Search This Blog

Saturday, June 23, 2018

KFC ... චිකන් වැඩ කෝටියයි...

👉 KFC ... චිකන් වැඩ කෝටියයි.


හාර්ලන්ඞ් සැන්ඩර්ස් 1890 දී උපත ලැබීය. සැන්ඩර්ස්ගේ වයස අවුරුදු පහේ දී ඔහුගේ පියා මියගිය අතර ඔහුගේ මවට ටින් කිරීමේ කර්මාන්ත ශාලාවක වැඩ කිරීමට සිදු විය. මෙනිසා ඇයගේ වැඩිමහල් පුත‍්‍රයා ලෙස සැන්ඩර්ස් තම බාල සහෝදර සහෝදරියන් දෙදෙනා රැකබලා ගැනීමට සමත් විය.  ඔහුට වයස අවුරුදු හතේ දී පමණ සිට  ඔහුගේ මව ඔහුට ආහාර පිසීමට උගන්වන ලදී. වයස අවුරුදු 13 දී පවුලෙන් පිටත්වීමෙන් පසුව සැන්ඩර්ස් විවිධ වෘත්තීන් හරහා ගමන් කළේය. වර්ෂ 1930 දී ඇපාලාචියන් කඳුකරයේ පිහිටි කුඩා නගරයක් වන කෙන්ටකි , නෝර්ත් කෝබින් නදියේ එක්සත් ජනපද මාර්ගයේ 25 ෂෙල් පිරවුම්හලක් භාර ගත්තේය. මුලින් ම ඔහු කුඩා දරුවෙකු ලෙස ඉගෙනගත් වට්ටෝරුව යොදා ගනිමින් කුඩා ආහාර සංචිතයක් ආරම්භ කළේය. ඔහුටම ආවේණික වට්ටෝරුවකින් සමන්විත  වූ මෙය බදින ලද කුකුල් මස් විය. වසර හතරකට පසු සැන්ඩර්ස් පාරේ අනික් පැත්තෙන් විශාල පිරවුම්හලක් මිලදී ගත් අතර මේස හයක් දක්වා එය පුළුල් කළේය. 1936 වන විට, සෙන්ටර්ස් විසින් ආණ්ඩුකාර රූබි ලෆූන් විසින් කෙන්ටකි කර්නල් ගෞරවණිය නාමය ලබා දෙන ලදී. 1937 දී ඔහු සිය අවන්හල ආසන 142 දක්වා පුළුල් කළේය. ඔහු වීදිය හරහා මිලට ගත් මොටර් හෝටලයක් එකතු කොට  සැන්ඩර්ස් කැෆේ ලෙස එය නම් කරන ලදී. 

අනෙක් පුද්ගලයන් මෙන් සැන්ඩර්ස් කුකුල් මස් බැදීමට ලිපට දමා විනාඩි 35 ක කාලයක් ගත කළේ නැත.  ඔහු කුකුළුමස් ගැඹුරු තෙලේ බැ`දීමට අකමැති විය. 1939 දී පළමුවන වාණිජ පීඩක උදුන වෙළඳපොළට නිකුත් කරන ලදී. සැන්ඩර්ස් එකක් මිලදී ගත් අතර, එය පසුව චිකන් ෆ‍්‍රයිචර් බවට පරිවර්තනය කරන ලදී. නව ක‍්‍රමවේදය වන (Fried) බදින ලද චිකන් ගුණාත්මකභාවය රඳවා තබාගැනීම, පහසු බව සැන්ඩර්ස්ගේ අදහස විය. ගැඹුරු ලෙස ෆ‍්‍රයිඩ්  කරන ලද කුකුල් මස් සමග  සංසන්දනය කළ විට එය නිෂ්පාදන කාලය අඩු කරන බව සැන්ඩර් අවබෝධ කොට ගත්තේය. වර්ෂ 1940 ජූලි මාසයේ දී සැන්ඩර්ස්, ඖෂධ පැළෑටි සහ කුළු බඩු 11 කින් යුත් "මුල්ම වට්ටෝරුව"  හඳුන්වා දෙනු ලැබුවේය. ඔහු වට්ටෝරුව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකළ ද, ලූණු හා ගම්මිරිස් භාවිතය පිළිබඳව ඔහු පිළිගත්තේය. 1950 දී සැන්ඩර්ස් සිය ඇඳුම වෙනස් කළේය. සුදු පැහැති ඇඳුමකින් සැරසුණු ඔහු තද කළු පැහැකි ටයි පටියකුත් නිකටෙහි කුඩා රැවුලක්ද සහිත විය. 1952 දී සැන්ඩර්ස් තම රහස් වට්ටෝරුව සිය ප‍්‍රථම විශාලතම ආපනශාලාවලින් එකක් වන දකුණු සෝල්ට් ලේක්හි පිහිටි පීට් හර්මන් වෙත ප‍්‍රදානය කළේය. නිෂ්පාදිතය විකිණීමේ පළමු වසර තුළ, ෆ‍්‍රයිඩ් චිකන් අලෙවියෙන් 75% කින් එනම් ආපනශාලා අලෙවිය තුන් ගුණයකින් වැඩි විය.  හැම්මාන් සඳහා ෆ‍්‍රයිඩ් චිකන් එකතු කිරීම තරඟකරුවෙකුගෙන් තම අවන්හල වෙන් කර තැබීමේ ක‍්‍රමයකි. හැම්මාන් විසින් කුලියට ගන්නා ලද චිත‍්‍ර ශිල්පියෙකු වන ඩොන් ඇන්ඩර්සන්, විසින් Kentucky Fried Chicken (KFC) නාමය හඳුන්වා දුන්නේය. හර්මන්ගේ සාර්ථකත්වයෙන් පසු වෙනත් ආපනශාලා හිමියන් කීපදෙනෙකු ද එම සංකල්පය අලෙවි කළ අතර සැන්ඩර්ස් සඳහා ඩොලර් 0.04 ක මුදලක් ගෙවා ඇත.

හාර්ලන්ඞ් සැන්ඩර්ස්, "කර්නල්" 1954 දී පවුලේ සාමාජිකයන්ට සරිලන ආකාරයේ  බඳුනක්  හඳුන්වා දුන්නේය. එහි කුකුළු මස් කැබලි 14 ක්, පාන් රෝල 5 ක් සමග මස් ව්‍යංජනයෙහි හොදි ද ලබා දුන්හ. කඩදාසි බාල්දියේ සිය අත්සන සටහන් කිරීම සමාගමට සංකේතාත්මක අගයක් විය. 

1963 වන විට ඇමෙරිකාවේ KFC අවන්හල් 600 ක් පමණ වූ අතර විශාලතම ක්ෂණික ආහාර මෙහෙයුම් කටයුතු සිදුකරන සමාගමක් විය. KFC  බදින ලද කුකුල් මස් කොතරම් ජනප‍්‍රිය වූවා ද කියතොත් සිය අණසක පතුරවාගෙන සිටි හැමිබර්ගර්වලට අභියෝග කරන්නට විය. 

වර්ෂ 1964 දී සැන්ඩර්ස් ජෝන් වයි බ‍්‍රවුන්  සහ ජැක් සී. මැසි විසින් මෙහෙයවන ආයෝජකයින් පිරිසකට ඩොලර් මිලියන 2 ක මුදලට  විකුණනු ලැබීය. ඔවුන් අතර සිදු වූ ගිවිසුමෙහි සැන්ඩර්ගේ ජීවිත කාලය තුළ දී වැටුපක් සහ ආයතනයේ ගුණාත්මකභාවය වෙළද ළකුණ සුරක්ෂිත කරලීම සිදු කළ යුතු විය. 1967 වනවිට KFC  ආයතනය ක්ෂණික ආහාර නිපදවීමේ ආයතන අතර 6 වැනි ස්ථානයට පත් විය. 1970 වන විට විවිධ රටවල් 48 ක් පුරා පැතිර ගිය KFC  අලෙවි වී ඇති අතර වෙළදසැල් සංඛ්‍යාව 3,000 කට අධික  වී ඇත. 1971 ජුලි මාසයේ දී බ‍්‍රවුන් විසින් KFC ආයතනය ඇසුරුම් කළ ආහාර හා බීම ආයතනයක් වන හෙවුබ්ලෙයින් සංස්ථාව වෙත ඩොලර් මිලියන 285 ක (ඩොලර් බිලියන 1.6 ක් පමණ) මුදලකට ලබා දීය. 1980 දී සැන්ඩර්ස් මිය ගියේය. ඇමෙරිකානු සංස්කෘතික ඉතිහාසයේ කැපී පෙනෙන පුද්ගලයෙක් විය. ඔහුගේ මරණය සිදු වූ කාලයේ දී ලෝක ව්‍යාප්තව ලොව පුරා රටවල් 48 ක KFC මධ්‍යස්ථාන 6,000 ක් පමණ තිබූ අතර  වාර්ෂිකව එම ආයතන ඩොලර් බිලියන 2 ක ආදායමක් උපයා ඇත.

වර්ෂ 1982 දී Heublein සමාගම දුම්කොළ දැවැන්තයා වන ආර්. ජේ. රෙනෝල්ඞ් විසින් අත්පත් කර ගන්නා ලදී. 1986 ජුලි මාසයේ දී රෙනෝල්ඞ් විසින් ඩොලර් මිලියන 850 ක (ඩොලර් බිලියන 1.8 ක් පමණ)  Pepsico සමාගම වෙත විකුණා ඇත. 1987 නොවැම්බර් මාසයේ දී චීනය  බීජිංහි KFC අලෙවිහලක් සමග වෙළදපොළට අවතීර්ණ විය.

1991 දී  KFC නම නිලවශයෙන් අනුමත කරන ලදී. එය ලෝකය පුරා තව දුරටත් KFC නාමය ප‍්‍රචලිත වීමට හේතුවක් විය.  1994 වන විට KFC සමාගම එක්සත් ජනපදයේ වෙළෙඳසැල් 5,149 ක් වූ අතර, සමස්තයක් ලෙසින් ලෝකය පුරා 9,407 ක් වූ අතර  සේවක සංඛ්‍යාව 100,000 ක් පමණ විය. 1994 දී මැක්ඩොනල්ඩ් ආහාර වට්ටෝරු ද හදුන්වා දෙමින් තිබිණ. 1997 අගෝස්තු මාසයේ දී Pepsico සිය අවන්හල් අංශයෙන් ඩොලර් බිලියන 4.5 ක්  වටිනාකමක් ඇති පොදු සමාගමක් බවට පත් විය. මෙම සමාගම Tricon Global Restaurants ලෙස නම් කරන ලදී. එවකට එහි අලෙවිසල් 30,000 ක් සහ වාර්ෂික විකුණුම් ඩොලර් බිලියන 10 ක් පමණ වී ඇත. 2002 මැයි මාසයේ දී  Tricon ආයතනය Yum! Brands ලෙස නම් කරන ලදී.

2015 වන විට සමාගම් සුලබව, සෙසු සිල්ලර වෙළෙන්දන්ට ව්‍යාපාර අහිමි වූ අතර, මීට වසර තුනකට පෙර ප‍්‍රධාන චිකන් සිල්ලර අලෙවි සමාගම ලෙස චිකාගෝ ෆිල් ඒ් සමාගම අභිබවා ගියහ. මෙය මර්ධනය කිරීම සඳහා KFC ආයතනයේ ඇසුරුම්කරණ, අලංකරණ සහ නිල ඇඳුම වැඩිදියුණු කිරීම සඳහාත්, එහි මෙනුව පුළුල් කිරීමටත් සැලැස්මක් සහිතව නව සමාගමක් දියත් කළේය. ඊට අමතරව, 2015 මැයි මාසයේ සිට, කර්නල් සැන්ඩර්ස්ගේ ප‍්‍රතිරූපය අනුව යමින්  ඩැරල් හැමන්ඩ් යොදා ගනිමින් නව වෙළඳ දැන්වීම් මාලාවක් දියත් කරන ලදී. තව දුරටත් KFC ආයතනය ජනතාව අතරට ගෙන යාමට නෝම් මැක්ඩොනල්ඩ් , ජිම් ගෆිගන් , ජෝර්ජ් හැමිල්ටන් සහ රොබ් රීග්ල් වෙළද ප‍්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා ලදී.

👉 කර්නල්ගේ වට්ටෝරුවේ සැගවුණු රහස ....

සැන්ඩර්ස්ගේ මුල්ම වට්ටෝරුව "ඖෂධ පැළෑටි සහ කුළු බඩු" 11 කින් සමන්විත ආහාර සැපයීමේ කර්මාන්ත අතර වඩාත්ම ප‍්‍රසිද්ධ වෙළඳ රහසක් බවට පත්ව ඇත. එම රහස් වට්ටෝරුව සඳහා පේටන්ට් බලපත‍්‍රය හිමි වී නැත.  
සැන්ඩර්ස් විසින් අත්සන් කරන ලද වට්ටෝරුවෙහි පිටපතක් KFC   මූලස්ථානයේ ගබඩාව තුල සුරක්ෂිතව තබා ඇති අතර, එහි ඖෂධ පැළෑටි හා කුළු බඩු එකොළහක් අඩංගු වේ. වට්ටෝරුව පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට  මැක්ක්‍රොමික්ට ලබා දීමට පෙර ග‍්‍රිෆිත් රසායනාගාර තුළ දී අර්ධ වශයෙන් කර්නල්ගේ වට්ටොරුවත් ඉතිරි අර්ධය ඔවුන්ගේ වට්ටොරුවක් එක් කළේය. 

1980 දී කර්නල්  මිය ගිය අතර 1999 දී, කර්නල් සැන්ඩර්ස් සිටි  නිවස මිලදී ගත් යුවළක්, රහස් වට්ටෝරුව ලියන ලද ලක්ෂණ සටහන් කර ගත්හ. මුලදී KFC සමාගම මෙම  යුවලට එරෙහිව නඩු පැවරීමට වුවමනා වුවද, 2001 වර්ෂයේ ආරම්භයේ දී නඩු විභාගය අත්හැර දැමූ අතර, KFC ආයතනය එම වට්ටෝරු ලත් සටහන් කර්නල්ගේ මුල් මුල්පිටපතට "කිසිසේත් සමීපව" නැති බව කියා සිටියේය. 
කර්නල් සැන්ඩර්ස් ජෝ ලේඩින්ටන්  සමග විවාහා වූ අතර ජෝ ලෙඩින්ටන් හට කර්නල් විසින් කඩදාසි කැබැල්ලක ලියන ලද වට්ටෝරුවේ මුල් පිටපතක්  හමු වී තිබේ.

ජෝ ලෙඩින්ටන් හට හමු වූ වට්ටෝරුව:







  • 2016 අගෝස්තු මාසයේ දී Chicago Tribune කාර්ය මණ්ඩලය විසින් මෙම වට්ටෝරුව පිළිබද ආහාර පිසීමේ පරීක්ෂණයක් සිදු කරන ලද අතර මෙම බදින ලද කුකල් මස් සදහා MSG සමග ඇක්සෙන් එක් කොට රසය වැඩි දියුණු කර ඇති බව සනාථ විය.

ගැහැණු පිරිමි දෙපාර්ෂවයටම වැළදිය හැකි පියයුරු පිළිකා...

පියයුරු පිළිකා හඳුනාගමු කල් නොදමා...


පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගයකි. මෙය බහුලව ඇති වන්නේ වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන්ටයි. යම් හෙයකින් ඔබේ පියයුරු වල ගැටිත්තක් හෝ වෙනයම් ආකාරයක වෙනස්කමක් දුටුව‍හොත් වහාම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි. පියයුරු පිලිකාව මුලින් හදුනාගත හොත් සුව කළ හැකියි. පිළිකාව වඩා පැතිරී ඇත්නම් සුව කිරීමට අපහසු වේ. කෙසේ වෙතත් එවන් පිළිකා තත්ත්වවලට ප්‍රතිකාර කිරීම මගින් පිළිකාව වර්ධනය වීම වළක්වා ගත හැක.


  • අවදානම් සාධක

පියයුරු පිළිකාවක් හට ගැනීමට නිශ්චිත හේතුවක් නොමැති වුවත් පහත සදහන් අවදානම් තත්ත්ව නිසා පිළිකාව සෑදීමේ අවදානම වැඩිවේ.

x වයසට යාම - පියයුරු පිළිකා සෑදීමේ අවදානම දල වශයෙන් සෑම අවුරුදු 10 කටම දෙගුණ වේ. වැඩිපුරම  පියයුරු පිළිකා ඇතිවන්නේ වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ටයි.

x පවුල් ඉතිහාසය - පවුලේ ඥාතියෙකුට පියයුරු පිළිකාව සෑදී ඇත්නම් අවදානම වැඩියි. විශේෂයෙන් එම ඥාතියා පිළිකාව හදුනා ගැනීමේදී වයස අවුරුදු 50ට අඩු නම් අවධානම වැඩි වේ.

x මෙයට පෙර පියයුරු පිළිකාවක් සෑදී තිබුනේ නම් එවැනි අයට ද අවදානම වැඩිය.

x දරුවකු නොසිටීම හෝ පළමු දරු උපත වයස අවුරුදු 30 ඉක්මවා ගිය පසු සිදු වීම.

x වයස අවුරුදු 12 ට පෙර ඔසප් ආරම්භ වීම.

x වයස්ගත වී ඔසප් නැවතීම. (අවුරුදු 55න් පසු)

x අවුරුදු 50 ට වැඩි කාන්තාවන් දීර්ඝ කාලීනව හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීම.

x වඩා විශාල පියයුරු තිබීම.

x පිළිකා නොවන පියයුරු සම්බන්ධ රෝගයන් මීට පෙර සෑදී තිබීම.

x දෛනික පුරුදු - ව්‍යායාම අඩුකම.

x ආර්තවහරණයෙන් පසු ඇති වූ ස්ථූලතාවල අධික ලෙස මත්පැන් පානය කිරිම.

x රාත්‍රි කාලයේ සේවයේ යෙදීම - මෑතක දී කළ පර්යේෂණයකට අනූව රාත්‍රි කාලයේ සේවයේ යෙදෙන කාන්තාවන්ට සුළු අවධානමක් පවතින බව ‍සොයාගෙන ඇත.

බොහෝ කාන්තාවන් හට මාස් ශුද්ධියට පෙර තම පියයුරු ගැටිති ස්වභාවයක් ගන්නා බව දැනෙන අතර වේදනාවක්ද හට ගනී. වියපත් වන විට ගර්භනී භාවයට පත්වන විට හා තම සිරුරේ බර විශාල වශයෙන් වෙනස් වන විට පියයුරුවල විශාලත්වය හා හැඩය වෙනස් වේ. නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබ ඔබගේ පියයුරු වල ස්වභාවය මුල සිටම දැන සිටීම හෝ යම් අන්දමක වෙනස්කමක් දුටු විට වහාම වෛද්‍යවරයකු වෙත යොමු වීමයි.

  • පියයුරේ පැතිකඩ ...





පිළිකාමය ගැටිති ඇති වන්නේ එක් අසාමාන්‍ය සෛලයකිනි. සෛලයක් අසාමාන්‍යතාවයකට පත්වන්නේ කෙසේදැයි හේතු සොයාගෙන නැත. නමුත් යම් ජාන විකෘතිතාවයක් නිසා මෙසේ සිදුවන බවට සමහරු ප්‍රකාශ කර ඇත. එමගින් සෛලය අසාමාන්‍ය ලෙස වර්ධනය විමට පටන් ගනී.




  • රෝග ලක්ෂණ

වඩාත්ම බහුල රෝග ලක්ෂණය වන්නේ වේදනා රහිත ගැටිත්තක් හට ගැනීමයි. නමුත් සෑම පියයුරු ගැටිත්තක්ම පිළිකාවක් නොවේ. බොහෝ පියයුරු ආශ්‍රිත ගැටිති දියර පිරුණු ගැටිති හෝ පිළිකා නොවන (ෆයිබ්‍රොඇසිනෝමා) ගැටිතිය. නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබ ගැටිත්තක් දුටුවොත් වහාම වෛද්‍යවරයකු වෙත යොමු වීමයි.

මීට අමතරව පහත සදහන් රෝග ලක්ෂණ ද ඇති විය හැක.

x පියයුරේ හැඩය හෝ ප්‍රමාණය වෙනස් වීම.

x සමේ වලවල් සහිත ස්වභාවයක් හෝ ඝණ වීමක් ඇති වීම.

x තන පුඩුව ඇතුළට එබුණු ස්වභාවයක් ගැනීම.

x තන පුඩුවෙන් ශ්‍රාවයක් නිකුත් විම. (විශේෂයෙන් රතු පැහැති)

x තනපුඩුව ආශ්‍රිතව හමේ ආසාදන තත්වයක් ඇති වීම.

x කලාතුරකින් පියයුරු වල වේදනාවක් හට ගැනීමට පුළුවන. නමුත් බොහෝ විට පියයුරු වල වේදනාව              හට ගන්නේ ආසාදිත තත්වයක් නිසාය. බොහෝවිට වේදනාව පිළිකාවක් නිසා හට නොගනී.
    පියයුරු පිළිකාව පැතිරෙන විට මුලින්ම ගමන් කරන්නේ කිහිල්ලේ තිබෙන වසා පද්ධති ගැටිති වලටයි.            එසේ වූ විට කිහිල්ලේ යට ගැටිත්තක් ‍හෝ ඉදිමුණු ස්වභාවයක් දැකිය හැක. පිළිකාව ශරීරයේ වෙනත්              ස්ථානවලට පැතිරෙන විට ඊට අදාලව නොයෙකුත් රෝග ලක්ෂණ ඇති විය හැක.


  • පියයුරු පිළිකා –  පිරිමි



පිරිමින්ටද පියයුරු පිළිකා වැළදෙන බව බොහො අය නොදන්නා කරුණකි. කෙසේ වෙතත් පිරිමින්ට තන පුඩුව පිටුපසින් ඇත්තෙ පියයුරු සෛල ස්වල්ප ප්‍රමණයක් පමණි. මෙම ස්ථානයෙ පියයුරු පිළිකා සෛල වැඩේ.





  • පියයුරු පිළිකා : පිරිමි රෝග ලක්‍ෂණ
x තනපුඩුව යට හෝ අන්තරාලයෙ ඇතිවන වේදනා රහිත ගැටිත්ත

x පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩයෙ ඇතිවන වෙනස්කම්

x යටිකුරු වූ තනපුඩුව

x තනපුඩුවේ ඇතිවන කුෂ්ඨය

x තනපුඩුවෙන් විසර්ජනය වීම හෝ රුධිරය වහනය

x කිහිල්ල ඉදිමීම හෝ ගැටිත්තක් ඇතිවීම

x පියයුරු වල සමේ වණයක් ඇතිවීම

👉 ප්‍රතිකාර ක්‍රම...

පියයුරු ගැටිත්තක් සමග පැමිණෙන කාන්තාවක්ල මුලින්ම වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර බලයි. ඒ සදහා මුලින්ම පියයුරු දෙකත් ඒ සමගම කිහිලි යටත් පරීක්ෂා කෙරේ. පසුව ඒ පිළිබද විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කෙරේ. අනතුරුව කාන්තාව පහත සදහන් පරීක්ෂණ සදහා යොමු කරයි.

x මැමෝග්‍රම් පරීක්ෂණය

x අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය

x MRP පරීක්ෂණය - මෙය විශේෂයෙන් සිදු කරනුයේ වයස අඩු කාන්තාවන්ටයි. විශේෂයෙන්ම පවුලේ ඥාතියෙකුට පියයුරු පිළිකාව වැළදී තිබුනේ නම්.

x ඡෙවේක්ෂ (බයොප්සි) පරීක්ෂාව - මෙහිදී ගැටිත්තෙන් කුඩා කොටසක් ගෙන අන්වීක්ෂයක් යටතේ අසාමාන්‍ය සෛල ඇත්දැයි පරීක්ෂා කෙරේ. වෛද්‍යවරයා විසින් කුඩා කටුවක ආධාරයෙන් ගැටිත්තෙන් සෛල ලබා ගනී. සමහර විට අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය ආධාරයෙන් මනාව ස්ථානගත කර කටුව යවා මෙය සිදු කරයි. තවත් පටක කුඩා ශල්‍යකර්මයක් මගින් මෙම ගැටිත්තෙන් කොටසක් ගෙන පරීක්ෂණය සිදු කෙරේ.
බයොප්සි පරීක්ෂාව මගින් පියයුරු ගැටිත්ත පිළිකාවක්දල පිළිකා නොවන ගැටිත්තක්ද කියා තහවුරු කළ හැක.
ඔබ පියයුරු පිළිකාවකින් පෙළෙන බව පරීක්ෂණය මගින් තහවුරු වුව හොත් එය පියයුරෙහි ඔබ්බට පැතිරී ඇත්දැයි බැලීමට තවදුරටත් පරීක්ෂා කළ යුතුය. බොහෝවිට ලේ පරීක්ෂණල අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ (අක්මාව සදහා) පපුවේ X -පසු පරීක්ෂාවල අස්ථි බැලීමට ස්කෑන් පරීක්ෂණ (Bone Scan) යන පරීක්ෂණ සිදු කර මෙමගින් රෝග තත්ත්වය යම් ආකාරයකට වර්ගීකරණයක් කළ හැක.

මෙසේ රෝගය වර්ගීකරණය කිරීමේ අරමුණු:

x ගැටිත්ත වර්ධනය වී ඇති ප්‍රමාණය නිර්ණය කිරීම.

x පිළිකාව එම පැත්තේ වසා ගැටිති වලට පැතිරී ඇත්දැයි බැලීම.

x පිළිකාව පියයුරෙන් පිටත අවයව වලට විසිරී ඇත්දැයි බැලීම. එමගින් වෛද්‍යවරයාට ප්‍රතිකාර ක්‍රමය පිළිබද නිගමනයකට එළඹිය හැකිය.

x පියයුරු පිළිකාවට කරන ප්‍රතිකාර අතරින් ශල්‍යකර්මයකට භාජනය කිරීම. එන්නත් මගින් ඖෂධ ලබා දීම හා විකිරණ මගින් ප්‍රතිකාර කිරීම මුල් තැනක් ගනී. බොහෝ විට මින් ක්‍රම කිහිපයක් එක් කර ප්‍රතිකාර කිරීම දක්නට ලැබේ. කරනු ලබන ප්‍රතිකාර ක්‍රමය පහත සදහන් කරුණු මත තීරණය වේ.

x පිළිකාවේ ස්වභාවය - පිළිකාවේ විශාලත්වය හා වර්ගීකරණය

x රෝගියාගේ ස්වභාවය - වයස, ආර්තවහරණය වී ඇත්ද යන්න, රෝගියාගේ ශරීර සෞඛ්‍ය, රෝගියාගේ කැමැත්ත

x ප්‍රතිකාර ක්‍රමයට එළඹීමට රෝගියා වෛද්‍යවරයා සමග දීර්ඝ සාකච්ඡාවක යෙදිය යුතුය. එවිට ප්‍රතිකාර ක්‍රමයෙන් ලැබෙන වාසි, අතුරු ආබාධ, තිබෙන ප්‍රතිකාර ක්‍රම ගැන රෝගියාට දැනුවත් විය හැකියි.

x වෛද්‍යවරයා සමග කරන සාකච්ඡාවේ දී ප්‍රතිකාරවල අරමුණ ද සාකච්ඡා කළ යුතුයි.

       》  සුවවීමේ ප්‍රවණතාව

පියයුරු පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය වසර 40 තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතග. මෙයට ප්‍රධානතම හේතුව නම් ප්‍රතිකාර ක්‍රමවල ඇති වී ඇති දියුණුවයි. පිළිකාවේ ප්‍රමාණය  ඉතා කුඩා නම් හා පිළිකාව පැතිරී නැත්නම් පිළිකාව ප්‍රතිකාර මගින් සුවකළ හැක.

Friday, June 22, 2018

FaceBook...

FACEBOOK....



"භාව විෂයීක බුද්ධිමත් බවකින් යුක්ත පැරණි මාධ්‍යකරුවා අතික‍්‍රමණය කරමින් බහුගුණික බුද්ධිමත් බවකින් පරිණත වීමට නවමාධ්‍ය කරුවාට සිදුව තිබේ". මෙම ලක්ෂණයන්ගෙන් වියුක්තව නවමාධ්‍ය භාවිතයට යොමු වීම විවිධ ගැටළු නිර්මාණය වීමට හේතු වේ. මාෂල් මැක්ලූහන් විසින් ඉදිරිපත් කළ විශ්ව ගම්මාන සංකල්පය හා ආතර් සී ක්ලාක්ගේ විශ්ව පවුල අභිභවමින් වර්තමානය වන විට විශ්ව මිනිසා දක්වා නවමාධ්‍ය ගමන් කොට ඇත. එනිසාම සමාජ ජාල මාධ්‍ය නිසා මිනිසාට තොරතුරු යුගය ගවේෂණය කිරීමට පහසු වී ඇත. එක් අතෙකින් සමාජජාල මාධ්‍ය තොරතුරු උල්පතක් ලෙස ජනමතය නිර්මාණය වන විට, එහි අයහපත් ලක්ෂණ ද දැකිය හැකිය. අධ්‍යතනය වනවිට  සමාජජාල මාධ්‍ය අතරින් පුද්ගල අභිරුචිය වෙනස් කරමින් ජනමතයන් ගොඩ නැගීමේ මූලික අවිය වී ඇත්තේ මුහුණු පොතයි.

පරිගණක තාක්ෂණය තුළ බිහිවුණ දැවැන්තම සමාජ ජාලය නැතහොත් විශාලතම සමාජගත එල්බ වීම නම් මුහුණුපොත (FaceBook) බව කාටත් නොරහසකි.  FaceBook යනු 2004 වර්ෂයේ හාර්වඞ් විශ්වවිද්‍යාල සිසුවෙකු වූ මාක් සකර්බර්ග් (Mark Sukerburge) විසින් නිර්මාණය කරනු ලැබූ සමාජීය ජාලයකි.

තම මිතුරන්ගේ තොරතුරු හුවමාරුවට ඔහු  නිර්මාණය කළ මෙම ජාලය එහි ස්වරූපය මතම පුළුල් ව්‍යාප්තියට ලක් වූ අතර වර්තමානය වන විට එහි පාලනය ඔහුට අසීරු වී තිබේ. 2012 වන විට 152,226,000 පුද්ගලයන් ප‍්‍රමාණයක් පරිගණක තුළින් Facebook වෙත පිවිසෙන අතර 78,388,000 ක ප‍්‍රමාණයක් ජංගම දුරකථන හරහා Facebook වෙත පිවිසේ. මෙහිදී තම තොරතුරු හුවමාරු කර ගැනීම , නව මිතුරන් ඇති  කර  ගැනීම සඳහා බහුතරයක් Facebook භාවිත කරන අතර විනෝදය සඳහා , මිතුරන් ඇති කර ගැනීමට , මානසික ආතතියෙන් මිදීමට , පේ‍්‍රම සබඳතා ඇති කර ගැනීමට , විවිධ ප‍්‍රචාරණ කටයුතු මෙය භාවිතා කරන අතර විශාල ආදායම් උපයන මාධ්‍යයක් බවට Facebook පත් වී තිබේ.

  •  මුහුණු පොත පිළිබඳ අධ්‍යතනයේදී සිදු කළ දත්ත පර්යේෂණ :

2015 වර්ෂය වනවිට මුහුණුපොත පිළිබඳ සිදු කළ දත්ත විශ්ලේෂණයන්ට අනුව ,

       x Facebook වෙත දිනපතා පැමිණෙන පිරිස බිලියනයකටත් වැඩිය.
       x       Facebook මිලියන 900කටත් වඩා වැඩි පිරිසක් ජංගම දුරකථනවලින් භාවිත කරයි.
       x      Facebook සමාගමට අයිති Whatsapp මිලියන 900ක පමණ ප‍්‍රමාණයක් භාවිත කරයි.
       x       Facebook දිනකට භාවිතා කරන්නන් නරඹන video වල සම්පූර්ණ කාලය එකතු කළහොත්                               එය පැය මිලියන 100ක් පමණ වේ.
       x Facebook Messenger භාවිත කරන පිරිස මිලියන 800 කට වැඩිය.

මේ වන විට මුහුණු පොතේ ක‍්‍රියාකාරී සාමාජිකයන් මිලියන 900ක් පමණ ඇත. මෙම මුහුණු පොත මඟින් දැන්වීම් ප‍්‍රචාරය ඔස්සේ 2010 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.97 ලෙස පැවතුනත්, 2011 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.71 ක් දක්වා වර්ධනය වී ඇත. මිහිපිට ජීවත්වන පුද්ගලයින් 13 දෙනෙකු අතරින් එක් අයෙක් මුහුණු පොතේ සාමාජිකයෙකි. මුහුණු පොතේ සාමාජිකයින් මුහුණු පොත තුළ,

මිනිත්තු 20 ක් තුළ දී,

                         Link 1,000,000 ක් share කරනු ඇත.

                         Invited Post 1,484,000 ක් පමණ ඉදිරිපත් වේ.

                         Photos 1,323,000 පමණ tag කරයි.

                         Status Update 1,851,000 පමණ ඇතුළත් වේ.

                         පුද්ගලයින් මිලියන 1.972 Request Accept කරනු ඇත.

                         2,716,000 ක පමණ පුද්ගලයින් ප‍්‍රමාණයක් Photos Update කරයි.

                         Message 2,716,000 ක් හුවමාරු වේ.

                         පුද්ගලයින් මිලියන 10.2 Comment  පළ කරනු ලබයි.

                         Wall Post 1,587,000 ක් මුහුණු පොත සඳහා ඇතුළත් වේ.


වයස අවුරුදු 18-34 දක්වා වයසැති පිරිසක් අවදි වූ සැනින් 48 ක් තම ගිණුම  පරීක්ෂා කරනු ලබයි. සෑම දිනකම 50‍්‍% ක් කි‍්‍රයාකාරී සාමාජිකයින් මුහුණු පොතට පිවිසේ. මුහුණු පොතෙහි සාමාජිකයන් සම්බන්ධ වී තිබෙන Pages, Group සහ Event ගණනෙහි සාමාන්‍ය අගය 80‍්‍% කි. මසකට මුහුණු පොතෙහි Web Link, News stories, Bloging, Notes, Photo Album ආදී Post මිලියන 30 ක් පමණ ඉදිරිපත් වේ. 2010 සිට අලූත් වෙබ් අඩවි සඳහා එකතු කිරීමේ සාමාන්‍ය 10000කි. මුහුණු පොතෙහි ක‍්‍රියාකාරී සාමාජිකයින් මිලියන 250 කට වැඩි සංඛ්‍යාවක් මුහුණු පොත පරිශීලනය කරනු ලබන්නේ ජංගම උපාංගය හරහාය. මුහුණු පොත Google
 සමාගමට පසුව විශාල ට‍්‍රැෆික් ඇති වෙබ් අඩවියයි.

කෙසේ නමුත්ස මාජීය මාධ්‍ය ජාල අතරින් FaceBook , Twitter , Viber , YouTube , Imo , whatsapp, Instagram, Messenger  ආදිය ප‍්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකිය. තාක්ෂණය දිනෙන් දින ගෙවෙන සෑම තත්පරයකම පාහේ වේගයෙන් දියුණු වන හා වෙනස්  වන අංශයකි. එකී තාක්ෂණය ගෝලීයකරණයට ලක් වූ ප‍්‍රබලතම මාධ්‍ය අන්තර්ජාලයයි. කිලෝමීටර් ලක්ෂ ගණනක දුර, පරිගණක තිරය දක්වා ළං කර වීමට සමත් එම ජාලගත තාක්ෂණය මඟින් ඉපදුණ සමාජ ජාල බොහොමයක් වේ. එම  සමාජ ජාල 21 වන  සියවස ආරම්භයේ සිට ජන ජීවිතවලට සමීප වෙමින් පවතින අතර වත්මන් නව යොවුන් ජීවිතවල පැවැත්මට වඩා ඍජු බලපෑම් එල්ල කිරීමට තරම් ප‍්‍රබල වී ඇත. උදෑසන අවදි වීමේ සිට රාත‍්‍රි නින්දට යන තුරු තම ජීවන තොරතුරු සමස්ත ලෝකය සමඟ බෙදා ගනිමින් තම පෞද්ගලිකත්වය ප‍්‍රසිද්ධියට  පත්  කිරීමට තරම් නවීකරණය වූ තරුණ පරපුරක් අද වන විට සමාජය තුළ බිහි වී හමාරය. තවද එම සමාජ ක‍්‍රමය අද සංස්තකෘතිය ලෙස හැඳින්වීමට තරම් තාක්ෂණය බලවත් වී ඇත.

2018 වන විට ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය


Thursday, June 21, 2018

සමාජ ජාල මාධ්‍ය භාවිතය ...


සමාජ ජාල මාධ්‍ය භාවිතය ...


සන්නිවේදන තාක්ෂණයේ විශ්ව ව්‍යාප්තිය තුළින් ලෝකය එකට යා කිරීමට අන්තර්ජාලයට හැකි වී තිබේ. ක්ෂණික බව හා ඍජු බව තුළින් සාර සන්නිවේදන කි‍්‍රයාවලියක් මින් සිදු වන අතර පුද්ගල කේන්ද්‍රීය පසුබිමක් තුළ මෙය නිර්මාණය වී තිබේ. සංකීර්ණ වූ සමාජයක් තුළ පුද්ගල අවශ්‍යතාවන්ගේ ස්වරූප විවිධ දිශානති ඔස්සේ ව්‍යාප්ත වන අතර එම අවශ්‍යතා ව්‍යාකූල වේ. අවිවේකී බව නිසාම යම් හුදකලා බවකට පුද්ගලයා මුහුණ දෙමින් සිටී. මෙම රික්තයට විසඳුම් ලෙස සමාජ ජාල මාධ්‍ය භාවිතයට පුද්ගලයා මහත් රුචියක් දක්වයි.
අන්තර්ජාලය සමඟ විවිධ  සම්බන්ධතා ගොඩනැගීම වර්තමානය තුළ වර්ධනය වී තිබේ. මෙහිදී අන්තර්ජාලය සතු වේගවත් බව මීට හේතු වී ඇත. පුද්ගලයන් අතර ඇති වන සබඳතාවන්ගේ පුළුල් බව මත නව මාධ්‍යයන්හි ප‍්‍රසාරණය වීම ක‍්‍රමිකව සිදු වේ. සමාජීය මාධ්‍ය  බිහි වීම ද මෙහි ප‍්‍රතිඵලයකි. 1994 වර්ෂයේ Geocitis ලෙස සමාජීය මාධ්‍ය අන්තර්ජාලයේ භාවිතයට එක් වූ අතර මේ මඟින්  අන්තර්ජාල භාවිත කරන්නන්ට රිසි ලෙස තම  වෙබ් අඩවි නිර්මාණය කිරීමේ අවකාශය ලැබුණි. මෙය සමාජීය ජාල වර්ධනයට හා ව්‍යාප්තියට හේතු විය. පුද්ගල සබඳතා පහසුවෙන් නිර්මාණය කළ හැකි වීම සමාජීය මාධ්‍ය (Social Media) තුළ පවතින වාසියකි. ඇමෙරිකාවෙහි 2011 වර්ෂය වන විට මිනිත්තුවකට බිලියන 88 ක් සමාජීය මාධ්‍ය භාවිත කළ අතර 2012 වන විට එය මිනිත්තුවකට බිලියන 121 දක්වා වර්ධනය වී ඇත. මින් සමාජීය ජාල තුළ පුළුල් වශයෙන් සබඳතා පවතින බව අවධාරණය කළ හැකි වෙයි. වසරක් තුළ සමාජීය මාධ්‍ය භාවිත වර්ධනය බිලියන 33 කින් ඉහළ යාම විද්‍යමාන කරයි.

සමාජ ජාල මාධ්‍ය යනු Andreas Kaplan Michael Haenlein (2010) ගේ විග‍්‍රහයට අනුව අන්තර්ජාලය පදනම් වූ අයඳුම්පතක් මඟින් බිහි කරනු ලබන සංකල්පමය හා තාක්ෂණික පදනමක් සහිත Web 2 සංකල්පය හරහා භාවිත කරන්නන් විසින් බිහිකරනු ලබන අන්තර්ගතයක් ඇත. ඉන් විවිධ නිර්මාණයන් හා හුවමාරු කිරීම් සිඳුවන සමූහයන් භාවිත කරන මාධ්‍ය සමාජ ජාල මාධ්‍ය වෙයි. මේ අනුව අන්තර්ජාලය  ඕනෑම පුද්ගලයෙකුට නිර්මාණය කළ හැකි හා භාවිත කළ හැකි මාධ්‍යකි.

මෙහිදී ව්‍යාපාරික අරමුණු, අධ්‍යාපනික අරමුණු, විනෝදය, මිත‍්‍රත්වය හා පේ‍්‍රමය වැනි කරුණු මත සමාජීය මාධ්‍ය තුළ නව සබඳතා නිර්මාණය  වේ. විවිධ අවශ්‍යතා මත බිහිවන සබඳතා එකී අවශ්‍යතා මත වර්ධනය හා බිඳ වැටීමට හේතු වන බව පෙන්වා දී තිබේ. මෙහිදී තරුණ පිරිස විශාල වශයෙන් සමාජීය මාධ්‍ය භාවිත කරයි. සමාජ මාධ්‍ය ජාල  වැඩි වශයෙන් භාවිත කරන්නන් අතරින් වැඩි ප‍්‍රතිශතයක් තරුණ පිරිස් වන බැවින් පේ‍්‍රමය මූලික වශයෙන් මෙහිදී ප‍්‍රබල වන බව අවබෝධ කර ගත හැකිය. 2010 වර්ෂයේ මාරිලන්ඩ් විශ්වවිද්‍යාලය සිදු කළ සමීක්ෂණය මත බොහෝ පිරිසක් සමාජීය මාධ්‍යට ඇබ්බැහි වී සිටිින අතර මෙයට ප‍්‍රධාන සාධකය වී  ඇත්තේ ඔවුන් හුදකලා වීමට දක්වන බිය (Fear Of Missing Out – FOMO) නිසා බව නිගමනය කර ඇත. ඒ අනුව සමාජ ජාල තුළ නිර්මාණය වන බොහෝ සබඳතා පුද්ගලයා හුදකලා බවින් මිදීමට භාවිත වන බව පැහැදිලිය.

  •  සමාජීය ජාල භාවිතයේ අවශ්‍යතා...

පුද්ගලයන් අතර ශාරීරික සබඳතාව අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී අත්‍යාවශ්‍ය වෙයි. එය අන්තර් කි‍්‍රයාව හා අභ්‍යන්තර විශ්වාසය සමඟ සම්බන්ධව ගොඩ නැගෙන්නකි. සමාජීය ජාල භාවිතයේ දී පුද්ගලාන්තර සන්නිවේදනයේ ලක්ෂණ විද්‍යමාන වේ. සමාජීය ජාල භාවිතය පවුල කේනද්‍ර කරගත් පුද්ගලාන්තර සන්නිවේදනය අවශ්‍යතා සමඟ සසඳා බැලීම මෙම නව මාධ්‍යයේ මූලික ස්වරූපය අවබෝධ කර ගැනීමේ දී වැදගත් වේ. සමාජීය ජාල මඟින් පවුල තුළම පුද්ගලයා හුදකලා කර තිබේ. පවුලේ අන්තර් සබඳතා දුරස්ථ කෙරේ.

කාලය පිළිබඳ විශ්ව නිර්ණායක වෙනස් වීමට භාජනය වී තිබේ. ඒක මාර්ගික සන්නිවේදනය අන්තර් කි‍්‍රයාකාරීත්වය සහ සහභාගිත්ව සන්නිවේදනය දක්වා පුළුල් වී තිබේ. මෙහි පැහැදිලිවම හඳුනා ගත හැකි සාධකයක් වන්නේ පැරණි සන්නිවේදන රටාවට වඩා සකි‍්‍රය ලෙස ප‍්‍රජාව නව මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු සමාජ ජාල මාධ්‍ය පරිහරණයට යොමු වීී ඇති බවයි. සමාජීය ජාල තුළ ශ‍්‍රව්‍ය දෘශ්‍ය ලිඛිත මාධ්‍ය වෙන් වෙන්ව පරිහරණයට ගැනීමක් නොව එ්කාබද්ධ භාවිතයක් හඳුනා ගත හැකිය. පරිගණක සංඛ්‍යාත භාවිතය, දෘෂ්‍ය සංඥාර්ථ කිරීමේ හැකියාව ව්‍යාප්ත වීම සඳහා ද සමාජීය ජාල උපකාරී වී තිබේ. මෙම ජාල භාවිතය නිසාම නව මාධ්‍ය හැකියා වර්ධනය වී තිබේ.

  •  සමාජීය ජාලවල මෙහෙවර ....

ඍජු පුද්ගලාන්තර වාචික කථනයේ සිට යන්ත‍්‍ර සහය කරගත් ආංකික භාවිතයන් සමාජීය ජාල මඟින් යොදා ගනු ලැබේ. අතිශය වේගවත් ව පණිවිඩ හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව මෙමඟින් සැලසේ. කාලය හා අවකාශය අතික‍්‍රමණය කිරීමට හැකි වීම මෙහි පවතින සන්නිවේදන ප‍්‍රබලතාවකි. ලොව පුරා විසිරුණු සබඳතා ජාලාවක් ගොඩ නගා ගැනීමටත් , දැනුම අවබෝධය වර්ධනය කර ගැනීමට මේ ඔස්සේ අවකාශ ගොඩ නැගී තිබේ. විවේකය පාළුව මඟ හරවා ගැනීමට විනෝදාංශයක් වශයෙන්ද  සමාජීය ජාල ශක්තිමත්ව වර්ධනය වේ. ජනමත ගොඩ නැගීමට ද, මතවාද බලාත්මක කිරීමට ද අධ්‍යතනය වන විට සමාජීය ජාලවල කාර්යභාරය වී හමාරය. පිරිවැයක් වැය නොකොට පණිවිඩ ප‍්‍රචාරය කිරීමට සමාජීය වෙබ් ජාලවලට ඇති හැකියාව ප‍්‍රබලය. එසේම නිශ්චිත ග‍්‍රාහක පිරිසක් ඉලක්ක කොට පණිවිඩ ඉදිරිපත් කිරීමට හැකිවීම වාසියකි. සමාජීය ජාලවල ආගමික, සංස්කෘතික, ආර්ථික, පෞද්ගලික තොරතුරු හුවමාරු කරන ජාල ගොඩ නැගී ඇත්තේ මෙනිසාය.
සමාජීය වෙබ් ජාල සන්නිවේදන ද්විපථ වූවකි. ඍජු ප‍්‍රතිචාර ලබමින් එයින් ගොඩනැෙගෙන ප‍්‍රතිපෝෂණ ඔස්සේ සන්නිවේදන කි‍්‍රයාව කි‍්‍රයාත්මක වෙයි. මෙහි පදනම වන්නේ සන්නිවේදන පණිවුඩ සාරසන්නිවේදනයක් බවට පත්කර ගැනීමට අවකාශ උදා වීමයි. සාරසන්නිවේදනයේ දැක්වෙන ඍජු බව(Openness), සහවේදනය (Empathy), සහයෝගිතාවය (Supportiveness), ධනාත්මකතාව (Postiveness), සමතාව (Equilyty) යනාදිය සමාජීය  ජාල සංයුතියේ දී න්‍යායිකව පිළිගත හැකි කරුණකි. සාරසන්නිවේදන එළඹුම සමාජීය ජාල භාවිතය තුළ අභියෝගයට ලක් කිරීමට අවකාශ පවතී.

  •  සමාජ ජාල නිසා අධ්‍යතනයේ උද්ගත වී ඇති සමාජීය ගැටළු.

ස්වකීය මනෝ භාවය පෞද්ගලික අදහස් හුවමාරු කර ගැනීමට සමාජීය ජාල තුළින් පුද්ගලයාට අවකාශ තිබේ. තම අනන්‍යතාව හෙළි නොකර ව්‍යාජ අනන්‍යතාවක් මඟින් ද එය සිදු කළ හැකිය. ග‍්‍රාහකයා පෞද්ගලිකව නොහඳුනන නමුදු සිතැගි ප‍්‍රකාශ කිරීම මඟින් මානසික සහනශීලි බවක් ඇතිකර ගැනීමට අවකාශ උදා වේ. ග‍්‍රාහකයා සාවධානව අසා සිටීම මඟින් පුද්ගලයාට සහනයක් ලැබේ. මේ අනුව සමාජීය වෙබ් ජාල ඔස්සේ සමාජීය ගැටලු අසා සිටින පිරිසක් ගොඩ නැගී ඇත. මෙවැනි මානසික සහනයක් ගැටලුවට මුහුණ දීමේ දී පුද්ගලයාට අවශ්‍ය වේ. මෙම ස්වභාවය වාසිදායක ලෙස යොදා ගත හැක්කේ සමාජීය ජාල ඔස්සේ යොදා ගන්නා සබඳතාවල ස්වභාවය අනුවය.

සමාජීය ජාල ඔස්සේ ප‍්‍රබල ගැටලු රාශියක් ද සමාජගතව තිබෙන බව හඳුනා ගත හැකිය. ඇබ්බැහිවීම මූලික ගැටලුවකි. ඇබ්බැහි  වීම මඟින් ප‍්‍රමුඛතාව වෙනස් වේ. සියලු අවශ්‍යතා ද්විතීක තලයක තබමින් ඇබ්බැහිවීම වැනි කරුණු කෙරෙහි ප‍්‍රමුඛතාව ලබා දෙයි. එම කාර්ය ඉටු කිරීමට පුද්ගලයා තුළ ගොඩ නැගෙන අභිලාෂය සෙසු සමාජීය කරුණුවලින් පුද්ගලයා දුරස් කරයි. මෙය සමාජීය සබඳතා බිඳ වැටී හුදකලා අයෙකු බවට පත් කිරීමට හේතු වන්නකි. පරිගණක ක‍්‍රීඩා සඳහා ඇබ්බැහිවීමේ ප‍්‍රතිඵලයක් ලෙස උන්මාදනීය මානසික තත්ත්වය ගොඩනැගී තිබේ. මානසික රෝගීන් බිහි වීම තෙරෙහි සමාජීය ජාල භාවිතය හේතු වී ඇති බව මනාව සනාථ වේ. දින 3 ක් ආහාර නොගෙන අන්තර්ජාල ක‍්‍රීඩා සඳහා එක් වූ චීනයේ දරුවෙකු මිය ගිය බවට වාර්තා වී ඇත. පරිගණක අබියස දිගු කාලයක් ගත කිරීම නිසා සමාජීය වෙබ් ජාල කෙරෙහි ම අවධානය යොමු කිරීමෙන් මානසික ආබාධ ඇති වෙයි. අක්ෂි දුබලතාව ද ඇති වේ. අතිශය පෞද්ගලික පදනමක භාවිත කිරීමට ඇති හැකියාව නිසා භාවාත්මක නැමියාවෙන් වර්ධනයකට අවකාශ තිබේ. සිය දිවි නසා ගැනීම් දක්වා ක‍්‍රීඩකයා මෙහෙයවන පරිගණක ක‍්‍රීඩාවන්වල ද වර්ධනයක් සිදු වී ඇත. වැරදි ලිංගික ක‍්‍රියාකාරකම්වලට අදාළ සබඳතා වෙබ් ජාල ඔස්සේ අපරාධ වර්ධනය වීමේ ප‍්‍රවනතාවක් ද පවතී. සමාජීය ජාල ඔස්සේ තොරතුරු ලැබූ මූලයන් පිළිබඳ විශ්වසනීයත්වයක් ගොඩ නගා ගැනීම අපහසුය. එම මූලයන් ව්‍යාජ ඒවා වීමටද ඉඩකඩ තිබේ.

අන්තර්ජාලය ආරම්භ වන්නේ යුධ රහස් ආරක්ෂා කර ගැනීමේ මෙවලමක් ලෙසිනි. සාධනීය අරමුණු පදනම් කර ගනිමින් අන්තර්ජාලය ආරම්භ වුවද අධ්‍යතනය වන විට අපරාධ , මුදල් වංචා කිරීම් , සූදු අන්තර්ජාලය ඔස්සේ සිඳුවන බව එංගලන්තයේ ටෙ‍්‍රන්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාර්ක් ග‍්‍රිෆිත් (Mark Griffiths) කරුණු රාශියක් අනාවරණය කර තිබේ. එසේම සමාජීය ජාල භාවිතය බහුල වීම නිසා විවාහා දෙදරා යාම , පේ‍්‍රම සබඳතා විශාල වශයෙන් බිඳ වැටීම ද අදවන විට සුලබ කාරණාවක් වී ඇත.