත්වයක් ගොඩ නගා ගැනීම අපහසුය. එම මූලයන් ව්‍යාජ ඒවා වීමටද ඉඩකඩ තිබේ.

අන්තර්ජාලය ආරම්භ වන්නේ යුධ රහස් ආරක්ෂා කර ගැනීමේ මෙවලමක් ලෙසිනි. සාධනීය අරමුණු පදනම් කර ගනිමින් අන්තර්ජාලය ආරම්භ වුවද අධ්‍යතනය වන විට අපරාධ , මුදල් වංචා කිරීම් , සූදු අන්තර්ජාලය ඔස්සේ සිඳුවන බව එංගලන්තයේ ටෙ‍්‍රන්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාර්ක් ග‍්‍රිෆිත් (Mark Griffiths) කරුණු රාශියක් අනාවරණය කර තිබේ. එසේම සමාජීය ජාල භාවිතය බහුල වීම නිසා විවාහා දෙදරා යාම , පේ‍්‍රම සබඳතා විශාල වශයෙන් බිඳ වැටීම ද අදවන විට සුලබ කාරණාවක් වී ඇත.



2 comments: