Search This Blog

Saturday, July 7, 2018

තොරතුරු දැන ගැනීමේ පනත...

තොරතුරු දැන ගැනීමේ පනත.....



ජනතා පරමාධිපත්‍යය මත පදනම්  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන තන්ත‍්‍රයක කේන්ද්‍රීය අංගයක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය හැඳින්විය හැකිය. මහජනතාවට සිය නියෝජිතයින් හරහා බලය ඵලදායි ලෙස ක‍්‍රියාත්මක කළ හැක්කේ පාලන ක‍්‍රමය වගවීමක් දරන්නේ නම් සහ විනිවිදභාවයෙන් යුතු වන්නේ නම් පමණී. ප‍්‍රජාතාන්ත‍්‍රික පාලනයක් යනු ආණ්ඩුවේ සියලු කරුණු සම්බන්ධයෙන් ජනතාවගේ පරමාධිපත්‍යය ප‍්‍රධාන වන පාලනයකි.

         

 "ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ජනතාව විසින් ජනතාව සඳහා කරනු ලබන ජනතා පාලනයකි."

යන ඒබ‍්‍රහම් ලින්කන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයෙන් ඉහත අදහස ගම්‍ය වේ. රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධව සහ ජනතා සේවය සඳහා ජනතාවගේ නියෝජිතයින් ලෙස ජනතාව විසින් රාජ්‍ය නිලධාරීන් පත්කරනු ලැබේ. ජනතාව රාජ්‍ය නිලධාරීන් වෙත මෙම බලය පවරන බැවින් එම රාජ්‍ය නිලධාරීන් කරන කටයුතුවලට අදාල තොරතුරු ජනතාවගේ දේපලක් වේ. එබැවින්  එම ජනතාවට තොරතුරු වෙත ප‍්‍රවේශවීමට අයිතියක් තිබේ.තොරතුරු දැනගැනීමේ අයිතිය යනු,

           "ප‍්‍රවේශන අයිතිය හා රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ලබාගැනීමේ අයිතියයි." 

මෙම අයිතිය මගින් වැදගත් අරමුණු කිහිපයක් ඉටුකර ගතහැකිය.


      01.  ප‍්‍රතිපත්ති සම්පාදනයේදී මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම.

      02.  ආණ්ඩුවේ පාරදෘශ්‍යතාවය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම.

      03.  රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන දුෂණ හා අක‍්‍රමිකතා අවම කිරීම ලෙස සරලව අර්ථ දැක්විය හැකිය.


Businessdictionary.com මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය,

            "ආණ්ඩුවේ නියෝජිතායතනයක් මගින් ඇතැම් තොරතුරු රදවාගෙන සිටින්නේ නම් ඒ පිළිබදව                    ලිඛිතව දැනගැනීමට හා ඒවා හෙලිදරව් කරන ලෙසට ඉල්ලීමට ඇති අයිතිය"

 යනුවෙන් නිර්වචනය කරයි.   

1766 පුවත්පත් නිදහස යන පනත හදුන්වාදීමත් සමග තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබදව නිල වශයෙන් නීතියක් පැන වු පළමු රට ස්වීඩනයයි. මෙම පනතින් ආණ්ඩුවේ ලේඛන කෙරෙහි ප‍්‍රවේශවීමේ අයිතිය පොදු ජනතාවට ප‍්‍රදානය කෙරුනු අතර ස්වීඩන නීති පද්ධතියේ මුලික කොටසක් බවට පත්විය. "මහජන ප‍්‍රවේශය" යන මුලධර්මය පළමු වරට ස්වීඩනයේ මතුවීමත් සමග යුරෝපය තුළ තොරතුරු දැනගැනීමේ අයිතියේ මුලාරම්භය 18 වන සියවස දක්වා ඈතට දිවයයි. ආණ්ඩුවේ සහ පලාත් පාලන ආයතනවල ක‍්‍රියාකාරකම් පිළිබදව බාධාවකින් තොරව සොයාබැලීමේ හැකියාව තහවුරු කළයුතු බවට ස්වීඩනයේ "මහජන ප‍්‍රවේශය" යන මුලධර්මයෙන් නීතිමය පසුබිම සපයයි.

1946 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාරම්භක සැසියේ දී මහා සභාව 59 වැනි යෝජනාව සම්මත කරගත් අතර එමගින් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික මානව අයිතිවාසිකමක් ලෙස පිළිගන්නා ලදී. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප‍්‍රකාශනයේ 19 වන ව්‍යවස්ථාව සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 19 වන වගන්තිය තොරතුරු ඉල්ලාසිටීමට, බෙදාදීමට  සහ ලැබීමට ඇති  අයිතිය ප‍්‍රකාශනයේ සහ අදහස් පළකිරීමේ මුලික අයිතියේ කොටසක් ලෙස පිළිගනී.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව අන්තර්ජාතිකව පිළිගත් ප‍්‍රධාන මුලධර්ම නවයක් ඇත. කිසියම් රටක මෙම අයිතිය නීතිගත කිරීමේ දී මෙම මුලධර්ම සියල්ල අන්තර්ගත වියයුතුය.


  1. උපරිම හෙලිදරව්ව.
  2. ප‍්‍රකාශනය සදහා බැදී සිටීම
  3. විවෘත පාලනයේ ප‍්‍රවර්ධනය
  4. ව්‍යතිරේකවල සීමිත විෂය පථය
  5. ප‍්‍රවේශයට පහසුකම් සැලසීමේ ක‍්‍රියාවලිය
  6. පිරිවැය
  7. විවෘත රැස්වීම්
  8. හෙලිදරව් කිරීම පුර්වගාමී වේ.
  9. වංචා දුෂණ හෙලිදරව් කරන්නන් සඳහා ආරක්ෂාව ආදිය වැදගත් වේ.
      
ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද තොරතුරු දැනගැනීමේ අයිතිය වක‍්‍රාකාරව පිළිගනී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව මගින් සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුලුව සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස තහවුරු කරඇත. මෙම නිදහස ව්‍යංගාර්ථයෙන් තොරතුරු දැනගැනීමේ අයිතියට සම්බන්ධ වේ.

14 (1) (අ) ව්‍යවස්ථාව මගින් තහවුරු කරඇති ප‍්‍රකාශනය ඇතුලු භාෂණයේ සහ අදහස් පළකිරීමේ නිදහස වැනි ඇතැම් අයිතිවාසිකම් ශී‍්‍ර ලංකාවේ පුරවැසියෙකුට පමණක් භුක්ති විඳිය හැකිය. සීමා කළනොහැකි 10 වැනි ව්‍යවස්ථාව යටතේ වු අයිතීන් මෙන් නොව 14 වන ව්‍යවස්ථාව යටතේ වු අයිතිවාසිකම් ඇතැම් සීමාවලට යටත් වේ. වාර්ගික හා ආගමික සහයෝගිතාවය, පාර්ලිමේන්තු වරප‍්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සහ ජාතික ආරක්ෂාව ආදි කරුණු මත භාෂණයේ සහ අදහස් පළකිරීමේ නිදහස නීතිය මගින් සීමා කළහැකිය.

සිතීමේ සහ හෘදසාක්ෂියේ නිදහස මෙන්ම අදහස් පළකිරීමේ නිදහස ද අර්ථාන්විත වීම පිණිස තොරතුරු වෙත ප‍්‍රවේශවීම අත්‍යවශ්‍ය වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනමම තහවුරු කරන විශේෂ නීති ශ‍්‍රී ලංකාවේ  ක‍්‍රියාත්මක නොවු අතර ශී‍්‍ර ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යංගයෙන් පිළිගත් නඩුවාර්තා හමුවේ. ඒ අනුව,


  •  විසුවලිංගම් එදිරිව ලියනගේ නඩු තීන්දුව (1984)

  •  ප‍්‍රනාන්දු එදිරිව ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා නඩු තීන්දුව (1996)
මගින් ඒ  බව හෙලිදරව් වේ. 

ශ‍්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තු පනතක් මගින් තහවුරු කිරීමට ගත් උත්සහයන් කිහිපයක්ම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයෙන් හමුවේ. තොරතුරු ලබාගැනීමේ නිදහස වෙනුවෙන් සැකසුනු විධිවිධාන අයත් පනත් කෙටුම්පතක් 2011 ජුනි මස 21 වන දින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම පනත වැඩි ජන්ද 63 කින් සන්ධාන ආණ්ඩුව පරාජයට පත්කරනු ලැබීය. එම පරාජයෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුවේ කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වමින් කොළඹ මහනගරසභා බල ප‍්‍රදේශයේ පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදෙන බවට ලිඛිතව පොරොන්දුවිය. එය ආණ්ඩුව ද පිළිගනු ලැබීය. නමුත් පාර්ලිමේන්තුවේ තොරතුරු පනත පරාජය කිරීම සහ කොළඹ මහනගර සභාවට තොරතුරු පනතක් ගෙන ඒමට කැමැත්ත පළකිරීම යන ආණ්ඩුවේ ද්විත්ව ක‍්‍රියාකාරිත්වය පිළිබඳ තර්කානුකූලව කොළඹ ජනතාව සිතූබව මැතිවරණ ප‍්‍රතිඵලයෙන් දක්නට ලැබිනි. කෙසේ නමුත් 2015 වර්ෂයේ පිහිට වු යහපාලන ආණ්ඩුව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මුලික මිනිස් අයිතිවාසිකමක් බවට සම්මත කර එය පනතක් ලෙස ජනතා භාරයට පත් කරන ලදි.

ශී‍්‍ර ලංකාව යනු දකුණු ආසියාවේ සාක්ෂරතා පිළිවෙලෙහි ප‍්‍රමුඛස්ථානය ගන්නා රටකි. එහෙත් සමාජ යාන්ත‍්‍රණයේ ක‍්‍රියාත්මකභාවය පිළිබද වන ජනතාවගේ දැනුවත්භාවය අවම මට්ටමක පවතී. අනාගතයේ ජනතාවට හිමිවීමට නියමිත තොරතුරු දැනගැනීමේ පනත තුළ පවතින ප‍්‍රධාන දුර්වලතාවය වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නිලධාරීන් දැනුවත් වුව ද සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගැනීමයි. තොරතුරු දැනගැනීමේ අයිතිය නොමැතිවීම නිසා පාලකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට තමන්ට හිතුමතේ  ඕනෑම දෙයක් සිදුකිරීමට අවශ්‍ය දිරිදීම හා අවකාශය ලැබේ. මෙයින් බරපතලම හානිය සිදුවන්නේ මහජන මුදල් හා දේපොලවලට යන මුදල් ගනුදෙනුවලදී වංචා දුෂණ සිදුකිරීම පාලකයින්ගේ හා නිලධාරීන්ගේ අනියම් හිමිකමක් බවට පත්වීමට මෙයින් ඉඩලැබේ. ගනුදෙනු පිළිබඳව පාරදෘශ්‍යභාවයක් නොමැතිවීම නිසා ප‍්‍රශ්න කිරීමේ ඉඩකඩ ද ඇහීරී යයි. රාජකාරි ඉටුකරගැනීමේ දී පගාව පෙරට පැමිණෙනු ඇත. සුදුස්සාට සුදුසු තැන හිමිනොවීමේ දුර්භාග්‍ය අත්මවිදීමට සිදුවන අතර රාජ්‍ය සේවයට බඳවාගැනීමේ දී සිදුවන දේශපාලන හා ඥාති සංග‍්‍රහ නිසා සුවිශාල සමාජ අසාධාරණයකට මුහුණපාන්නට සිදුවෙයි. තොරතුරු දැනගැනීමේ අයිතිය නොතිබීම රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවයට ප‍්‍රබල හේතුවක් වන අතර නිලධාරිවාදයට සහ රාජ්‍ය සේවකයින්ගේ පුහු අහංකාරයට ද ප‍්‍රබල රුකුලක් ලබාදෙයි.

තොරතුරු ලබාගැනීමට නීතියක් නොතිබීමෙන් ඇතිවන සියලු උපද්‍රව්‍යන් නිසා අවසානයේ දී රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ජනමාධ්‍ය නිදහසට ආර්ථික සංවර්ධනයට හා රටේ ප‍්‍රගමනයට ද ප‍්‍රබල තර්ජනයක් එල්ල වේ.

--චාමලී වනිගසිංහ--

Friday, July 6, 2018

දම්පල් දිවියෙන් අපේ දිවියට......


දම්පල් දිවියෙන් අපේ දිවියට......



"වරද දුටු තැන පෙන්වා දීම මගේ ගතියයි. මගේ අවවාද පිළිගැනීමට අසතුටු නම් ඒ  බව දැන් වූ විට මට වෙන රටකට ගොස් සිටිය හැකිය."


"හරක්මස් නොකනු , රා නොබොනු."



"මගේරට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි."





👉 අනගාරික ධර්මපාල තුමාගේ ජීවන ප‍්‍රවෘත්තිය....

අනගාරික ධර්මපාලතුමා (1864 සැප්තැම්බර් 17 සිට 1933 අපේ‍්‍රල් 29) විසිවන ශතවර්ෂයේ බුද්ධාගම නගා සිටුවීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඉන්දියාවේ බුදුදහම ශතවර්ෂ ගණනාවකදී බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. මෑත කාලය තුළ ධර්මය ආසියාව, උතුරු ඇමරිකාව හා යුරෝපය නම් මහද්වීප තුනේ දේශනා කිරීමට මුල් වූ පළමු බෞද්ධයාද ඔහු වේ. ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝධාර ශ්‍රේෂ්ඨයන්ගේ ප‍්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.

ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්‍යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය දෙදරුම් කෑ යුගයක පන්සල, පිරිවෙන, භික්ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස වර්ධනය කරමින් දේශප්‍රෙමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී කරන ලද වකවානුවකදී ය.  සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් අධිරාජ්‍යවාදයෙන් මහා පීඩනයට පත් කාලයක ය. එබඳු අවස්ථාවක දේශපේ‍්‍රමී ජාති හිතෛෂියකු හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.

කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ, බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් "ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල" නමින් ලෝකප‍්‍රකට ශ්‍රේෂ්ට නායකයා වූයේ ය. සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.

පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංගී‍්‍රසි භාෂාව ප‍්‍රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය. වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති  ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලූ වරායෙන් ලංකාවට සම්ප‍්‍රාප්ත වීමය. ඕල්කට්තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩවිඩ් හේවාවිතාරණ තරුණයා ය.

මෑත කාලය තුළ පළමු අනගාරික (මුළු කාලයම බුදුදහම වෙනුවෙන් කැපකල) වන්නේ ඔහුය. ඔහුට අවුරුදු 8 වන විට බ‍්‍රහ්මචාරීව සිටිමට දිවුරූ ඔහු ජීවිත කාලය පුරා එලෙස සිටියේය. ඔහු තම හිස මුඩු නොකල අතර කහ පැහැති සාම්ප‍්‍රදායික භික්ෂුන් නොඅදින සිවුරක් අදින ලදී. විනය නීති සියල්ල පිළිපැදිම ලොව වටා ධර්මචාරිකා කිරිමට උපකාරීවන බව ඔහු විශ්වාස කළේය.

තරුණ ධර්මපාලතුමා  ඕල්කට් මැතිතුමා (1875 නිව්යෝක් නගරයේ පරමවිඥනාර්ථ සමිතියේ සභාපති) ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කලේය. 1891 දී ඉන්දියාවේ මහාබෝධි පන්සලට වන්දනා ගමනක යෙදි සිටින අතරතුර අනගාරික ධර්මපාල තුමා රහත් ඵලයට පත්විය. එම පන්සල හින්දු පූජකවරුන්ගේ යටතට පත්ව තිබිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව හින්දු ප‍්‍රතිමාවකට පරිණාමනය කර තිබිමත් යන කරුණු වලින් ඔහු කම්පාවට පත්වූ අතර එයට එරෙහිව උද්ඝෝෂණයක් ඇති කළේය. 1891 දී කොළඹදී මහාබෝධි සංගමය පිහිටවු ඔහු එහි ප‍්‍රාථමික අපේක්ෂාව ලෙස බුද්ධගයාවේ මහාබෝධි පන්සල බෞද්ධ ආගමිකයින් යටතට ගැනීම නම් කළේය. හින්දු ජූජකයන් සමග නීතිමාර්ගයෙන් දැඩි සටනක් දියත් කිරීමෙන් අනතුරුව 1949 දී මහාබෝධි සමිතිය යටතට මහාබෝධි පන්සල ගන්නා ලදි. ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය.

1893 දී ධර්මපාල තුමාට චිකාගෝ නුවර පැවති ලෝක ආගම් පිළිබද පාර්ලිමේන්තුවට නියෝජනය කිරීමට ආරාධනා ලැබිණ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු ප‍්‍රසිද්ධ බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප‍්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල රෝහල් ද ඉන්දියාව තුළ පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ඔහු විසින් ඉදිකළ වැදගත්ම පන්සලක් වන්නේ බුදුරජාණන් වහන්සේ පළමු දම් දෙසූ ස්ථානයේ ඉදිකල සාරානාත් පන්සලයි. 1933 දී සාරානාත් හි පැවිදි වූ ඔහු දෙසැම්බර් මාසයේ දී අපවත් විය. බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග‍්‍රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.

1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධගයා මහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්‍යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මධූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡුාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප‍්‍රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප‍්‍රචාරක කටයුතුවලට බාධාවක් විය.

1906 ඇරැඹුණු "සිංහල බෞද්ධයා" පත‍්‍රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප‍්‍රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි‍්‍රයා කළේ ය. 1933 අපේ‍්‍රල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප‍්‍රචලිත කිරීම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය. කල්කටාවේ අග‍්‍රවිනිශ්චකාර ශ‍්‍රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප‍්‍රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප‍්‍රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.

සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. "රහමෙර පානය නොකරනු, ගෙරි මස් නොකනු"   කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා "ගොන්තඩියා, වල් බූරුවා"  වැනි ආමන්ත‍්‍රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක්‍රමශිලිව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත්වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය. ශ‍්‍රී ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය. වාර්ෂිකව, කර්මාන්ත ඉගෙන ගැනීමට ජපානයට ශිෂ්‍යත්ව ලබා දෙන ලදි. පේෂ කර්මාන්තය හැදෑරු යූ. බී. දොලපිහිල්ල, පිඟන් කර්මාන්තය හා චිත‍්‍ර ශිල්පය හැදෑරු ඩි. සී. හාන්ති අප්පුහාමි, සුවඳ විලවුන් කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේ, කඩදාසි කර්මාන්තය හැදෑරු එන්. ජේ. සෝමරත්න, ගිනිකූරු කර්මාන්තය හැදෑරු බාලසූරිය, ගොවිකම හැදෑරු මුනසිංහ, එසේ කර්මාන්ත උගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති.

එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාවය ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප‍්‍රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප‍්‍රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාලතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුව ද සෑහේ. සිංහල ජනතාවට, ශ‍්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ‍්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැළකිය හැකි ය.

සැබෑ නායකයෙක් වූ අනගාරිකධර්මපාල තුමාට පටු දේශපාලනික අරමුණු වෙනත් ආත්මාර්ථකාමී අරමුණු තිබුණේ නැත. එතුමා තුල තිබුණේ ඒ රටත්, ජතියත්, ආගමත්, පරදේශක්කාරයන්ගෙන් බේරා ගැනීමේ අරමුණ පමණි. ඒ  උදෙසා එතුමා මුළු ජීවිතයම කැප කළේය. බලයට පැමිණීම, ප‍්‍රසිද්ධිය උදෙසා එතුමා නායකත්වය නොගත්තේය. ධර්මපාලතුමාගේ කැපවීම හා අවංකත්වය දුටු පිරිස් එතුමා වටා එක්වූයේද ඒ අවංකත්වයෙන්මය. ඒ අනුව ධර්මපාලතුමා මුල්කරගනිමින් මහා බල වේගයක් රටතුළ නිර්මාණය විය. ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් මෙවැනි බලවේගයන් ගොඩනැගුණේ  සන්නිවේදන මාධ්‍ය පවා හරිහැටි නොදියුණු යුගයකදීය.මෙමගින් පෙන්නුම් කරන්නේ එතුමාගේ අවංක දේශපේ‍්‍රමීත්වයේ හඬයි. අන්‍ය ජාතියකින්, අන්‍ය ආගමකින් මේ පුංචි දිවයින බේරා ගැනීමට හැකිවූයේ මෙවැනි සැබෑ දේශමාමකයින්ගේ ප‍්‍රතිඵලයක් ලෙසය.

👉 අනගාරික ධර්මපාල තුමාගේ නායකත්ව ලක්ෂණ :

සැබෑ නායකයෙකු සතු විය යුතු අරමුණක් සහිතව වැඩ කිරීම, ආදර්ශවත් වීම, අවංකත්වය, කැපවීම, තැනට සුදුසු නුවණ, උත්සාහය, නිර්භීතභාවය,  පරාර්ථසේවනය, අන්තර්ඥාණය, අධිෂ්ඨාන සහගත බව, ඉවසීම, සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව, උඩගු නොවීම, අන් අයගේ හඬට සවන් දීම, පෞර්ෂත්වය ආදී වූ සාර්ථක නායකයෙකු සතු විය යුතු  සෑම ලක්ෂණයක්ම අනගාරික ධර්මපාල චරිතය තුළ දැක ගත හැකිය.

  • පැහැදිලි අරමුණක් සහිතව කටයුතු කිරීම.
  •  රට ජාතිය ආගම භාෂාව පරගැතියන්ගෙන් බේරා ගැනීමට කටයුතු කිරීම. 
  • ලක්දිව ගමක් ගමක් පාසා ඇවිදිමින් ධර්මය ප‍්‍රචාරය කිරීම.
  • බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම.
  •  සිංහල බෞද්ධයන්ගේ මත්පැන් පානය හරක් මස් කෑම නතර කළ යුතුය.
  •  සෑම සිංහලයෙකුම අවංක දක්ෂ හා සමගියෙන් වාසය කළ යුතුය.
  • රටට, ජාතියට, ආගමට සේවය කළ යුතුයි.


💢 පරාර්ථසේවය
  1. කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය පිහිටුවීම.
  2. මහාබෝධි නමින් ඉංග‍්‍රීසි විද්‍යාලයක් ආරම්භ කිරීම.
  3. සාරානාත්හි ඉසිපතනයේ මූලගන්ධකුටි නමින් විහාරයක් තැනවීම.
  4. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පිහිටුවීම.
  5. පේෂකර්මය ඉගෙනීමට සිංහල තරුණයන්ට ශිෂ්‍යයත්ව දී ජපන් රටට යැවීම.
  6. මේරි පෝස්ටර් නිදහස් ආයුර්වේද ආරෝග්‍ය ශාලාවක් කොළඹ පිහිටුවීම. 


💢 නිර්භීතකම

  1. යුරෝපීයන්ට බියෙන් මුළු ගැන්වුණු සිංහලයා ඉදිරියට ගොස් එම බිය තුරන් කිරීම.
  2. 1915 ජුනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිර භාරයට ගන්නා ලදී. නමුත් ඔහුගේ සමාජ මෙහෙවර ඉන් නිමා නොවීය.
  3. සිංහල බෞද්ධයා ආදී පුවත්පුවත් බිහි කරමින් විදේශිකයන් නිර්භය ලෙස 

       💢 විවේඡනය කිරීම

  1. හින්දු පූජකයන් සමග නීති මාර්ගයෙන් දැඩි සටනක් දියත් කිරීමෙන් අනතුරුව මහා බෝධි සමිතිය යටතට මහා බෝධි පන්සල ලබා ගැනීම. (1949)


💢 සාමූහිකව කටයුතු කිරීම

  1. අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීම.
  2. ගව ඝාතනයට එරෙහිව ජන බලය ගොඩ නැගීම.
  3. අධිරාජ්‍ය විරෝධී අරගලවලට නායකත්වය ලබා දීම.


      💢  උත්සාහය

  1. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 800 ක පමණ කාලයක් ඉන්දියාවේ බෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ සිද්ධස්ථාන යලිත් බෞද්ධයන්ට උරුම කර දීමට හැකි වූයේ ධර්මපාල තුමා විසින් ගෙන ගිය අරගලයන්ගේ උත්සාහයක් වශයෙනි.
  2. ගමක් ගමක් පාසා ගොස් ධර්ම ප‍්‍රචාරය කිරීම.
  3. දේශිය අධ්‍යාපනයෙහි ඇති වටිනාකම පහදා දී බෞද්ධ පාසල් ආරම්භ කිරීම.

💢  ආදර්ශවත් වීම

  1.  "හරක්මස් නොකනු, රා නොබනු" ලෙස එතුමාගේ ප‍්‍රචාරක රථයේ නිරූපණය කිරීම.
  2.  බ‍්‍රහ්මචාරී වීමෙන් මුළු ජීවිතයම රට ජාතිය ආගම සදහා කැප කිරීම.
  3.  බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම.
  4.  බුද්ධ ගයාවට ගොස් එය හින්දුන්ගෙන් බේරා ගැනීමට කටයුතු කිරීම.


      💢  ඉවසීම

  1. දඹදිව බෞද්ධ සිද්ධස්ථාන පුනරුත්තාපනයට ආරකෂාවට හා අභිවෘද්ධියට කටයුතු කරද්දී ඇතැමුන් කර්කශ විෙවිඡනවලින්ද සාපරාධී අවලාදවලින් ද රිද වූවත් එතුමන් නොසැලී තම වගකීම් ඉටු කිරීම.
ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණය. එහෙත් වීරෝධාර ශ්‍රේෂ්ඨ නායකයන්ගේ ප‍්‍රමාණය අල්පය.  ධර්මපාල චරිතය තුළ අප මෙතෙක් සාකච්චාවට බඳුන් කළ නායකත්ව ලක්ෂණ එතුමා ජීවත්ව සිටි කාලයට පමණක් නොව අධ්‍යයතනයේ ද ජාතික, ආගමික, සාමාජීය, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික, අධ්‍යාපනික යනාදී සෑම ක්ෂේත‍්‍රයක්ම මෙහෙයවන නායකයන්ට මනා ආදර්ශයක් ගෙන දෙයි.

--චාමලී වනිගසිංහ--

Thursday, July 5, 2018

භාෂණ ප්‍රකාශන නිදහස....

විශ්වලිංගම්ට එදිරිව ලියනගේ නඩු තීන්දුව....


මාධ්‍ය නිදහස යන්න ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළත්, දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් එක සේ සංවාදශීලි මාතෘකාවකි. මෙරට ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාව මඟින්ම පිළිගෙන සහතික කර ඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අතිශය වැදගත්ය. අතීතයේ දී තොරතුරු හා දැනුම ප‍්‍රකාශයට පත් කිරීම සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම සහ ප‍්‍රාථමික මුලාශ‍්‍ර ඔස්සේ සිදුවිය. එහෙත් වර්තමානය වනවිට තාක්ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයන් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජ ගතවීමේ ක‍්‍රමික වර්ධනයත් සමඟ ප‍්‍රකාශන නිදහස පිළිබඳව සාකච්ඡාවට ලක්විය. එමනිසා වර්තමානය වනවිට තොරතුරු ප‍්‍රකාශනය හා බැඳුණු මාධ්‍ය නිදහස අතර ඝට්ටනයක් පවතී. යම් සිදුවීමක් පිළිබඳව විස්තරාත්මක ආකෘතියක් ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ශක්‍යතාව  පවතින්නේ පුවත්පතටය. ඇතැම් අවස්ථාවල දී පුවත්පත්  යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා කිරිමේ දී එහි අනන්තය දක්වාම ගොස් පාඨකයාට සත්‍ය හා විශ්වසනීය තොරතුරු අපක්ෂපාතී වාර්තාකරණයක් හරහා ලබා දීමට උත්සාහ කරයි. මෙහි දී සිදුවීමට අදාළ පුද්ගලයා කවරෙක්ද? ඔහු නියෝජනය කරන සමාජ පන්තිය කුමක්ද යන කාරණා පුවත්පත් කලාවේදියාට අදාළ වන්නේ  නැත. ඔහුට අවශ්‍ය වන්නේ පාඨකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උපරිම ආකාරයෙන් සම්පුර්ණ කිරීමට වේ. "සැටඬේ රිවීව්" දෙමළ පුවත්පත ජාතිවාදී කළබලවලට උරදෙන්නේය යන හේතුව මත 1983 දී තහනම් කළ ද විශ්වලිංගම් නැමැත්තා එතෙක්  තොරතුරු ලබා ගත්තේ සැටඬේ රිවීව් පුවත්පතෙන්වන නිසා පුවත්පත තහනම් කිරීමත් සමග ඔහුගේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය කඩ වී ඇත. මෙම නඩුව හා බැඳි තත්ත්වයන් භාෂණ ප‍්‍රකාශන අයිතිය සමග ඍජුව බැඳී පවතින නිසා ඒ පිළිබඳ විමසීමට ලක් කිරීම යෙහෙකි.

ව්‍යවස්ථාවේ 126 වන වගන්තිය හා 12 - (1), 14 (1)  වගන්ති  හා හදිසි නීතියෙහි 14 (3) රෙගුලාසිය අනුව (විවිධ නියෝග හා බලතල අනුව)  නිසි බලධාරියා "සෙනසුරාදා සමාලෝචනය" Saturday Review පුවත්පත මුද්‍රණය තහනම් කිරීම, පාඨකයින්ගේ සහ දායකයින්ගේ සමානාත්මතාවය හා කතා කිරීමේ නිදහස හා මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධවයි. 

නිසි බලධාරියාගේ අභිමතයෙහි හා පාඨකයින්ගේ හා දායකත්වයෙහි නීත්‍යානුකූල තත්ත්වය , ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 (7) වගන්තිය හා මහජන ආරක්‍ෂාව ආඥා පනතෙහිි 5 වන හා 8 වන වගන්ති අනුව.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක 85/83 ආයාඡනය මගින් 1 සිට 3 දක්වා පෙත්සම්කරුවන් ද, 6 සිට 8 දක්වා පෙත්සම්කරුවන් හා ‘‘සැටඬේ රිවීව්’’ පුවත්පතේ පාඨකයින්වන පෙත්සම් කරුවන් 6/84 ආයාඡනය මගින් ද සිරස්තලයක විධිමත් පාඨකයෙක්වන 5 වන පෙත්සම්කරු 85/83 මගින් ද හදිසි නීතියෙහි 14 (3) රෙගුලාසිය අනුව (විවිධ නියෝග හා බලතල අනුව) රජයේ හදිසි අවස්ථාව ප‍්‍රකාශ කිරීම හා එය මාසිකව අලුත් කිරීමට විරුද්ධව මෙම නඩු ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව රජයේ නිසි බලධරයා විසින් එම නීතය කි‍්‍රයාත්මක කරමින් 14 (3) රෙගුලාසිය අනුව " සැටඬේ රිවීව්" පත‍්‍රය තහනම් කොට එය මුද්‍රණය කිරීම හා බෙදා හැරීම වැළැක්වීමට එයට සීල් තබා තිබුණි. 1983.11.18 හා 1983.12.18 දින දරණ නියෝග මත මෙම පත‍්‍රය මුද්‍රණය හා ප‍්‍රචාරය කිරීම තහනම් කිරීමට විරුද්ධව එම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබුණි. එය නිසි බලධරයාගේ අසාධාරණ සැලකිල්ල හා වෙනස් ආකාරයේ සැලකිල්ලක් ලෙස පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණි. තවද මෙම නියෝගයෙහිි යුක්තියක් නැති බවත් නිසි බලධාරියා හුදෙක් ඔහුට එරෙහි චෝදනා එල්ල කර ඇත. ඔහුගේ නියෝගය සාධාරණිය කරනය කිරීම පිණිස කරුණු ඉදිරිපත් කර නැති බව දක්වා ඇත.

විරුද්ධ පාර්ශවයේ වග උත්තරකරුවන් පෙත්සම්කරුවන්ට නීත්‍යානුකූල තත්ත්වයක් නොමැති බවට වාද කරමින් එම නියෝග සාධාරණ බවත් අධිකරණයේ සමාලෝචනය කළ නොහැකි බවත් සඳහන් කරමින් ඔවුන්ට අසාධාරණ ලෙස සැළකීම හෝ වෙනස් ආකාරයකින් සැළකීම ඔප්පු කිරීමේ වගකීම පෙත්සම්කරුවන්ට පැවරෙන බව ප‍්‍රකාශ කළේය.

👉 විසුවලිංගම්ට එදිරිව ලියනගේ නඩුව විවාදයට ගැනීම :

විනිසුරු රොඩ්රිගු මහතා දක්වන පරිදි මූලික අයිතිවාසිකම්වල කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය
ඇති බැවින් එහි කියවන්නන් හා ප‍්‍රතිග‍්‍රාහකයාගේ නිදහස ද ඇතුළත් වන බැවින් ද එමනිසා  නීත්‍යානුකූල තත්ත්වයක් ඇති බැවින් 126 වගන්තිය යටතේ සහන අයැදීමේ අයිතය ඇති බව දක්වන ලදී. නමුත් ප‍්‍රතිග‍්‍රාහයකයාගේ මුලික අයිතිවාසිකම්  (හදිසි අවස්ථා රෙගුලාසි ඇතුලු) නිතියේ නිර්දිෂ්ඨ සීමාකිරීම් ජාතියේ ආරක්‍ෂාව පිණිස සීමා කිරීම්වලට යටත්වන බව සඳහන් කරන ලදී.  පොදු නියෝග සහ මහජන සෞඛ්‍ය, සදාචාරය ආදී අයිතිවාසිකම්වල ආරක්‍ෂාව පිළිගැනීම  පිණිස හෝ ප‍්‍රජාතන්නත‍්‍රවාදී සමාජයක පොදු යහපත 15 (7) වගන්තිය යටතේ  දක්වන ලදී.

මහජන ආරක්‍ෂක පනතේ 8 වන වගන්තියෙහි සඳහන් වන ආකාරයට හදිසි නීතියක් හෝ එම නියෝගයක්, පාලනයක් හෝ ඒ යටතේ දෙන නියෝගයක් කිසිම අධිකරණයක ප‍්‍රශ්න කළ නොහැකිය. තවද පෙත්සම්කරුවෙකුට කුමන අධිකරණයක් ඉදිරියේ හෝ 12 (1) හා 14 (1)  වගන්තිය හෝ 15 (7) වගන්තියෙහි විස්තර වන සීමා කිරීම් උල්ලංඝනය වී ඇති බවට ඔප්පු කිරීමට හැකි වුවහොත් එම සහන ලබාදීම වැළැක්විය නොහැකි බව සඳහන් වේ.

(1) 1983 ජුනි මස මෙම ‘‘සැටඩේ රිවීව්’’ පත‍්‍රයෙහි පළ වු තොරුතුරු ගැන සැළකිල්ලට ගැනීමේ දීී නිසි බලධාරියා අසාධාරණ බව පැවසිය නොහැක. නිසි බලධාරියා විසින් ‘‘සැටඩේ රිවිව්’’ පත‍්‍රයෙහි ප‍්‍රකාශකයාගේ මුලික අයිතිවාසිකම් නීත්‍යානුකූලව සීමා කර තිබේ. ඒ අනුව පෙත්සම්කරුවන්ගේ මෙන්ම පාඨකයන්ගේ හා දායකත්වය දරන්නන්ගේද මූලික අයිතිවාසිකම් සීමා වේ. 

(2) 12 වන වගන්තිය මගින් සාධාරණ වර්ගීකරණයක් තහනම් නොවේ. එයට හේතුව වී ඇත්තේ සැමදෙනාම ඒකාකාරව පිහිටුවා නැති බැවිනි. තවද සියලු අවස්ථා කිසිවිටක සමාන නොවේ. 12 වන වගන්තිය අනුව දැක්වෙන්නේ සමාන දෙදෙනක් අතර අසමාන ලෙස සැළකීම අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ලෙසයි. අවසර සහිත ගණිතමය විග‍්‍රහයක ඉතා සියුම් වෙනසක් විය හැකිවා මෙන්ම පරිසමාප්ත සමානාත්මතාවයක් ඇති විය නොහැක. එමෙන්ම පුවත්පත්වල සහ පාඨකයින් අතර ද එසේ ඇතිවිය යුතු නැත. විධායකයට පරිපාලන යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමේ දී  සිදුවන හානි තත්ත්වයේ මට්ටම් ගැන සිතීමෙන් නිදහස්ව එම  අවශ්‍යතාවය පැහැදිලිව අර්ථවත් වන්නේ  නම් එම සීමාකිරීම් කි‍්‍රයාත්මක කළ හැක. ‘‘සැටඩේ රිවිව්’’ පත‍්‍රය කි‍්‍රයාත්මක කර ඇත්තේ සැළකිය යුතු ප‍්‍රමාණයක් කැළඹීම් ඇති යාපනයෙහිය. තවද රටේ අනෙක් පලාත්වල මෙන් නොව එහි ජාතික ආරක්‍ෂාවට තර්ජන ඇත.

පුද්ගලයෙකු 126 වගන්තියෙහි ඇති නියෝග පිළිබඳව ආයාචනයක් කරමින් මුලික අයිතිවාසියක් කඩවීම හා සමානාත්මතාවය පිලිබඳ චෝදනා කරන විටදී විධායකයේ හෝ පරිපාලන කි‍්‍රයා මත සිදුවී ඇති වෙනස් සැලකිලි සිදුව ඇති ආකාරය ස්ථාපිත කිරීමේ අයිතිය ඇත්තේ ඔහුටය. නිත්‍යානුකූල නොවන වෙනස් ආකාරයේ සැළකිල්ලක් පිළිබඳව සමාන පුද්ගලයන් සමග තමන්ට කර ඇති වෙනස් ආකාරයේ සැළකිලි හා සීමා කිරිම් පිළිබදව ප‍්‍රමාණවත් විස්තර ඔහුගේ ආයාචනයෙහි සඳහන් කළ යුතුය. පෙත්සම්කරුවන් වෙනස් ආකාරයේ සැළකිලි කරන ලද පුද්ගලයන්ගේ සමානතාවය ස්ථාපිත කළහොත් රජය එය එසේ ලැබිය යුතු සහේතුක තර්කාන්විත හේතුවක් මත සිදු කර ඇති බවට කරුණු ඉදිරිපත් කළ යුතුය. එහෙත් එම සමානාත්මතාවය ස්ථාපිත නොකළහොත් 12 වන වගන්තිය යටතේ එම අයිතිවාසිකම් උල්ලංඝනය වීම ප‍්‍රතික්‍ෂෙප වන්නේය. පෙත්සම්කරුවන් තමන්වෙත පැවරී තිබු වෙනස්ලෙස සැලකීමේ චෝදනාව මනාව ස්ථාපිත කර නැත.

  • යොමු කරන ලද නඩු

1984 ජුනි 14
විමලරත්න විනිසුරු තුමා

‘‘සැටඩේ රිවිව්’’ පුවත්පත සිමාසහිත නිව් ඊරා ප‍්‍රකාශකයන් විසින් සතියකට වරක් නිකුත් කරන ඉංගි‍්‍රසි පුවත්පතකි. ප‍්‍රකාශන පති‍්‍රකාවක සඳහන්වන ආකාරයට එය ශී‍්‍ර ලංකාවේ සියලු පුද්ගලයන් හා ජාතින් වෙනුවෙන් නිකුත් කෙරෙන අසාධාරණයට විරුද්ධව නැගී සිටිින, වෙනස් ආකාරයේ සැළකිලි හා මානව හිමිකම් හා නිදහස පිලිබඳ දැක්වෙන පුවත්පතකි. එය දේශපාලන පමණක් නොව ප‍්‍රධාන වශයෙන් උතුරු පළාතේ සංස්කෘතික කටයුතු කෙරෙහි ද කැපවේ. 85/83 හා 6/84 පෙත්සම්කරුවන් එම පුවත්පතෙහි 1982 ජනවාරි සිට ආරම්භක ස්ථාවර පාඨකයන් වේ.  අංක 85/83 පෙත්සම්කරු එක් සිරස්තලයක ක‍්‍රමානුකූල දායකත්වයක් දරන්නෙකි. එයට ඔහුට සතියකට රු.250/- ක් ගෙවනු ලබයි. ඔවුන් සියලු දෙනාම ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් වන බැවින් මුලික අයිතිවාසිකම් හා 12 (1) වගන්තිය මගින් සහතික වන සහ 14 (1) අ  ව්‍යවස්ථාව මගින් දැක්වෙන අනෙකුත් පත්තර පාඨකයන්ගේ භාෂණයේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ඉල්ලයි. මෙම පුවත්පත් ප‍්‍රචාරය සම්පුර්ණයෙන් තහනම් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔවුන් පවසයි. 

83.05.18 දින රජය විසින් මහජන ආරක්‍ෂක පනත (40 වන පරිච්ඡේදය)  අනුව හදිසි නීතිය ප‍්‍රකාශ කරන ලදී. එම පනතේ 5 වන පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයා හදිසි නීතියක් කි‍්‍රයාත්මක කරන ලදී. එය  1983 අංක 1 යනුවෙන් හැඳින්වේ. හදිසි නීතිය මසින් මස අලුත් කිරීමේ තත්ත්වය මත මෙම නීති ද මසින් මස අලුත් විය. මෙහි පළමු වගඋත්තරකරු වන්නේ මේ සඳහා පත්කර ඇති නිසි බලධරයායි. දෙවන වගඋත්තරකරු වන්නේ පොලිස්පති තුමා හා 3 වන වගඋත්තරකරු වන්නේත් පොලිස්පති තුමාය.

එම පනතේ 14 (3) වගන්තිය යටතේ 1 වන වගඋත්තරකරු එම පනතේ බලතල අනුව 83.07.01 හදිසි නීතිය ක‍්‍රියාත්මක කරමින්,

(අ) එම දින සිට කිසිවෙක් මසක කාලයක් පුරා ‘‘සැටඩේ රිවිව්’’ පුවත්පත මුද්‍රණය කිරීම, ප‍්‍රචාරය කිරීම හෝ බෙදා හැරීම හෝ කුමන ආකාරයකින් හෝ එම පුවත්පත මුද්‍රණය කිරීම, ප‍්‍රචාරය කිරීම හෝ බෙදා හැරීම නොකළ යුතු බවට නියෝගයක් පනවන ලදී.

(අ) එම පුවත්පත මුද්‍රණය කරන ලද මුද්‍රණ යන්ත‍්‍රය එම දිනයේ සිට මසක් පුරා කුමන හෝ කාර්යයක් උදෙසා පාවිච්චි නොකළ යුතු බවට  නියෝග කර ඇත.

එම නියෝගය වරින් වර අලුත් කරන ලදී. වත්මන් ආයාඡනය ඉදිරිපත් කර ඇත්තේ අදාළ නියෝගය මත නිකුත් කර ඇති 83.11.18 හා 83.12.18 නියෝගයන්ට එරෙහිවය.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ කිසිම අවස්ථාවක ‘‘සැටඩේ රිවිව්’’ පුවත්පත ජාතික ආරක්‍ෂාවට, රාජ්‍ය ආඥා පනත සංරක්‍ෂණය කරවන නැතහොත් සමාජයේ අත්‍යාවශ්‍ය සේවාවන් සැපයුම් හෝ පවත්වාගෙන යාමට අගතියක් වන අයුරින් කිසිවක් මුද්‍රණය කර නැති බවය. තවද කිසිවෙක් කැරලි ගැසීම්වලට පොළඹවා හෝ කෝලහාලවලට හෝ සිවිල් ආරවුල්වලට පොළඹවා නැති බවය. එබැවින් නිසි බලධාරියා පවසන පරිදි ඔහුට අංක 14 (3) අනුව කි‍්‍රයාත්මක වෙමින් එසේ කටයුතු කිරීමේ හැකියාවක් නැත. ‘‘සැටඩේ රිවිව්’’ පුවත්පත ආරම්භයේ සිටම රජයේ සමහර අංශ කෙරෙහි තීරණාත්මක විය. හැරත් ආරක්‍ෂක අංශ හා පොලිස් නිලධාරීන් තමන්ගේ බලය පාවිච්චි කිරීමේ දී හැසිරුන ආකාරය පිළිබඳව අදහස් ප‍්‍රකාශ කරන ලදී. නිසි බලධාරියා විසින් ‘‘සැටඩේ රිවිව්’’පුවත්පත තහනම් කිරීම නිසා එම පුවත්පත ශුන්‍ය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පෙත්සම්කරුවන්ගේ තොරතුරු ලබාගැනීමේ නිදහස එම පත‍්‍රයට දායක වීමේ නිදහස නැතිවීම නිසා මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත. 

හදිසි නීතිය යටතේ නිසි බලධරයාට 14 (1) වගන්තිය යටතේ එම වාරණ නියෝගය එවැනි අනෙකුත් පත්තරවලට ද පනවන්නට බලය තිබුණි. එවැනි නියෝගයක් පමුණුවනවා වෙනුවට නිසි බලධාරියා . ‘‘සැටඩේ රිවිව්’’පුවත්පත මුද්‍රණය තහනම් කිරීමෙන් එය කියවන්නන්ට වැදගත් තොරතුර ලබාගැනීමේ අයිතිය අහිමි කර ඇතිවා මෙන්ම එහි දායකත්වය සහ පොදු ප‍්‍රශ්න වෙනුවෙන් ඔවුන්ට තොරතුරු ලබාගැනීමේ අයිතිය මෙන්ම පෙත්සම්කරුවන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේ. එමගින් ‘‘සැටඩේ රිවිව්’’පුවත්පත පාඨකයන් හා වෙනත් පුවත්පත් පාඨකයන් හා  දායකයන් අතර වෙනස් සැළකිලි සිදු කර ඇත. මෙයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියේ සහතික කර ඇති මුලික අයිිතිවාසිකම් උල්ලංඝනය වී ඇත. 

ඔවුන් නිසි බලධාරියාගේ ඉහත නියෝගය ශුන්‍ය හා බලරහිත ලෙස ප‍්‍රකාශයක් කරන ලෙසත් ඊට අනුෂාංගිකව 2 වන වගඋත්තරකරු සහ ඔහුගේ යටත් නිලධාරීන් ගේ කි‍්‍රයාවන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නියෝගවලට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටී. තවද ඔවුන් ඊට වන්දි හා නඩු වියදම් ඉල්ලා සිටී.

නිසි බලධරයාගේ දිවුරුම් ප‍්‍රකාශයෙහි ඔහු ‘‘සැටඩේ රිවිව්’’ පුවත්පත රට බෙදීමට හා උතුරේ හා නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට ඊලාම් රජයක් පිහිටුවීමට කටයුතු කරන දේශපාලන පුවත්පතක් ලෙස හඳුන්වා තිබේ. 

ලිපි ලේඛන රාශියක සහ ප‍්‍රකාශනයන් මගින් යෝජනා කර ඇති ආකාරයට ප‍්‍රචාරක කටයුතුවල දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයා වැලකුණහොත් අවිහිංසාවාදීව ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාව මුහුණපාන ප‍්‍රශ්නවලට ගිවිස ගැනීම් සහ ප‍්‍රචාරක කටයුතු මගින් පිලියම් යෙදීමේ හැකියාව වැළකෙන බැවින් එයට එකම විසඳුමක් ලෙස විවෘතව බලය හා ත‍්‍රස්තවාදය ඇතිකිරීමට ඔවුන් පෙළඹෙනවා ඇත. පුවත්පත් ද උතුරේ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ට කැපීපෙනෙන ප‍්‍රසිද්ධියක් ලබා දී තිබේ. විශේෂයෙන් ඔවුන්ම ද්‍රවිඩ ඊලාම් විමුක්තිවාදී පෙරමුණ (T.E.L.F)   කියාගන්නා සහ නොයෙක්විට එවැනි කි‍්‍රයාවන් වැඩිදියුණු කිරිමට ඒවා ප‍්‍රශංසාත්මකව අගය කරන හා නීත්‍යනුකූලව ස්ථාපිත රජයට එරෙහිව බලපෑම් ඇති කරන සහ එවැනි ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙන, තැන්පත්කමක් නැතිව ජාතිවාදී ලීලාවෙන් ලිපි සහ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන සහ නිරන්තරයෙන් එම ජාතියෙහි ජාතිවාදී හැගීම් ඇතිකරන දෙමළ ජනතාවට එරෙහිව කරන ලද බවට චෝදනාවන් දුක්ගැනවිලි හා අසාධාරණකම් කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කරන එමගින් රටේ ආරක්‍ෂාව හා රාජ්‍ය බලය පවත්වාගෙන යාමට අවහිරකම් ඇති කරයි.

නිසි බලධාරියා විසින් 1983.07.01 (T.E.L.F) දින ඉහත පළමු නියෝගය පැනවීමට පෙර T.E.L.F   සංවිධානය
විසින් උතුරේ ඇති කරන ලද මහා පරිමාණයේ ප‍්‍රචණ්ඩත්වය නිසා දේපලවලට බරපතල හානි සිදුවිය. ඔහුගේ අදහස වුයේ ‘‘සැටඩේ රිවිව්’’පුවත්පත (සහ යාපනයේ තවත් පුවත් පතක්) මුද්‍රා තැබීමෙන් තවදුරටත් එවැනි ප‍්‍රචණ්ඩත්වයන් ඉහළ නැගීම වැළැක්වීමට පිලියමක් වන බවය. ඔහු එය නිර්ව්‍යාජ භාවයෙන් කරන ලද්දකි. තවද එයින් සෑහීමකට පත්ව 1983 ට පෙර ‘‘සැටඩේ රිවිව්’’පුවත්පතෙහි පළ වු (අහඹුලෙස ගත් ලිපි හා ප‍්‍රවෘත්ති උපුටනයන් 1R1 සහ 1R 14) ජාතික ආරක්‍ෂාවට අගතියක් සිදුකරන ලිපි සහ රජයේ ආරක්‍ෂාවට හානිකරන ජාතිභේද විරෝධ හා සිවිල් ආරවුල් ඇති කරන ලිපි ඉදිරිපත්කර තිබේ. තවද 1 වන වග උත්තරකරු එමගින් 12 (1) සහ 14 (1) වගන්තිවලින් දැක්වෙන ආකාරයට පෙත්සම්කරුවනගේ මුලික අයතිවාසිකම් උල්ලංඝනය වී නැති බව විශේෂිතව පවසයි.

නීත්‍යානුකූල තත්ත්වය (Locus Standi) යටතේ  විවාදයට ගත් කරුණු අතර උගත් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා ව්‍යවස්ථාවේ 126 වගන්තිය අනුව පෙත්සම්කරුවන්ට නීත්‍යානුකූල තත්ත්වයක් නැති බවට තර්කයක් ඉදිරිපත් කළේය. එයට හේතුව වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ නිසි බලධරයා එම නියෝගය කර ඇත්තේ ‘‘සැටඩේ රිවිව්’’ පුවත්පතේ මුද්‍රණ කරුවන්ට ප‍්‍රකාශකවරුන්ට හා බෙදාහරින්නන්ට විමයි. තවද යම් පුද්ගලයෙකුට 12 (1) සහ 14 (1) වගන්තිවලින් කියැවෙන මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ගැන චෝදනා කළ හැක්කේ (අ) මුද්‍රණ කරුවන්ට ප‍්‍රකාශකයින්ට හා බෙදා හරින්නන්ට පමණක් බව සහ ඇත්ත වශයෙන්ම පාඨකයන්ට හා දායකත්වයට නොවන බවයි. 

‘‘සැටඩේ රිවිව්’’ පුවත්පතේ පෙත්සම් කරුවන්වන මුද්‍රණකරුවන්, ප‍්‍රකාශකවරුන් බෙදා හරින්නන් 126 වන වගන්තියේ නියෝග මත ආයාඡනයක් කර නැත. එබැවින් ඔවුන් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්ගේ නියෝගයෙන් සෑහීමකට පත්ව ඇත. පුවත්පත තහනම් කොට මාස 4ක කාලයක් ගත වුව ද එම පත්තරය තහනම් කිරීමේ  අධිකරණ නියෝගය ද පිළිගෙන ඇත. ඔහු විමසන්නේ එසේ නම් පාඨකයන් හා දායකයන් එසේ චෝදනා කරන්නේ කෙසේද කියාය? එය එසේ නම් මුද්‍රන කරුවන් හෝ යැපෙන්නන් හටද ප‍්‍රකාශකයන් හා බෙදා හරින්නන් මෙන්ම පත්තර විකුණන පාර්ශවය ද පුවත්පත තහනම් කිරීමෙන් තමන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වු බවට දක්වමින් වන්දි ලබාගත හැකිය යන්න සොල්සටර් ජනරාල්ගේ අදහස විය.

මේ සම්බන්ධයෙන් නඩේසන් මහතාගේ පිළිතුර වන්නේ කතා කිරීමේ නිදහස හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස විෂය සීමාව තුළ තොරතුරු ලබන්නාට තොරතුරු ලබාගැනීමේ නිදහස ඇතුළත්වන බවය. කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස අරථවත් කරන  අයෙකුට තොරතුර ලබන්නාගේ නිදහස පිළිබඳව ද, ප‍්‍රවෘත්ති සහ අදහස් පිළිබඳව ද සිතීමට සිදුවේ. ශී‍්‍ර ලංකාවේ රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී රජයක් පවත්වාගෙන යාමට සහතික වී ඇත. එහි අරමුණුවලින් එකක් වන්නේ සියලු ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමයි. මුලික අයිතිවාසිකම් හා කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ සීමා පනවා ඇත්නම් එම අරමුණු ඉටුවන්නේ කෙසේද යනුවෙන් නඩේසන් මහතා විමසයි. පාඨකයාගේ නිදහස හඳුන්වා දී නැත්නම් කතා කිරීමේ නිදහස කුහර සහිත සංකල්පයක් පමණකි. මේ සම්බන්ධයෙන් නඩේසන් මහතා, 

(අ) මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර කෙටුම්පතට අවධානය යොමුකරවයි. 1980 වෙසක් පුන් පොහෝ දින ශී‍්‍ර ලංකාව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් තබන ලදී. එහි 19 (2) වගන්තිය මගින් ‘‘එහි සියලු දෙනාට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නියම කර  තිබේ. මෙම අයිතියට අන්වේක්ෂන අයිතිය, සීමාරහිතව තොරතුරු  සහ අදහස් ලබාගැනීමේ හා බෙදාහැරීමේ අයිතිය සහ තමන්ගේ තීරණය අනුව කුමන හෝ මාධ්‍යයක් මගින් වාචිකව ලිඛිතව හෝ මුද්‍රිතව තොරතුරු ලබාදීමේ අයිතිය හිමිවේ.

(ආ) හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා ජාතික රාජ්‍ය සභාවේ විරුද්ධ පක්‍ෂයේ සිටින අවධියේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද පති‍්‍රකාවක සහ ඔහු සහ ඔහුගේ නීතිඥවරුන් ව්‍යවස්ථානුකූල අධිකරණයේ ප‍්‍රවෘත්ති මණ්ඩලය මෙසේ කරුණු ඉදිරිපත් කර ඇත. ‘‘සිතීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීම සහ පුවත්පත් නිදහස’’ මාතෘකාව යටතේ පහත පරිදි කරුණු දක්වා ඇත. 

1.1. කතා කිරීමේ නිදහස යන සංකල්පයට ප‍්‍රමුඛතා දෙකක් තිබේ. ඒවා නම් වශයෙන්,

            (අ)   එම සන්නිවේදය නිකුත් කරන ලද්දේ කුමන මාර්ගයකින්ද යන්න,  සහ
           (ආ)   සමහරවිට වඩාත් වැදගත් කරුණ වන්නේ සන්නිවේදන  ලබන්නන් පිළිබඳවය.

යමෙකුගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සීමා වී තිබේ. එමගින් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස අවශ්‍ය ලබන්නා දක්වා දීර්ඝ වේ. ඔවුන් ජනසමූහය නමින් හඳුන්වයි.

1.2.  මහජන මතය උපත ලබන්නේ එය ලබන්නාට ඇති නිදහස මතය. මුද්‍රණාලය එයට දත්ත සපයන අතර එමගින් එම නිගමනයන් ඔවුන්ගේ සම්පුර්ණ ප‍්‍රකාශනය ලබා ගනී. එබැවින් තොරතුරු ලබන්නා වශයෙන් මිනිසාගේ අයිතිය වන්නේ ඔහුට කැමති ප‍්‍රමාණයක් මාධ්‍යයවලින් ප‍්‍රවෘත්ති ලබා ගැනීමය. එබැවින් මුද්‍රණාලයට ද තමන්ට හැකි සෑම මාධ්‍යයකින්ම ප‍්‍රවෘත්ති ලබා දීමේ සම අයිතියක් ඇත. කෙසේ වුවද තොරතුරු මුලාශ‍්‍ර එකකට ඒකාග‍්‍ර වේ. නැතහොත් අංග කිිහිපයකට සීමාවේ. එවිට අදහස් නිර්මාණය වීම සීමා වේ. එවැනි වාතාවරණයක දී ජනතාවට තොරතුරු ලබාදීමේ මාර්ග සීමා කරනවාට වඩා පුළුල් කළ යුතුය. එබැවින් ප‍්‍රවෘත්ති නිදහසට මැදිහත් වීමේ සාධාරණයක් නැත. 

ඉහත දැක්වෙන ආකාරයට විශ්වලිංගම්ට එරෙහි ලියනගේ නඩුව පිළිබඳව විවාදයට ගැනීම්, අදහස්, මතවාද රැසක් ඉදිරිපත් වී ඇත.

"සැටඩේ රිවීව්" දෙමළ පුවත්පත ජාතිවාදී කළබලවලට උරදෙන්නේය යන හේතුව මත තහනම් කළ ද විශ්වලිංගම් නැමැත්තා එතෙක්  තොරතුරු ලබා ගත්තේ සැටඩේ රිවීව් පුවත්පතෙන්වන නිසා පුවත්පත තහනම් කිරීමත් සමග ඔහුගේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය කඩ වී ඇත.

නමුත් අද වන විට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී තිබුණ ද 1983 දී මෙම සිදුවීම සිදු වන කාලයවන විට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ සමාජ කතිකාවතට මුල පිරීමක් හෝ සිදු වී නැත. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබූ දුර්වලතාවයකි. එවක තිබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ලිඛිත වගන්තියක් අන්තර්ගත වී නොතිබිණ. 

එසේම නඩු තීන්දු මගින් නීතිය සෑදූ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම නඩුව ගුරු කොට ගනිමින් තොරතුරු ලබා ගැනීමේ අයිතිය ජනතාවට තිබෙන බව තහවුරු කළේය. ඉන්පසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ භාෂණ ප‍්‍රකාශන අයිතිය පිළිබඳ සඳහන් වූ නිසා එම වගන්තිය අනුව භාෂණයට සහ ප‍්‍රකාශනයට තොරතුරු ලබා ගත යුතුය යන තීරණයට එළඹ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  "සැටඩේ රිවීව්" පුවත්පත තහනම් කිරීම මගින් විශ්වලිංගම්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කඩ වී ඇති බව දක්වමින් නැවත පුවත්පත ආරම්භ කරන ලෙසට තීන්දුව ලබා දෙන ලදී.

👉 භාෂණ ප‍්‍රකාශන අයිතිය හා බැඳුණු වෙනත් රටවල නඩු තීන්දු :

(අ) රජයට එරෙහි කේ. නාරායන්ගේ තීරණය :-

මෙහිදී ඉන්දියානු ව්‍යවස්ථාවේ 19 (1)  වගන්තිය අනුව (අපගේ ව්‍යවස්ථාවේ 14 (1)  අනුරූපතාව) කතා කිරිමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අවබෝධය ලබාගැනීමේ අයිතිය ද ඇතුළත්ව ඇත. පොත් කියවීම, වාර සඟරා කියවීම,  ඕනෑම සාහිත්‍ය ග‍්‍රන්ථයක් කියවීම  සාධාරණ සීමාවන්වලට යටත්වේ. 

(ආ) ජෝජියාවට එරෙහිව ස්ටැන්ලි:-

මෙහි අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ පළමු සංශෝධනය යටතේ කතා කිරීමේ නිදහස සහ පුවතත්පත් තොරතුරු හා අදහස් ලබාගැනීමේ අයිතිය වටකර ඇති බවය. කෙසේ වුවද මෙම අයිතීන් නියත කර නැති බැවිින් වැදගත් යෝග්‍යයතාවලට යටත් වේ. 

මේ සම්බන්ධයෙන් උගත් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා තරයේ කියා සිටින්නේ, නවතා තිබෙන්නේ තොරතුරු ලබන්නාගේ අයිතිවාසිකම්  නොව ප‍්‍රකාශකයාගේ අයිතිය බවය. කියවීමේ අයතිය ගලා යන්නේ ප‍්‍රකාශනයෙනි. පුවත්පත තහනම් කළ බැවින් මුද්‍රණයක් නොවීය. එබැවින් යම් අයෙකු  මුද්‍රණයක් නොමැතිව කියවීමේ අයතිය ලබාගන්නේ කෙසේද? යන අදහස ඔහු මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරයි.

ශිෂ්ඨ  සම්පන්න රටවල කතා කිරීමේ නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ව්‍යවස්ථාවෙහි ගැබ් වී ඇත. එංගලන්තයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ ග‍්‍රන්ථවල සහ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවල මෙවැනි මනෝභාවයන් මෙවැනි මතයන් ගිල්වා ඇත. 


  • සර්  අයිවර් ජෙනිංග්සි ගේ ‘‘කැබිනට් රජය’’ ග‍්‍රන්ථයෙහි 13 වන පිටුවෙහි ‘‘ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම වන විචාර මැසිවිලි කීම සඳහා කතාවෙහි නිදහස නොමැතිව කළ නොහැක” යනුවෙන්  සඳහන් වේ.

(ඇ)  සදර්ලන්ඩ් විනිසුරුවරයා ඇමරිකන් ප්‍රෙස් සමාගමට එරෙහි ග්‍රොස්ජින්:-

‘‘නිදහස් පුවත්පත් රජය හා ප‍්‍රතිග‍්‍රාහකයා අතර අර්ථකථකයා වෙයි. එයට විලංගු දැමීම අප  විසින්ම විලංගු දාගත්තා වැනිය” යනුවෙන් නඩුවේ පවසා ඇත. 



අදහස් හුවමාරු කර ගැනීමට අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය. රජයට නිරාකරණය කිරීම පණිිස ප‍්‍රශ්නයක් ඇති විට දී ඒ සඳහා එක් මතයකට වඩා තිබිය හැක. එබැවින් සියලු අදහස් විමසීම ඉතාමත් සුදුුසුය. පුවත්පතක් යනු නොයෙක් වර්ගයේ අදහස් හුවමාරු කරගැනීමේ වැදගත් මාධ්‍යයක් නම් දායකයෙක් පුවත්පතකට ලබාදෙන විශේෂිත කරුණක් පුුවත්පතෙහි සම්පුර්ණ තහනමක් පවිතිද්දී ඉදිරිපත් කරන්නේ කෙසේද? පුවත්පතක් තහනම් කළ විට එම පුවත්පතේ ක‍්‍රමවත් පාඨකයෙක් කරුණු රැස්කරගන්නේ හා සහ අදහස් ගොඩනගා ගන්නේ කෙසේද? එබැවින් පුවත්පත් නිදහසින් පමණක් සියලු කරුණු සම්බන්ධයෙන් මහජනතාවට වැදගත් නානාවිධ අදහස් සංකල්ප ව්‍යාප්ත කරම්න් නීතියේ නිර්දිෂ්ඨ සීමාවන් තුළ සාධාරණ සාකච්චාවේදී පැවැත්විය හැක. මහජන සාකච්චාව ඒක පාක්‍ෂික කටයුත්තක් නොවේ. සෑම රජයේ අංශයක් මගින්ම මහජන සාකච්චාවට යමක් තත්ත්වාකාරයෙන් දැනගැනීම සහ හඳුනාගැනීමේ ගෞරවය සහ ප‍්‍රගතිය ලබාදිය යුතුවා මෙන්ම පුද්ගලයාගේ  මෙන්ම තොරතුර ලබන්නාගේ ද අයිතිය ආරක්‍ෂා කළ යුතු වේ. එසේ නොවුණහොත් කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසෙහි අගය බොහොමයක් අඩු වනු ඇත.

මාගේ අදහසට අනුව කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම් කියවන්නාගේ නිදහසට ද ඇතුළත් වන බවය. ඒ අනුව පෙත්සම්කරුවන්ට 126 වගන්තිය යටතේ සහන පැතීම සඳහා  නීත්‍යානුකූල තත්ත්ව තිබේ. නමුත් අනෙකුත් මුලික අයිතිවාසිකම් මෙන්ම කියවන්නාගේ මුලික අයතිවාසිකම් ද එම සීමාකිරීම්වලට යටත් වේ. එබැවින් 12 සහ 14 යන වගන්ති යටතේ ප‍්‍රකාශිත හා හඳුන්වා දී ඇති මුලික අයිතිවාසිකම් පාවිච්චි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක  කි‍්‍රයාවට නැංවීම ජාතික ආරක්‍ෂාව පිණිිස හා රාජ්‍ය ආඥාවන්, සෞඛ්‍ය ආරක්‍ෂාව, සදාචාරය අනිත් පුද්ගලයන්ගේ  පොදු සුභ සාධනය පිණිස (හදිසි නීතිය ඇතුලු) නීතියේ නිර්දේශිත සීමා කිරීම්වලට යටත් වේ. එමෙන්ම තොරතුරු ලබන්නන්ගේ මුලික අයිතිවාසිකම් (15) 7 වගන්තියේ  එම සීමා කිරීම්වලට ද යටත් වේ.

කෙසේ නමුත් "සැටඩේ රිවීව්" පුවත්පත තහනම් වීමත් සමග විසුවලිංගම් තමාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කඩ වූවා යැයි ඉදිරිපත් කළ ද 1983 වන විට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ලිඛිතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නොතිබිණ. එනිසා 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 1 (අ) වගන්තියේ සඳහන් භාෂණ ප‍්‍රකාශන නිදහස සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිය අත්‍යාවශ්‍ය වන බැවින් එම පුවත්පත නැවත ආරම්භ කරන ලෙසත් එම පුවත්පතෙහි ජාතිවාදී අදහස් නොමැති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුව ලබා දෙන ලදී.

මෙම කාලයවන විට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ දැනුවත්භාවයක් තිබූ නිසා විසුවලිංගම් පුවත්පත තහනම් කිරීම සම්බන්ධයෙන් මෙවැනි පැමිණිල්ලක් සිදු කිරීම නඩු මගින් නීති සෑදූ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. මෙම නඩුව ගුරු කොට ගනිමින් තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාව සතු බව වෙනත් නඩු තීන්දු හරහා තහවුරු කළේය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාව සතුවන බවත් එයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම 15 (2) සහ 15 (7) යන වගන්ති මගින් මෙන්ම,


  • 1955 රාජ්‍ය ආඥා පනත
  • පාර්ලිමේන්තු වරප‍්‍රසාද පනත
  • මහජන ආරක්ෂණ පනත
  • ආගම් විරෝධී පනත
ආදී පනත් මගින් ද සීමා කිරීම්වලට ලක්ව ඇත.








--චාමලී වනිගසිංහ--
















Tuesday, July 3, 2018

කතුවැකිය...

කතුවැකිය ....

කතුවැකිය යනු ....
පුවත්පතේ කතෘවරයාගේ වාක්‍යයයි. කතෘවරයාගේ ප‍්‍රකාශනයයි. නමුත් කතුවරයා විසින් බලය පවරන ලද ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් හෝ මණ්ඩලයකින් ද කතුවැකිය රචනා කරනු ලැබේ. එසේම පුවත්පතක හෝ කාලීනය ප‍්‍රකාශයට පත් කරන මුද්‍රිත ප‍්‍රකාශයක කර්තෘවරයා හෝ කර්තෘ මණ්ඩලය විසින් කිසියම් මතයක් ඉදිරිපත් කිරීම සඳහා කතුවැකිය උපයෝගී කර ගන්නා බව කියවේ.



යම් අයුරකින් මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කරන පුවත්පතක හෝ සඟරාවක ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් විසින් සිය මතය දක්වන කොටස කතුවැකිය වශයෙන් හැඳින්වේ. 
                                                                       (විකිපීඩියා විශ්වකෝශය)
                        

කර්තෘ මණ්ඩලය සිය මතය දැක්වීමේ දී පුවත්පතක හෝ සඟරාව ප‍්‍රකාශයට පත් කරන  වාරයක් පාසා කාලානුරූපව කතුවැකිය භාවිතයට ගන්නා බව විකිපීඩියා විශ්වකෝෂයේ වැඩි දුරටත් සඳහන් වේ. කාලීන ප‍්‍රස්තුතයක් සම්බන්ධව කර්තෘ මණ්ඩලයේ මතවාදය දැක්වීමට පළ කරන ලියවිල්ලක් වශයෙන් ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂය කතුවැකිය හඳුන්වයි. ප‍්‍රකාශයට පත් වන පුවත්පතක පළවන කාලීන තොරතුරු පිළිබඳ ප‍්‍රධාන කර්තෘවරයාගේ දැක්ම ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක් වශයෙන් ද කතුවැකිය හැඳින්වීමට පිළිවන. 


පුවත්පත් කලාවේ ආරම්භයේ පටන් සම්මතව පැවත එන සාම්ප‍්‍රදායික ලේඛන විශේෂයක් වශයෙන් කතුවැකිය හැඳින්විය හැකිය. කතුවැකිය පුවත්පතක හෝ සඟරාවක හෝ වෙනයම් වාර ප‍්‍රකාශනයක දී  කතුවරයෙකු විසින් ලියනු ලබන හෝ කතුවරයාගේ මතය නියෝජනය කරමින් ලියනු ලබන මත ප‍්‍රකාශනයකි. ජාතික පුවත්පතක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හෝ සමාජ දෘෂ්ටිය හෙලි කරන්නේ කතුවැකියෙනි. එය පුවත්පත ගමන් ගන්නා මාර්ගය මේ යැයි හෙලි කරනු ලබයි. 

👉 කතුවැකි භාෂාවේ නිර්මාණශිලී ලක්ෂණ:

පුවත්පත් භාෂාව විවිධාංගීකරණයට ලක් වූවකි. පුවත්පතේ ලේඛන ආකෘති සහ විෂය අන්තර්ගතයන්ට අනුව එහි භාෂා ලක්ෂණ වෙනස් වේ. ඒ අනුව පුවත්පතක දැකිය හැකි මූලිකාංග වෙන් වෙන් භාෂා ලක්ෂණ ප‍්‍රකට කරනු ලබයි. නිර්මාණශීලී ලේඛකයෝ සාම්ප‍්‍රදායික ලේඛන ආකෘතියේ නොසිට සූක්ෂ්ම ලෙස භාෂා රටා වෙනස් කරති. ඒ සඳහා ලේඛකයාට මනා ලෙස බස හැසිරවීමේ පරිචයක් හා සමාජ ඥානයක් අවශ්‍ය වේ. 

පුවත්පතක කතුවරයාගේ ප‍්‍රකාශනය වන කතුවැකියට සෙසු පුවත්පත් ලේඛන ආකෘතින්ට වඩා ඉහත කියමන අදාළ වේ. එනම් පුවත්පතෙහි අනන්‍යතාවෙහි, ගමන් මගෙහි කැඩපතක් බඳු කතුවැකිය නිර්මාණශිලි වූ දාර්ශනික ලේඛනයක් විය යුතුය. එහි දී කතුවැකියේ භාෂා භාවිතය සහ ආඛ්‍යානය සුවිශේෂී වේ. 
කතුවැකි භාෂාවේ නිර්මාණශීලි ස්වරූප පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මූලික වශයෙන් කතුවැකිය දෙඅංශයක් යටතේ හඳුනාගත හැකිය. 

  • කතුවැකියේ ආකෘතිය
  • කතුවැකියේ අන්තර්ගතය


👉 කතුවැකියේ ආකෘතිය :

ආකෘතිය යටතේ කතුවැකියේ බාහිර ස්වරූපය පිළිබන්දව අවධානය යොමු කෙරේ. ඒ අනුව පුවත්පතේ කර්තෘවරයා හෝ ඔහු විසින් බලය පවරන ලද තනි පුද්ගලයෙක් හෝ මණ්ඩලයක් විසින් කතුවැකිය රචනා කරනු ලබයි. සමකාලීන සමාජ ප‍්‍රස්තුතයක්, සමාජය තුළ පැවතුන දෙයක්, අනාගතයේ සිදු වී යැයි අපේක්ෂිත  දෙයක් කතුවැකිය සඳහා විෂය වේ. බොහෝවිට ජනමාධ්‍ය තුළ වාර්තා වූ  සිදුවීමක් ඇසුරෙන් කතුවැකිය නිර්මාණය විය හැකිය. 

ඇතැම්විට සමාජයේ කිසිවෙකුටවත් හසු නොවන, විෂය නොවන සිදුවීමක් කතුවැකිය සඳහා තේමා වීමට පිළිවන. සමාජ ගැටඵවක ස්වාභාවය විවරණය කිරීම, එහි ආදීනව පැහැදිලි කිරීම, එයට විසඳුම් යෝජනා කිරීම, යහපත් මානුෂීය කටයුතු සඳහා ප‍්‍රසාදය පළ කිරීම, සුබ පැතීම, සමාජයට නිසි මග පෙන්වීම, අනාගතයේ සිදු විය හැකි ඉෂ්ට අනිෂ්ට ක‍්‍රියා විවරණය කිරීම යනා දී අභිප‍්‍රායන් පෙරදැරිව කතුවැකියක් රචනා විය හැකිය. ඉහත සියලූ ක්ෂේත‍්‍රයන්හි තේමා කතුවරයාගේ සහ පුවත්පතේ දෘෂ්ටියෙන් ජාතික වැදගත්කමකින් යුක්තව සමාජ, ආර්ථික, සංස්කෘතික මානයකින් කතුවැකිය තුළ සාකච්ඡා කෙරේ.

ඕනෑම පුවත්පතක කතුවැකිය පළවීම සඳහා නියමිත ස්ථානයක් තිබේ. බොහෝවිට මෙය පළවන්නේ පුවත්පතේ ප‍්‍රධාන පිටුවෙහිය. මෙය පුවත්පතේ මැද කොටසෙහි ද පිහිටා ඇත. ඇතැම් අවස්ථාවන්හි දී පුවත්පතේ මුල් පිටුවෙහි වුව ද කතුවැකිය පළවිය හැකිය. ප‍්‍රධාන තේමාවට අදාළව ගොඩනගා ගන්නා ආඛ්‍යානය ඔස්සේ පියවර කිහිපයක් යටතේ කතුවැකිය ඉදිරිපත් කෙරේ. කතුවැකිය අවසන් වන්නේ පුවත්පතේ දෘෂ්ටියට හා ප‍්‍රතිරූපයට අනුව සියල්ල සමාලෝචනය කිරීමෙනි. ඒ අනුව කතුවැකියේ නිර්මාණශීලි බව උදෙසා එහි ආකෘතික ලක්ෂණ ඉවහල් වේ.


👉 කතුවැකියේ අන්තර්ගතය :

කතුවැකියේ අන්තර්ගතය යටතේ එහි ආඛ්‍යානය, භාෂා ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කෙරේ. යම් තේමාවක් ඉදිරිපත් කිරීම සඳහා උපයුක්ත භාෂාව නිර්මාණශීලිව භාෂාව ගොඩනැංවීමේ රටාව, නිර්මාණශීලීව භාෂා උපාංග භාවිත කිරීම පිළිබඳ කතුවැකියේ අන්තර්ගතය විශ්ලේෂණයෙන් හඳුනාගැනීමට පිළිවන.

පාඨක අවධානයට ලක්වන පරිදි නිර්මාණශීලීව කතුවැකියක් රචනා කිරීම කතුවැකි රචකයා මතම තීරණය වන සාධකයකි. නිර්මාණශීලී කතුවැකි රචනාවක් වූ කලී දර්ශනයෙන් හා භාෂා ගුණයෙන් පෝෂණය වූවකි. මෙහිදී රචකයා අන්තර් සංස්කෘතිකමය වශයෙන් ලබන ශික්ෂණය වැදගත් වේ. පුරාතන නූතන භාෂා සම්ප‍්‍රදායන් මෙන්ම ඒවායෙහි නව ප‍්‍රවණතා පිළිබඳව කතුවැකි රචකයාට ප‍්‍රමාණවත් අවබෝධයක් පැවතිය යුතුය. එසේම භාෂාව සහ සංස්කෘතිය, ජනවහර හදාරා තිබීම ද වැදගත් වේ. භාෂාව ගොඩනැංවීමේ රටාවක් සේම බස හැසිරවීමේ වියරණ රීති ද හඳුනාගෙන තිබීම නිර්මාණශීලි කතුවැකි රචකයෙකුට අවශ්‍ය වූවකි. 

කතුවැකිය (Editorialපුවත්පතේ විශේෂාංග යටතේ පළ කරනු ලබන ප‍්‍රධාන රචනා විශේෂයකි. දේශීය විද්වතුන් කතුවැකිය විවිධාකාරයෙන් අර්ථ ගන්වා ඇත. කතුවැකිය යනු සමාජයට හානිකර වූ තත්ත්වයක් පිළබඳ වේගවත්ව ලියන ලද ප‍්‍රහාරාත්මක රචනයක් හෝ කිසියම් විශේෂ වූ සිදුධියක් පිළිබඳව මහාචාර්ය තිස්ස කාරියවසම් ප‍්‍රකාශ කරයි. ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කරන පරිදි කතුවැකි ලිවීම සම්බන්ධයෙන් පිළිගත් උපදේශක නීති ද ඇත. ඒවා නම් රචනාවට මාතෘකා වුණු විෂය ගැන හොඳින් සිතා බැලීම, දෘෂ්ටිකෝණයේ ස්ථාවරභාවය, වේගවත්ව කලම්බන්නට පුළුවන්කම තිබීම, සම්භාවනීය හා අධිකාරීත්වයක් තිබීම යනාදියයි.

                      පුවත්පත් කලාවේ ආරම්භයේ පටන්ම මෙම ලියවිල්ල සම්මතව පැවත ආ සාම්ප‍්‍රදායික ලේඛන                       විශේෂයක් විය. ජාතික පුවත්පතක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හෝ සමාජ දෘෂ්ටිය කතුවැකිය තුළින්                         හෙලි කරන නිසා බොහෝ විට එම පුවත්පත ගමන් ගන්නා මාර්ගය මේ යැයි කතුවැකිය තුළින්                        හෙලි කරනු ලැබේ.

යනුවෙන් ‘සන්නිවේදන ශබ්දාකරය’ කෘතිය කතුවැකිය පිළිබඳව තව දුරටත් විග‍්‍රහ කරයි.

කතුවැකිය සංක්ෂිප්ත ලේඛනයකි. මේ නිසා කතුවැකියේ ප‍්‍රබලත්වය කැපී පෙනේ. කිවයුතු දේ ඉතාමත් කෙටියෙන් කීම මෙමගින් සිදු කරනු ලැබේ. එමනිසා යොදා ගන්නා බස් වහර සරලය. භාෂාවේ ව්‍යක්ත බවක් දැකිය හැකි අතර  වනිගාසිංහකෙටි වැකිවලින් අදහස් ප‍්‍රකාශ කරයි. කතුවැකියේ ස්වරූපයට ගැළපෙන පරිදි වචනවල නියම අර්ථය දැක්වෙන බස් වහරක් කතුවැකිය සඳහා යොදා ගැනීමට කර්තෘවරයා හැම විටම සැලකිලිමත් වේ. එහෙත් දීර්ඝ වාක්‍යයක් භාවිත කරමින් වුව ද තම අදහස නිරවුල්ව වුව ද ප‍්‍රකාශ කිරීමේ හැකියාවකින් යුක්ත කතුවරුන් මෙරට සිටි බවට කොතෙකුත් නිදසුන් ඇත.

--චාමලී වනිගසිංහ--

Monday, July 2, 2018

පිළිකාවෙන් වැළකෙමු......

පිළිකාවෙන් වැළකෙමු........

විශේෂයෙන්ම මෙම රෝගය බටහිර රටවලට ව්‍යාප්ත වීම වැඩි වශයෙන් දක්නට ලැබේ. වර්තමානයෙහි මෙම රෝගයෙහි සීඝ්‍ර වර්ධනයට ප්‍රධාන හේතුවක් ලෙස කිසිදු පාලනයකින් තොරව කෘතිම රසායනික පොහොරයොදා සකස් කළ ආහාර භාවිතය, අධික මේදය සහිත ආහාර (විශේෂයෙන්ම සත්ත්ව මේදය) වඩා පවිත්‍ර හා පිරිසැකසුම් කළ ආහාර (නිවුඩ්ඩ ඉවත් කළ සහල්, රළු  කොටස් ඉවත් කළ සිනි), කල් තබා ගැනීමේ අරමුණින් විවිධ ලුණු වර්ග එක් කල ආහාර, එනම් නයිට්‍රයිට හා නයිට්‍රේට, විවිධ කෘතිම වර්ණ කල රසකාරක හා උත්තේජක යෙදු ආහාර, ආහාර කර්මාන්තයේ භාවිත කරන වෙනත් කෘතිම රසායනික ද්‍රව්‍ය යෙදු ආහාර, දිලිර හා වෙනත් ක්‍ෂුද්‍ර ජීවින් අඩංගු ආහාර, කෘමිනාශක හා වෙනත් විවිධ කෘෂි රසායනික ඇති ආහාර භාවිතය මේ සදහා හේතුවී ඇති බව දැන් සොයා ගෙන ඇත. 




👉 පිළිකා ඇති වීමට බලපාන හේතු:
  •  අධික දුම්කොළ භාවිතය
  • අධික මත්ද්‍රවය භාවිතය
  • රැකියා ආශ්‍රිත හේතුන් 
  • පරිසර දූෂණය ආශ්‍රිත හේතුන් 
  • ඖෂධවල බලපෑම
  • විකිරණ වල බලපෑම
  • දීර්ග කාලීන ආසාදන
  • ප්‍රතිශක්ති ඌණතා
  • ප්‍රවේණිගත තත්වයන්



පිළිකාව අද අසන්නට ලැබෙන රෝග අතුරින් ප්‍රධාන වුවකි. පිළිකා යන වචනය පවා ඇසීමට බෝහෝ දෙනෙකු බිය වෙති. මිනිසුන් එය දකින්නේ රෝගය වැලඳිමෙන් මරණය නියත බව හා වේදනාකාරී අංගවිකල වෙන විකෘති රෝගයක් ලෙසයි. නමුත් ඇත්තටම බොහෝ දෙනෙක් මෙම රෝගයට ගොදුරු වන්නේ නොසැලකිලිමත් බව සහ නොදැනුවත්කම නිසාය. ගමේ සදහා නියමිත කාලයේ දී ප්‍රතිකාර කරන්නේ නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. බොහෝමයක් පිළිකා සහමුලින්ම සුව කළ හැක. නමුත් මේ පිලිබඳ මිනිසුන්ට ඇති දැනුම අවම වීම නිසා රෝගයෙන් මිය යන ප්‍රමාණය වැඩි වී ඇත. මෙනිසා මෙය කල් තබා හදුනා ගැනීම වැදගත්ය. ඇතැම් පිළිකා වර්ග බොහෝ කාලයක් ශරීරය තුළ තිබී හදිසියේම ශිඝ්‍රයෙන් ව්‍යාප්තව රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි. අතට අසුවන තරමේ සෙ.මී. 01 ක පමණවු ඉතා කුඩා පියයුරු පිළිකාවක් පවා මිලියන 500ක පමණ පිළිකා සෛල ඇති බව සොයා ගෙන ඇත. එම සෛල මගින් ආසන්න පටක වගේම දුරස්ථ ස්ථානවල පටක පවා නතු කරගෙන පිළිකාවේ ද්විතික අවස්ථාවන් ඇති කරයි. ඒ නිසා ප්‍රතිකාර හැකි තරම් ඉක්මන් කිරීම වැදගත්ය. ප්‍රතිකාර  කළ හැකි පිළිකාවක් වුණත් කල් ගත වුණොත් අසාධ්‍ය තත්ත්වයට පත් විය හැක.

                🙍 කල් අල්ලා පවතින කැස්සක් හෝ කට හඬ වෙනස් වීමක

                🙍 සුව නොවන තුවාලයක්

                🙍 ගැටයක ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස් වීමක් හෝ සීඝ්‍ර වර්ධනයක්

                🙍 පියයුරුවල හෝ අන් තැනක ගැටයක් හෝ ඝන වීමක්

                🙍 යෝනි මාර්ගයේ අකුමවත් ලේ වහනයක් හෝ ස්‍රාව වහනයක්

                🙍 මළ හෝ මුත්‍රා පහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ මළ සමග ලේ පහවීමක්

                🙍   කල් අල්ලා පවතින අජීරණ තත්වයක් හෝ ගිලීමේ අපහසුවක් වැනි කරුනක් ඇති වුවෙහාත්                            ඒ  ගැන සැලකිලිමත් වීම වැදගත්ය.

එක් එක් පුද්ගලයාට අනුව පිළිකාවක් විවිධාකාර වේ. පිළිකා සදහා ප්‍රතිකාර කිරීමේ දී එහි අවස්ථා හදුනා ගැනීම ඉතාමත් වැදගත්ය. පිළිකාවේ සියුම් කොටස් කපා පරික්‍ෂා කිරීමෙන් හා පිළිකා සෛල පැතීරී යන පටක පරික්‍ෂා කිරීමෙන් හෝ පිළිකා ග්‍රන්ථි කපා පරික්‍ෂා කිරීමෙන් ප්‍රතිකාර සදහා පදනම සකසා ගත හැක.

👉 පිළිකා වලක්වා ගැනීමට නම්....
  • කිරණ ජායා රූප ක්‍රම ( X -Ray/ Barium Enema/ Mammography)
  • ස්කෑන් ක්‍රම    MRI / CT / US Scanning )
  • ශරීරෙයේ අභ්‍යන්තර අවයවයන්හි කුඩා කොටස් පිටතට ගෙන පරීක්‍ෂා කිරීම (Endoscopy/ Colonoscopy)
  • ද්‍රව තරල පිටතට ගෙන පරීක්‍ෂා කිරීම Bone Marrow Biopsy FNAC ) වැනි පරීක්‍ෂණ මගින් පිළිකා කල් තබා හදුනා ගත හැක.

මීට අමතරව,

  • දුම්කොළ, දුම්වැටි හා අධික මත් පැන් භාවිතය අවම කිරීම.
  • පළිබෝධනාශක, රසකාරක, වර්ණකාරක හා කෘතිම දෑ රහිත ස්වාභාවික එළවළු සහ පළතුරු ආහාරයට එක්කර ගැනීම.
  • ප්‍රමාණවත් ව්‍යායාම සහ ක්‍රියාශීලි ජීවන රටාවක් අනුගමනය කිරීම.
  • සැහැල්ලු මනසකකින් දිවි ගෙවීම.
  • නිවැරදි ලිංගික චර්යා අනුගමනය.
  • අවුරුදු 35 ඉක්ම වු කාන්තාවන් පැප් පරීක්‍ෂණය සදහා යොමු විම.
  • ස්වයං මුඛ සහ පියයුරු පරීක්ෂා කර ගැනීම.


පිළිකාවක් යනු සිරුරෙහි ඇති සෛල කාණ්ඩයක ඇතිවන රෝගී තත්ත්වයකි. මෙහිදි එම අදාල සෛල කාණ්ඩය එහි සාමාන්‍ය විභේදන සීමාවෙන් ඔබ්බට පාලනයකින් තොරව වර්ධනයක් පෙන්නුම් කරන අතර එම සෛල අවට ඇති පටක වෙතට ආක්‍රමණශීලි ලෙස ව්‍යාප්ත වීමෙන් ඒවා විනාශ කරන අතරම සිරුරෙහි වෙනත් ස්ථාන වෙත වස‍ා පද්ධතිය හෝ රුධිරය මගින් පිළිකා සෛල ව්‍යාප්ත කෙරේ. ඉහත කී ලක්ෂණ තුන මගින් පිළිකාවක් පිළිකාවක් නොවන වර්ධනයකින් වෙන්කර ගත හැකිය. පිළිකාවක් නොවන වර්ධනයක් එයට සීමා වන අතර අවට ඇති පටක වෙත ආක්‍රමණශීලි නොවන අතර සිරුරේ වෙනත් ස්ථාන වෙත එම සෛල ගමන් කිරීමක් සිදු නොවේ. බොහෝ පිළිකා‍ අවස්ථාවලදී ගෙඩියක් වැනි වර්ධනයක් පෙන්නුම් කරන අතර ලියුකේමියාව වැනි පිළිකාවන්හි දී එසේ වීමක් සිදු නොවේ.

පිළිකාවන් සියළුම වයස් කාණ්ඩවලට ඇති විය හැකිය. නූපන් කළලයකට පවා‍ පිළිකාවක් ඇති විය හැකිය. නමුත් වයස් ගත වීමත් සමගම පිළිකා ඇති වීමේ අවධානම හා බහුලතාවය ඉහළ යයි. පිළිකාවන් මගින් සියලුම මරණවලින් සියයට 13 කට වග කියනු ලැබේ. ඇමරිකානු පිළික‍ා සංගමය මගින් කළ අධ්‍යයනයකට අනුව වසර 2007 දී ලොව පුරා පිළිකා නිසා සිදු වු මරණ සංඛ්‍යාව මිලියන 7.6 කි. මිනිසුන්ට හැරුණු කළ සතුන්ට හා ශාක වලටද විවිධ වර්ගයේ පිළිකාවන් ඇතිවිය හැකිය.

ආසන්න වශයෙන් සියළුම පිළිකාවන් ඇති වනුයේ, වෙනස් වු ‍සෛල වල න්‍යෂ්ටික ද්‍රව්‍යයන් හි ඇති වන අසාමානතාවයන් නිසාය. මෙම අසාමාන්‍යතා ඇති වීමට හේතු වනුයේ සිගරට් දුම, විකිරණ, රසායනික ද්‍රව්‍ය හෝ රෝග කාරක වැනි පිළිකා‍ කාරකයන්ය. වෙනත් පිළික‍ා ඇති කිරීම වේගවත් කරන ජානවල අසා‍මාන්‍යතා ඩී.එන්.ඒ. වල බෙදීමේ දී අහඹු ලෙස උරුම වන අතර ඒවා උපතේ දී සියලුම සෛල තුළ දක්නට ලැබේ. පිලිකා කාරක සහ ජානමය ද්‍රව්‍ය අතර ඇති වන සංකිර්ණ අන්තර් ප්‍රතික්‍රියා මගින් ඇතැම් පුද්ගලයින් පමණක් එම පිළිකා‍ කාරකවල‍ට නිරාවරණය වීමෙන් අහිතකර බලපෑම්වලට ලක්වන්නේ කුමන හේතුවක් නිසා ද යන වග විස්තර කරයි. ඩී.එන්.ඒ. මෙතිල්කරණය සහ ක්ෂුද්‍ර ආර්.එන්.ඒ යන පිළිකා ඇති කිරීමට තුඩු දෙන ජාන විද්‍යාවේ නවතම සොයාගැනීම් වැදගත් සංකල්පයක් ලෙස ඉහළ වටිනාකමක් ගනී.

පිළිකාවල දක්නට ලැබෙන ජාන විකෘතිතා ප්‍රධාන ජාන වර්ග දෙකකට අයත්වේ. පිළිකා‍ ඇති කිරීමට උපකාරීවන පිළිකා ජාන (Oncogenes) පිළිකා සෛල තුළ බොහෝ විට ක්‍රියාකාරීව පවතී. මෙමගින් එම අදාල සෛල වෙත වේගවත් වර්ධනය සහ විභේදනය ඇති කිරීම, ස්වාභාවිකව සිදුවන සෛල මරණයට එරෙහි ආරක්ෂාවක් ලබාදීම, සාමාන්‍ය පටක සීමාවන් වෙත රැදිසිටීමේ හැකියාව අවම කිරීම සහ විවිධ සෛල වටපිටාවන් කරෙහි ප්‍රශස්ථ ලෙස ස්ථාපිත වීමට හැකියාව ලබාදීම යන නව ගුණාංගයන් ලබාදී ඇත. අනෙක් ජාන වර්ගය වන පිළිකා මර්ධන ජානය මෙකී සෛල තුළ අක්‍රීයව පවතී. එමගින් එම සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අහිමි වේ.

            උදා- නිවැරදි ඩී.එන්.ඒ. විභේදනය, සෛල චක්‍රයෙහි පාලනය, අනෙක් සෛල හා පටක  කෙරෙහි එම                   සෛලවල සකස් වීම සහ ප්‍රතිශක්ති කරණ පද්ධතියේ ආරක්ෂිත සෛල සමග ඇති වන  ප්‍රතික්‍රියා                     

පිළිකා අනතුරු සංඟ පිළිබද නිතර අවධානයෙන් සිටීම සහ එවැනි විටක වෛද්‍ය උපෙෙදස් ගැනිම වැනි පුරුදු මගින් පිළිකා රෝගය පමණක් නොව  හෘද රෝග, දියවැඩියාව වැනි රෝග ද වලක්වාගත හැක.


--චාමලී වනිගසිංහ--

Sunday, July 1, 2018

උත්තුංග වු පිය සෙනෙහසට තිතක් නොව කොමාවක්

උත්තුංග වු පිය සෙනෙහසට තිතක් නොව කොමාවක්,,,,

සාහිත්‍යකරුවන් අතර දැකිය හැකි සුලබ ප‍්‍රවණතාව වන්නේ ව්‍යවසනකාරි සමාජ අවස්ථාවන්, පීඩාවට පත් ජන කොටස්, මංකොල්ලකරුවන්, ගණිකාවන් වැනි අපගාමිකයින් උද්දීපනය කොට එක්තරා සමාජ සත්‍යතාවක් මතු කරීමයි. වේගයෙන් සමාජ සංචලතාවට බඳුන්වන සමාජය එම  වෙනස්වීම් හමුවේ බිඳ වැටෙන ජිවිත හා කඩා වැටෙන ආයතන යලි නගා පිහිටුවීමේ සාහිත්‍යයික ක‍්‍රමෝපායන් නූතන කලා විචාරකයින්ගේ අවධානයට පාත‍්‍ර වීම වඩාත් යහපත් සමාජ පරිසරයක සහනදායි,  සහනශීලි මිනිසුන් නිර්මාණය කිරිමට අවශ්‍ය පසුතලය සැපයිමයි.
නවිකරණ ක‍්‍රියාවලිය හේතුවෙන් අපගෙන් දුරස්ථව යන ඇගයීම් පද්ධති යම් ප‍්‍රමාණයකට හෝ සමාජ දේහයේ රදා පවත්වා ගැනීමට සාහිත්‍යකරුවාට යම් මෙහෙයක් කළ හැකිය. එසේම සොබා දහම හා මිනිසා අතර හෘදයාංගම ගණුුදෙනුව ඇති වී ඇති පරතරය අවම කිරිමට සාහිත්‍යකරුවෙකුට විශාල මෙහෙවරක් කිරිමට ද අවකාශ උදා වී තිබේ. සමාජ ක‍්‍රියාවලිය හා ඉන් අත්විය හැකි ප‍්‍රතිඵල ගැන සිංහල සාහිත්‍යකරුවෝ සවිඥානිිකව සිටිත් ද ? ඔවුන්ගේ නිර්මාණවල මේ සමාජ චල්‍යතා ප‍්‍රතිරාව දෙන්නේ් ද ? ඔවුන් මේ වෙනස්විම් ග‍්‍රහණය කොට ඇත්තේ කුමන ස්වරූපයෙන් ද ඔවුුන් ග‍්‍රහණය කොටගත් සමාජ යථාර්තය සෞන්දර්යාත්මකව, සත්‍යවාදීව සන්නිවේදනය කොට ඇත්තේ කෙසේ ද යන්න සුනිල් එදිරිසිංහ විසින් ගායනා කළ රත්න ශ‍්‍රී‍්‍ර විජේසිංහයන් විසින්  පබැදුණු නිදර්ශණයක් ඇසුරින් විද්‍යමාන කළ හැකිය.

                        චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ
                        මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
                        පාන නිවුණ සේ පාළුයි ලැයින් කාමරේ
                        මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

                                   ලාබ රත්තරං දිලිසෙන පාළු වීදීයේ
                                   ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
                                  උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
                                  අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ

                         මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
                         මාල ගිරවු ගේ දොරකඩ සිංදු කිවු වෙලේ
                         හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ
                         පාර මතකනම් තාමත් ගේ ළඟයි දුවේ....

බැලූ බැල්මට මෙය සරල ගීතයක් ලෙස පෙනුන ද වැදගත් සමාජීය කරුණක්, සමාජ යථාර්තයක්, සමාජ සත්‍යතාවක් මේ තුළ ගැබ් වී ඇත. ඈත අතීතයේ සිංහල ජන සම්ප‍්‍රදායි හා බැඳුණු සංස්කෘතිය, සමාජ සාරධර්ම, සිරිත් විරිත් නවීකරණය හමුවේ දෙදරුම්කෑමකට ලක් වි හමාරය. අතීත සදාචාර සම්පන්න ආචාර ධර්ම රටාවකට අනුව පෝෂණය වු විවාහය අද වන විට සිදු වන්නේ සියළු සමාජ සන්තාපයන් පසෙකලා තරුණ තරුණියන්ගේ අභිමතය පරිදිය. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි  යන චතුර්විධ සංකල්පයෙන් පෝෂණය වු හෙළ සංස්කෘතියේ විවාහය සිදු වුයේ දෙමාපියන්ගේ ආශිර්වාදය, සොබාදහමේ ආදර්ශය ලබමින් චාරිත‍්‍රානුකුලවය. එයට කදිම නිදසුනක් ලෙස,

                                     කුලගෙදරින් දුම්බර කඳුවැටියේ පතිකුලයට අද
                                     කැන්දන් එනවා දුම්බර මැණීකේ
                                     මනුකුල සිරිතට පති කුලයට අද
                                     කැන්දන් එනවා දුම්බර මැණීකේ ............
                                    වාසනාවන් ............ හරි වාසනාවන් .............
                                    වාසනාවන් ............ හරි වාසනාවන් .............

අතීත සම්ප‍්‍රදාය තුළ මෙවන් විවාහ සිදු වුයේ දෙමාපියන්ගේ මග පෙන්වීම් ඔස්සේය. පතිව‍්‍රතාව වු කල්හී අතීත සමාජය තුල ගැහැනියකගේ පවිත‍්‍රතාවේ කැඩපත බඳුවිය. එම නිසා මනුකුල සිරිතට අනුව මෙම විහාහය සිදුකරමින් දෙමාපියන් නෑදැ හිතවතුන් පමණක් නොව සොබාදහම ද වාසනාව, සශ‍්‍රීකත්වය, සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරයි.

නමුත් නවීකරණය හමුවේ දොරට වැඩි නව මාධ්‍ය සංස්කෘතිය නිසාම අද වන විට අත්තනෝමතිකව සිදුකර ගන්නා විවාහ කොතෙකුත් අධ්‍යතනය වන විට අපට අසන්නට දකින්නට ලැබේයි. දස මසක් කුස දරා තුනුවගෙහි රුධිරය කිරට හැරවු මවටත්, මහමෙරක් තරම් ආදරය සෙනෙහස හද පතුලේ හුවාගෙන, ඇති දැඩිකල පියාටත් අනේකවිද දුක්ඛ දෝමනස්නයන් ලබා දී නොදැමුණු ලෙසින් පේ‍්‍රම සම්බන්ධතා ඇති කොටගෙන ජීවීතයේ විදීන්නට ඇති සතුට විඳවීමක් බවට පත් කරගත් දියණි වරුන්ගේ, පුතණුුවන්ගේ දුක්ඛිත කතා කොතෙකුත් ඇත.

නවීකරණ කි‍්‍රයාවලියත් සමග අපගෙන් සෑහෙන දුරස්ව ගොස් ඇති දෙයක් නම් සොබාදහම පිළිබද සංවේදීතාවයයි. මිනිසා සොබාදහමට එරෙහිව කටයුතු කිරීමේ අනිෂ්ඨ ප‍්‍රතිඵල ඇස්පනාපිට අත්දකිමින් සිටින යුගයක් ලෙස මේ යුගය හදුන්වා දිය හැකිය. සම්ප‍්‍රදායික සමාජයේ සමාජ හර සියල්ලම පාහේ ගොණු වී පැවතියේ සොබාදහමට එකග අන්දමටයි. එසේ වුවත් නුතන යාන්ති‍්‍රක යුගයේ සොබා දහමේ සියල්ලටම මූල්‍යමය වටිනාකමක් හිමිව ඇත. මිනිසෙකු සතුව පවත්නා මානුෂිකත්වය අපට මිල කළ හැකිද? නමුත් අධ්‍යතනය වන විට මිනිසත්කම රුපියල් සත වලට අභියෝග කොට හමාරය. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් විඳිමින් ආදරණිය මැණියන් සහ පියාණන් තම දරුවන් පෝෂණය කරනුයේ අහිංසක දහසකුත් බලාපොරොත්තු කරපින්නාගෙනය. නමුත් ජිවිතයේ මිල කල නොහැකි වටිනාම බුදුවරුන් වැනි දෙමාපියන්ගේ ජීවිත කඳුළින් පුරවා දියණිවරුන් අත්තනෝමතිකව විවාහයන් සිදු කිරිම, විශ්වාභිමුඛ ලෝකයේ සුලභ අත්දැකිම් මාලාවට එක් වි හමාරය.

සාර්ථක පවුලක් උදෙසා දරුවන් සඳහා දොමාපියන් විසින් කළ යුතු කාර්යයන් ගණනාවක් වේ. එනම් මවගෙන් සහ පියාගෙන් දරුවන්ට යහපත් මගපෙනවීමක් ලැබිය යුතුය. දියණිවරුන්ට, අම්මාවරුන්ගෙන් තම ජීවිත ගමන සාර්ථක කර ගැනීමට ලබා ගත හැකි දායාද බොහෝය. අම්මා යන අකුරු ත‍්‍රිත්වය තුළ ගැබ්ව ඇති ගුණ දහම් සාගරය විශ්වකෝශයක් බඳු වේ. අම්මාගේ ගුණ කීමට සිංහල හෝඩිය තුළ අක්ෂර ද ප‍්‍රමාණවත් නොවන තරම්ය. බිහිවුවත් කොතරම් අමරණීය පෙම් අන්දර අප විශ්වතලය තුළ කෙදිනකවත් අම්මාගේ සෙනෙහසට දෙවෙනි කරන්නට තරම් සෙනෙහසක් උත්පාදනය විය නොහැක. තම දරුවන්ට වරදින සෑම අවස්ථාවකම ළගින්හිඳ සවිමත් කරන්නට නොමියෙන පහනක් ලෙසින් තම දරුවාගේ මුලු විජිතයම රජ කරවන්නට, අලෝකමත් කරන්නට දැයේ දහසකුත් මව්වරු අනෙක විධි දුක්ඛ දොමනස්සයන් විඳිති. විඳවති. එහෙත් අම්මා නොමැතිව දරුවන් රැක බලා ගන්නට කොතරම් අසීරුද ? ජීවිතයේ සියලු හර පද්ධතීන් අතැඹුලක් කරමින් අම්මා තම දරුවන්ගේ ජිවිත සුචිත මුදිත කරනුයේ, ජීවිතය නම් වු විශ්වය තරණය කිරිමට ශක්තියක් වෙමිනි. එහෙත් මව අහමි වූ කල්හි දරුවන්ටත්, පියාටත් අත්වන ඉරණම කවර ආකාර වේද ?

ගහට පොත්ත සේ, මුහුදට රළ සේ, ඉරට චන්ද්‍රයා සේ බැඳී පිහිටියා වු තම ශක්තිය මිය ගිය කල්හි පියෙකු තම එකම දියණිය අනේක විධ දුක් ගැහැට විඳිමින්, දහදිය වගුරවමින් පෝෂණය කර අවසානයේ එම දියණිය තම සෙනෙහෙබර පියාණන්ටවත් නොකියා ජිවිතයේ වැදගත්ම තීන්දුව නොවැදගත්ම අයුරින් ගත් ආකාරය පිළිබඳ ශෝකාලාපයක් සුනිල් එදිරිසිංහ මනාව වා තලයට යොමු කරයි. චන්ද්‍ර මණ්ඩලේ ගීතය තුළ ගැබ්ව ඇත්තේ ගාල්ල ප‍්‍රදේශයේ සිදු වු සත්‍ය සිදුවීමකි. මෙම දියණියගේ මව කුඩා කාලයේදිම රෝගාතුර ව මිය යයි. එතැන් පටන් දියණියට මව වුයෙත් පියාණන්මය. විශ්ව ශක්තිය සේ බැඳි  සිටියා වු තම එකම පතිනිය මිය ගිය කල්හී මෙම දියණිය පෝෂණය කරීමට පියාණන් දහඩිය වගුරුවමින් අති විශාල දුක්ඛිත කර්යන් සිදු කරයි. නමුත් මෙම දැරියගේ මව දියණිය මෙලොවට බිහි කරද්දී කොතරම් බලාපොරොත්තු සිත තුළ පොදි බඳින්නට ඇත්ද? මල් කැකුළ නැති වී මලක් පිපෙන්නා සේ මල පරවි ගෙඩියක් හට ගන්න සේ, මේරූ ගෙඩියක් වැනසී අංකුරයක් හට ගන්නා සේ මරණයට මුහුණ දෙමින් මව් කෙනෙකු දරුවෙකු බිහි කරයි.

චන්ද්‍රමණ්ඩලේ ගීතයට කථාවස්තු වූ කථාංගයේ දියණියට මව අහිමිවීම, ඇයගේ ජීවිතයේ ලද උත්තරීතරම රැජින අහිමි වීමකි. තම දියණිය මෙලොවට බිහිකරන විට දැණුනු වේදනාව, මිහිරි සෙත් කවියක් සේ සිතමින් තම සිඟිති දියණිය දුටු පසු මව අප‍්‍රමාණික සතුටක් ලබන්නට ඇත. ඇය ඉපදුන දින පවිත‍්‍ර යුවතියක සේ මනුකුල සිරිතට අනුව යුග දිවියකට ප‍්‍රවිෂ්ඨ කරවීමට සිත්හී රූවා ගන්නට ඇත. නමුත් නොසිතු විටෙක මව මිය යාමෙන් දියණිය ජීවිතයේ ලැබිය යුතු සෙනෙහස, ගුණධර්ම අතර මගදී අහිමිවුවාක් බදුය. දරුවාගේ යහපත ඉටුකර දෙන පන්සල අම්මාය, දරුවාගේ නොයෙක් දුක් ගිණි අසා සිිටින දෙවොලත් අම්මාය. දරුවාගේ කුසට ආහාර දෙන කුඹුරත් අම්මාය. නමුත් මෙම දියණියගේ මව මරණයට පත්වීමෙන් ඇයගේ දුක් පවසන්නට සිටි එකම යෙහෙලිය, අහමි වුවාක් බදුය. එම නිසාම ඇය පියාටවත් නොපවසා ජිවිතේ වැදගත්ම තීන්දුව නොවැදගත් අයුරින් සිදුකරයි. 

පියෙකුගේ සිත තුල තෙරපෙන, කැකෑරෙන දුක, වේදනාව, කදුල, ශෝකය මෙම ගීතය පුරාවට ශෝකාලපයන් ලෙසින් මුදාහැරෙයි. අම්මා ඉපදී ඇත්තේ, කඳුලූ කුලයේය. ඒ නිසා ඇගේ දෙනෙතට කඳුලූ ආගන්තුක නැත. එහෙත් ඇයගේ හදවතේ තමන් වෙනුවෙන් කඳුලූ ඉනුවේ නැත. ඇගේ දෙනෙතින් වැගිරෙන සෑම කඳුලක්ම වැටුනේ තව දරුවන් වෙනුවෙනි. එහෙත් පියවරු එලෙසින් සෑමවිටම කදුලූ හෙලන්නේ නැත. කොතරම් දුක්, කඳුලූ, බාධක පැමිණිය ද, මහ පොලව සේ සියලූ දුක් දරා සිටියි. නමුත් දෙනෙත වන් තම දියණියට මව වී ඇය දැඩි සෙනෙහසින්, දයාවෙන් පෝෂණය කළ පසු එක් වර පැමිණි චණ්ඩ මාරුතයක් සේ ඇයව අහිමි විම නිසා පියාණන් කොතෙකුත් නම් හඩන්නට ඇත් ද? දරුවන් පිළිබද අම්මාගේ හදවත තුළ ඇති ආදරය, ස්නේහය, අසිරිමත්ය. පියවරුන්ගේ ළයට වඩා මවුවරුන්ගේ ළය මොලොක් බව විද්‍යාචක‍්‍රවර්තීන් පවසා ඇත. එයට හේතුව විය හැක්කේ මහපොළව සේ සියලූ අනේකවිධි දුක්ඛ දෝමනස්සයන් තම සිත් තුළ රදවාගෙන ලෝකයා අභිමුඛ පර්වථයක් සේ නොසැලි සිටි නියාව නිසාය. නමුත් තම දියණිය නාගරීකරණය වු නව පියසකට නොපවසා ගිය නිසාම පියා කඳුලූ වගුරවමින් හුදකලා වී සිටියි. ජීවිතයේ තවත් එක් සතුටුදායක කාලසීමාවක මෙම පියාණන්ට තම පතිනිය අහිමි වෙයි. නමුත් තම පතිනිය නැති දුක, වේදනාව, තනිකම පහව ගියේ ඇයගේ කැඩපත බඳු දියණිය තමා අසලම රැදුණු නිසාවෙනි. නමුත් ඇය ද අහිමි වු කළ පියතුමෙකුගේ හදෙහි දෝංකාර දෙන වේදනාව මෙපමණ යැයි කිවහැකි වනුයේ කෙසේද ?

සංකේත භවිතයට යොමු වු රත්න ශ‍්‍රි විජේසිංහයන් සිදාදියේ නිතර ගැවසෙන තරුණයන් ලාභ රත්තරන්වලට සමාන කොට දැක්වුයේ, ගුණධර්ම වලින් හීන දියණියගේ ජීවිත ශෝකාලාපයක් බවට පත් කරවන සල්ලාලයින්ටයි. මෙය ගැඹුරු සමාජ යථාර්ථයකි. මෙලෙස ගුණධර්ම වලින් හීන ව්‍යාජ පුද්ගලයින්ට හසු වීම නිසා අද වන විට නීති විරෝධි ගබ්සා කිරිම් වසරකට 290,000 ක් පමණ සිදු වන බව නවීන සමීක්ෂණ මගින් හෙළි වී ඇත. එනිසාම මෝරා එන දුක්ඛිත තත්වයන්,

                                        උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුණේ
                                       අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ .....

සුදු යකඩ වලින් සමාජයට ලබාදෙන ව්‍යංගාර්ථය නම්, මිල අධික රත‍්‍රං, මුතු, මැණික් බහුල සමාජයේ සුදු යකඩ
සදහා නියම වෙන මිල ඉතාමත් අඩුය. සුදු යකඩ දීප්පතියෙන් ආලෝකයෙන් අඩුසේම, සුදු යකඩ මාල පලදින්නන් සමාජය දකිනුයේ උගත් කමින් තොර පුද්ගලයන් ලෙසය. මන්ද සුදු යකඩ මාලවලට සේම, සුදු යකඩ මාල පලදින්නන්ට සමාජයේ නියම වනුයේ අඩු තක්සේරුවකි. රත‍්‍රං, මුතු, මැණික් වන් වු යහපත්, උගත් මිනිසුන් සිටින සමාජයක සුදු යකඩ මාලයක තරම් අඩු තක්සේරුවක් ඇති පුද්ගලයෙකු සමග තම දියණිය ජීවිතයේ සුන්දරම කාලසීමාව ආරම්භ කිරීම පිළිබද පශ්චාත්තාපයෙන් පසුවෙයි. තම දියණිය තම නිවසේ සිටින කල පියානන්ට ඇය සුපිපුණු රෝස කුසුමක් තරමට පියකරුය. පවිත‍්‍රය නමුත් සුපිපුණ කුසුමේ පෙති කඩා දමන්නට, රොන් ගෙනයන්නට උරුවන් බාමින්, සිංදු කියමින් සල්ලාලයින් නිරන්තරයෙන් ගැවසුනද, පියානන්ගේ හෘද සාක්ෂිය සිහිනෙන්වත් තම දියණිය අවිස්වාසයක් තැබුවේ නැත.

                              පාර මතක නම් තාමත් ගේ ළගයි දුවේ....

 දෙමාපියන් නම් දරුවාගේ කවර වරදක් ඇතත් මොළොක් අදහස් ඇත්තෝය යන්න කිවයුතු මනාය. පියාණන්ගේ චිත්ත සන්තානය තුළ බුර බුරා නැග එන දුක්ඛ දෝමනස්සයන් රත්න ශ‍්‍රි විජේසිංහයන්  දැයේ දහසකුත් දියණිවරුන් අභියස තබනුයේ පීතෘත්වය පිළිබද නොකිවු කතාන්දරයක්   පාර මතක නම් තාමත් ගේ ළ`ගයි දුවේ” යනුවෙන් ස්වල්ප වචන කිහිපයකට කැටි කොට දක්වමිනි. මවුන් තරමටම පියවරුන්ගෙද මෘද්‍ර වන බව රත්න ශ‍්‍රි විජේසිංහයන් දක්වනුයේ,

                              පිය සෙනෙහසට කවි ගි ලියවුණා මදි....... 

යන නොක්කාඩුවද නැවතත් ත්‍රිවුර කරමිනි.

සමාජය විනිවිද දැකිම නැතහොත් සියුම් ලෙස අවබෝධ කර ගැනිම යනු අතිශය සුක්ෂම සංවේදී කාරණයකි. අප නොමග යවන සාවද්‍ය සංසිද්ධින් නිරවද්‍ය සත්‍ය කාරණය ලෙස පෙනී යාම මෙහිදී වෙසෙසින්ම සඳහන් කළ යුක්තකි. පෙනෙන දෙය තුළින් නොපෙනෙන හඳුනාගත නොහැකි ප‍්‍රපංචයනුත් අතර ඇත්තේ අහසට පොළව මෙන් ඉතාම දුර සම්බන්ධතාවක් බව පැහැදිලිය. මෙම සංකිර්ණ සමාජ රටාව තේරුම් ගැනිමට උපකාරී වන අසිරිමත් දැනුම්  වේදයක් ලෙස කලාව හා සාහිත්‍ය හඳුන්වා  දිය හැකිය. එක් අතකට සාහිත්‍යනරුවෙකු කරන්නේ සමාජය සමග සංවාදයකි. එම සංවාදයේ පුද්ගලයින් තේරුම් ගැනිම මෙන්ම ඔහුන් නිශ්චිත අරමුණක් වෙනුවෙන් හැඩගැසිම ගීත සාහිත්‍යයට කළ හැකිය. අනෙක් අතට එම සංවාදයේ දී කුමන හෝ සමාජ චල්‍යතාවක් හඳුනාගත හැකි වීම ද වැදගත් වේ. පුද්ගලයාගේ ආකල්ප හෝ සමාජයේ පවතින සංස්ථාවන් යන දෙඅංශයේම දැකිය හැකි මේ චල්‍යතාව නැත්නම් විපරිණාමය පෙරළා මිනිස් ජීවිතවලට බලපාන්නේ කෙසේද යන කරුණ සාහිත්‍යකරුවා අතින් සුක්ෂ්ම ලෙස විවරණය වන බව සත්‍යයකි. කලාව හා අලංකාරය සම්බන්ධ සංකල්ප සහ මත සෞන්දර්ය යන්න තීන්දු වේ. කලාව හා මානව සමාජය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව මානව ජිවිතයේ ආරම්භයේ සිටම දැකිය හැකිය. බිළිදෙකු වැඞී වර්ධනය වන්නේ මවකගේ ලයාන්විත ගීයක් රසවිදිමිනි. එතැන් පටන් මරණය දක්වාම අපට මුහුණ දීමට තිබෙන සෑම සිදුවිමක්ම සමග බැඳුණු කලාවක්, සාහිත්‍යයක් මිනිසා සන්තකව පවතින බව සත්‍යයකි. කිසිදු වර්ගීකරණයකින් තොරව සෑම මිනිසෙක්ම සාහිත්‍යයට, කලාවට ආසාවක් ඇති වන්නේත්, ආදරය කරන්නේත් මෙසේ සාහිත්‍යයේ පවත්නා සර්වව්‍යාපී ගුණය නිසාය. මෙහි දී ලේඛකයාත්, කෘතියත්, පාඨකයාත් සමාජ පරිස්ථාතියක් අතර පවත්නා අන්තර් සම්බන්ධය හෙවත් ගී සාහිත්‍ය සන්නිවේදනය වැදගත්ය. රෝලන්ඞ්බාත්ගේ ආකල්පය වුයේ, පාඨකයාගේ පුනරුත්පත්තිය සමග කතුවරයාගේ මරණය සිදු වී ඇති බවය. ඉන් ඔහු අදහස් කළේ පාඨකයාට සන්නිවේදන කාර්යභාරය කිරිමත් සමග කතුවරයාට සාහිත්‍ය කෘතියක අර්ථය පාලනය කිරිමට ඇති බලය අඩු බවය.

සාහිත්‍ය හා සමාජය අතර පවත්නා උක්ත අවියෝජනීය බැදිම නුතන තාක්ෂණය හා විද්‍යාත්මක ආවිෂ්කරණය මගින් සවිමත් තත්වයට පත් කිරීම ද මේ සමගම අවධාරණය කළ යුක්තකි. මෙලෙස කලාව, නුතන තාක්ෂණය හා සමිප වන විට සමාජ සාරධර්ම දෙදරුම් කෑමකට ලක් වී හමාරය. ඒ නිසා තම පැවැත්ම සුරක්‍ෂිත කර ගැනීමට නම් පොදුවේ මානව පරපුරේ සුබසිද්ධිය පිළබද අවධානය යොමු කළ යුතුය යන තැනට නුතන මිනිසා පත්ව ඇත. සාහිත්‍යකරුවා මෙම ගුණය නුතනයේ කේන්ද්‍රීය සංරචනයක් බවට පත් කරගෙන ඇත. ඉහත සාකච්චා කළ ආකාරයට   චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ  ගීතය  සමාජ සංවිධානයේ එක් සත්‍ය සිදුවිමක් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමකි.

                               උත්තුංග වු පිය සෙනෙහසට තිතක් නොව කොමාවක්,,,,,,,,,,,






-- චාමලී වනිගසිංහ --