Search This Blog

Monday, July 16, 2018

මුහුණු පොත හා තාරුණ්‍යයේ හෘද ස්පන්ධනය...

මුහුණු පොත  හා තාරුණ්‍යයේ හෘද ස්පන්ධනය...

සමාජ ජාලයන් යනු විශ්ව ගම්මාන සංකල්පයේ යථාර්තය විද්‍යාමාන කරන්නාවූ විද්‍යාත්මක සංවර්ධනයේ එක් පැතිකඩක් බව සඳහන් කළ හැකිය. සිඝ්‍රයෙන් සංවර්ධනය වන ලෝකය තුළ මිනිසාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙන්ම මානසික තෘප්තිය සඳහා සමාජ ජාලයන් ප‍්‍රබල මෙහෙවරක් ඉටු කරයි. මුහුණු පොත  යනු ලෝකයේ පවතින සමාජ ජාල වෙබ් අඩවි අතරින් වඩාත්ම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියයි. අද වන විට ලෝකයේ අන්තර්ජාල පරිශීලකයන්ගෙන් බහුතරයකට Facebook ගිණුම් පවතී.

ආදි සමාජයන්වල සිටම මිනිසුන් එක්ව ආසන්න ගතව ජීවත්වීම මනුෂ්‍ය සමාජය පුරා දැඩි හා මානුෂීය සබදතා ජාලයක් මිනිසුන් අතරේ ගොඩනැගීම  සමාජය යන වචනයට ගැඹුරු අර්ථයක් එක්කලේය. සාමූහික වශයෙන් ජීවත්වීම මිනිසුන්ගේ ජීවිතයට ඇතිකරන ලද සාමාජීය ආරක්ෂාව, මිනිසුන් අතර ඇතිකරන ලද බන්ධනය මිනිස් සමාජයේ  මුලිකම පදනම ලෙස සැලකීමට තරම් ප්‍රභලය. එනිසාම මිනිසුන්ගේ විවිධ සාමාජීය, ආර්ථික මෙන්ම ආගමික කටයුතු අර්ථගැන්වීම සදහා ඇතිකරගන්නා ලද විවිධ සංගම්වල සමාජයන් තුළ මිනිසුන්ගේ විවිධාකාර අවශ්‍යතා ඉ‍ටුකරලීමට තරම් ප්‍රභල මානුෂීය අන්තර් සම්බන්ධතා  ගොඩනැංවිනි. මෙය බාල, තරුණ, වැඩිහිටි  මෙන්ම වියපත් සාමාජිකයින් තුළ ද ඔවුන්ට ආවේණික සමාජගත වීම  මෙන්ම සංගම් සමාජයන් හරහා ඔවුන්ගේ විවිධාකාර මානුෂීය මෙන්ම භෞතික අවශ්‍යතා රාශියක් ඉටුවෙමින් පවතින ආකාරය සමාජය දෙස බැලීමේ දී පෙනී යයි. මෙම ලිපිය මගින් බලාපොරොත්තු වන්නේ සමාජය තුළ ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මුහුණු පොත සමාජ ජාලය තරුණ පරම්පරාව වෙත සිදුකරමින් පවතින බලපැම කෙබදු ආකාරයක් වේදැයි සොයාබැලීමටයි.

👉 තරුණ අවධිය හා නිදහස් සමාජ සබදතාවල හුරුව

පාසැල් අධ්‍යාපනය හමාර කරමින් උසස් අධ්‍යාපනයට යොමුවන හෝ යොමු නොවන ඕනම දරුවෙකු නිදහස් සමාජ සබදතාවල අත්දැකීම සෘජුව ලැබීමට පටන්ගන්නේ  සමාජයත් සමග වැඩිවශයෙන් එක්වී කටයුතු කිරීමත් සමගය. දෙමාපියන්ගේ සෘජු අධීක්ෂණයෙන් මිදෙන දරුවන් තරුණ අවධිය තුළ  තරුණ කණ්ඩායම් සමග ඇසුරට ප්‍රිය කරන අතර තම සමවයස් කණ්ඩායම්වල සාමාජිකයින්ගෙන් ඉගෙනීම, අනුකරණය  හා විවිධ චර්යාවන් තමන්ගේ ජීවිත තුළට අභ්‍යන්තරීකරණය කරගනු ලබයි.  තරුණ කණ්ඩායම්වල පවතින චර්යාවන් සේම විවිධ සමාජ ‍රැලි හා නැමියාවන්වලටද මහත් ඇලුම් කමක් දක්වන්නේ එවා තමන්ගේ ජීවිත වලට ‍රැගෙන එන ආකර්ෂණීයතාවය හේතු කොට ගෙනය. යම්කිසි ප්‍රමාණයකට නිදහස භුක්තිවිදීමේ ප්‍රතිපලයක් ලෙස බොහෝ තරුණ තරුණියන් තමන්ගේ පුද්ගල ස්වාධීනතාවයක්  ගොඩනගා ගැනීමේ ප්‍රථිඵලයක් ලෙස සමාජය දෙසට නැඹුරුවීම ක්‍රමයෙන් සිදුවන නිසා ටිකෙන් ටික දෙමාපිය ග්‍රහණයේ බැමි වලින් නිදහස් වීමට උත්සුක වෙනු ලබයි. කෙසේ වෙතත් තරුණ ප්‍රජාව  ඔවුනොවුන් අතර ඉතා සමීපව ඇතිකරගන්නා අන්තර් සබදතා ඉතා මානුෂීය පදනමක් ඔවුන් තුළ ඇතිකරන අතර දැඩි මානසික ආරක්ෂාවක්ල යහපත් ගුණාංග ද ඔවුන් තුළ ඇතිකරනු ඇත. පුද්ගලයින් අතර ඇතිවන යහපත් සබදතා මෙන්ම භෞතිකව එකිනෙකාගේ භාවාත්මකව හදවත් තුළ ඇතිකරනු ලබන හැගීම්වල සිතිවිලි, බලාපොරොත්තු හා විශ්වාසවල ඇති යහපත්භාවය මත  කෙනෙකු යහපත් ජීවිතයක් ගොඩනගා ගනු ලබයි. තරුණයින් ප්‍රජාවක් ලෙස ඇතිකරගන්නා සමාජ සබදතාවල ඇති බල සම්පන්නභාවය ද එයයි.

👉 තාකෂණයේ දියුණුව හා සයිබර් අවකාශයේ මිත්‍ර සන්ධාන

මිනිසුන්ගේ කාර්ය බහුලත්වය සමග එකිනෙකාට කතාකරීමටවත් හරිහමන් කාලයක් සොයාගත නොහැකි අතිධාවනකාරී සමාජය තුළ මුහුණු පොත නිසා බොහෝ දෙනෙකුට මද හෝ සැනසිල්ලක් ලැබී ඇති බව පනෙන්නට තිබෙන්නකි. එය වැඩ අතරේ කාර්යබහුල වී සිටින වැඩිහිටියන්ගේ සිට තරුණ ප්‍රජාව පමණක් නොව ළමා ප්‍රජාව තුළ ද සැනසිලිදායකත්වයක් ඇතිකරමින් පවතින සෙයියාවක් පෙන්නුම් කරයි. තමන්ගේ කාර්ය බහුල වැඩකටයුතු අතරේ විටින් විට මුහුණු පොත තුළින් තමන්ගේ දුක සැප හා තොරතුරු බෙදාහදා ගන්නා ‍රැකියාවන් කරන සුවහසක් ජනතාව පමණක් නොව තරුණ ප්‍රාජාව තුළ ද මුහුණු පොත මිත්‍රයින් ඇසුරට කදිම මෙවලමක් බවට පත්වී ඇත.

තරුණ තරුණියන් මුහුණු පොත උපකාරකරගෙන ගොඩනගාගනු ලබන හා පවත්වාගනු ලබන සමාජ සබදතාවල ස්වරූපය හා ප්‍රතිඵල ලෙසට ඇතිකරමින් පවතින්නේ කුමක්ද යන්න සොයා බැලීමට කාලය පැමිණ ඇත. මිත්‍රයින් එක්කරගෙන තමන්ගේ මිත්‍ර කණ්ඩායමේ ගොඩ වැඩිකරගනිමින් විවිධ දිසාවන්ගෙන් පැමිණෙන ඉල්ලීම් (request) හා ඒවාට දක්වන කැමැත්තදීම් (like)  හරහා සිදුවන්නේ කුමක්ද?  තරුණ ප්‍රජාව තුළ භෞතිකව මුහුණට මුහුණ ලා ගොඩනැගෙන සබදතාවල ප්‍රමාණය සංඛ්‍යාත්මකව කුඩා අගයක් ගත්ත ද එහි පවතින ගුණාත්මක භාවය ඉතා විශාල බව පෙනෙන්නට ඇති සත්‍යකි. මෑතක් වන තුරු  තරුණ තරුණියන් හට තමන් ඉතා හොදින් දන්නා  භෞතිකව මුහුණට මුහුණ මුණගැසෙන යහලුවන් සිටියේ සාපෙක්ෂව අඩු ප්‍රමාණයකි.  බොහෝවිට පාසැල් කාලය තුළ දීර්ඝ කාලීනව ඇසුරුකරගනිමින් එකිනෙකා පිළිබඳව ඉතා හොද අවබෝධයක් ලබමින්  ගොඩනැගෙන මිත්‍රත්වය තුළ ඉහළ සහෝදරත්වයක් ද අන්තර්ගත් විය. තමන්ගේ මිත්‍රයින් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් පවා දැන හැදින ගැනීම මගින් බොහෝවිට සාමාජීයව තමන්ගේ දරුවන්   වෙත සමාජ ආරක්ෂණ දැලක් ගොඩනගා ගැනීමට ද දෙමාපියන්ට හැකියාව ලැබිණි. යහලු මිත්‍රයින් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් තුළද ඇති හැදිනීම මත සමාජය තුළ දරුවන් කෙරෙහි දන්නා හදුනන දෙමාපියන්ගේ අවධානය යොමුවීම නිසා වැඩි වශයෙන් සමාජ ආරක්ෂාවක් මෙන්ම මග පෙන්වීමක් දරුවන් වෙත ලැබිණි.

තරුණ ප්‍රාජාව සයිබර් අවකාශයේ මිත්‍රයින් එක් ‍රැස් කිරීම හා මිත්‍ර කණ්ඩායම් ගොඩ නගාගැනීමට උත්සක වීම මත සිදුවෙමින් පවතින්නේ කුමක්ද? එක් අතකින්  ස්මාර්ට් ජංගම දුරකථනය හරහා  මිතුරු ඇසුර කරගෙන යෑම මගින්  තාක්ෂණික උපාංගවලට වැඩි අවධානයක් යොමුකරමින් සිටීම නිසා මුහුණට මුහුණ මිතුරු ඇසුරට ඇති කාලය අඩුවී යනවා පමණක් නොව  තාක්ෂණ උපාංග තුළින් ගොනැගෙන මිතුරු ඇසුර තුළ  පුද්ගලයින්ගේ මනස ශක්තිමත් හා ජවසම්පන්න වීමට ඇවැසි බලයක් ගොඩනැගෙන්නේ ද යන්න විමසිය යුතුය.  තරුණ්‍යය තුළ එකිනෙකා මුහුණට මුහුණ ලා ගොඩනැගෙන අන්තර් සබදතාවලදී ඔවුනොවුන් විසින් තම සිත්වල පහස විදිමින් ඇතිකරගනු ලබන චිත්ත ශක්තිය මිත්‍ර ආසුර මගින් ලබන ප්‍රබෝධයකි.  මෙම ප්‍රබෝධය  තාරුණ්‍යයේ ජීවන ශක්තිමත්භාවය සදහා ඉතා අවශ්‍ය සාධකයකි. භෞතිකව සමීපතාවයෙන් ඇත්වී ඉලෙක්ට්‍රොනික උපාංග තුළින්  මෙය කොතෙක් දුරට ඉ‍ටුකරගත හැකි ද යන්න සොයාබැලිය යුතු වැදගත් කරුණකි.  වැඩිවැඩියෙන් මුහුණු පොතට ඇලීගැලී සිටින තත්වයක් තුළ  මුහුණට මුහුණ ලා කෙරෙන මිතුරු ඇසුරට වේලාවක් සොයාගැනීම ද ඉතා අපහසු කටයුත්තක් බවට පත්වී තිබේ. මෙම තත්තවය වඩා බරපතල වී පෙනෙනුයේ තරුණයින් භෞතිකව  එක්වී කටයුතු කරන අවස්ථාවල දී පවා තැන් තැන් වලට වී හුදෙකලා වී මුහුණු පොත තුළ ගණුදෙනු කිරීමේ තත්තවය මතයි. මෙමගින් පෙනෙනුයේ මිනිසුන්ගේ භෞතිකව පවතින සමාජ හා මිත්‍ර සබදතා අභිබවා තාක්ෂණික උපාංගගත යාන්ත්‍රීක මිත්‍ර ඇසුර වඩා බල සම්පන්න ලෙස පැතිරෙමින් පවතින තත්තවයයි. මෙය කොතෙක් දුරට තරුණ ප්‍රජාවට හිතකරවේද?

👉 පහසුවන මිත්‍ර ඇසුර හා දුරස්ථවන මානුෂීය ගුණාංග

ඔබ අප ඉතා හොදින් සමාජය වෙත අවධානය යොමු කළ හොත් යාන්ත්‍රිකකරණය වෙමින් පවතින සමාජ සබඳතාවලට සාක්ෂි ඉතා පහසුවෙන් සොයාගත හැකිය. අප අවට සෑම තැනකම මෙම වෙනස අපට දැකිය හැකිය. බසයක් පැමිණෙන තෙක් මගබලාසිටින යෞවණයින්, බසයක ගමන්කරන මගීන් අතර සිටින තරුණ කොටස්, පෞද්ගලික පන්තියක ඉගෙන ගන්නා තරුණ තරුණයින්, වෘත්තීය පුහුණුවක් ලබමින් සිටින තරුණ කොටස් එම කටයුතුවල නිරතවෙමින් සිටියදී පවා තම හදවත හා දෑත්වලින් මුහුණු පොත සමග ඇතිකරගෙන ඇති සබදතාවයේ මහිමය ඔබට දැකගත හැකිය. මෙය තරුණ ප්‍රජාව ද අභිබවා යමින් සෑම මට්ටමකම පුද්ගල කාණ්ඩ අතරම ප්‍රචලිත වෙමින් පවතින නැමියාව බවට සාක්ෂි  ඉතා සුලබව සොයාගත හැකිය.

මිත්‍රයෙකු සොයාගොස් මුහුණට මුහුණ මුණගැසී ඇසුරුකරනවාට වඩා ජංගම දුරකතනයේ එක් බොත්තමක් ක්‍රියාත්මක කළ පමණින් ඔවුන් සමග ඇසුරට වැටීමට හැකිවීම කොතරම් ආශ්චර්යයක්ද? මාධ්‍යක් ලෙස පුද්ගලයින් සමග ඉතා වේගයෙන් මුණගැසීමට හෝ කතාබහ කිරීමට  හැකියාවක් ලැබීම තාක්ෂණ යුගය තුළ මිනිසා අත්විදින ජයග්‍රහණයක් වුවත් ඒ අනුසාරයෙන් මිනිසුන්ගේ මිනිසත්කමට, හැගීම් හා සංවේදනාවලට ඇතිකරනු ලබන බලපෑමද අවබෝධකරගත යුතුව ඇත.  මුහුණු පොත තුලට ඉතා දැඩි ආකර්ෂණයක් හෙලීම නිසා සමහර දරුවන් නිවෙස් තුළ හුදෙකලා වෙමින් දෙමාපියන්ගේ සබදතාවලින් හා අධ්‍යාපන කටයුතුවලින් ඈත්වීම පිළිබදව මැසිවිලි නගන දෙමාපියන් අද බහුලව දක්නට ඇත. මුහුණු පොත සමග හුවමාරුවන ආකර්ෂණීය වීඩියෝ පට, පින්තූර මෙන්ම ඕපාදූපවලට දක්වන ගිජුකමින් මිදීමට බොහෝ තරුණ කොටස් සමත් නොවේ. සමහර තරුණ  තරුණියෝ දිනක පැය හය හතක කාලයක් ගතකරන්නේ මුහුණු පොතේ සිහින අතර වන අතර ඵලදායි ලෙස ජීවිතය ගොඩ නගාගැනීමට  ඇති  අවස්ථාව බොහෝවිට තමන්ගෙන් ඈත්කරහරිමින් සිටිති.

ළමා අවධිය තුළදී මෙන්ම  තරුණ කාලය තුළදී ද  සමාජයේ විවිධ පුද්ගල ස්ථරයන්ට මෙන්ම සිද්ධීන්වලට නිරාවරණය වෙමින් පුද්ගලයින් එක් ‍රැස්කරගනු ලබන ජීවන අත්දැකීම් පුද්ගලයෙකුගේ ජීවන සාර්ථකත්වයට මනා මෙහෙයක් ඉ‍ටුකරයි. වර්තමාන තාරුණ්‍යය සමාජයට වඩා වැඩි ලෙස නිරාවරණය වන්නේ කෙසේද? මුහුණු පොත හරහා තරුණයින් සමාජයට  නිරාවරණය වන අද්දැකීම්වලින් ඔවුන්ගේ ජීවිතයට වැඩියෙන් එක් කරනු ලබන්නේ මොනවාද යන්න සොයාබැලිය යුතු නොවේද  තරුණ ප්‍රජාව මෙහෙයවිය යුතු හා ඔවුන්ට මගපෙන්වීම් කළයුතු සමාජ බලපැම්, අත්දැකීම් හා බලාපොරොත්තු  තරුණයින්ගේ ජීවිතය එක්කිරීමේ දී මුහුණු පොත වැදගත් සාධකයක් වි ඇත්නම් එහි බලපැම නිවැරදි ලෙස සොයා බැලිය යුතුය.

තාක්ෂණය හා තාක්ෂණික උපාංග හදුන්වාදෙනු ලබන්නේ මිනිසුන්ගේ යහපැවැත්ම උදෙසා වුවත් පෙනෙන්නට ඇති සත්‍යවන්නේ ඒවා ඵලදායී ලෙස භාවිතයේ දී මිනිසුන් විසින් දක්වන අසමත් භාවයයි. සමාජය වෙත මුහුණු පොත, අන්තර්ජාලය මෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන ද  තාක්ෂණයේ බල මහිමයෙන් අප වෙත පැමිණි දායාදයන් වුවත් ඒවා භාවිතාව මගින් මිනිසුන්ගේ සංවර්ධනයට හා ප්‍රගමණයට   ඒවා හේතු වී ඇතිද යන්නයි. වෙඩි බෙහෙත් පදනම් කරගෙන මහත් බලයක් උත්පාදනය කළ හැකිබව මුල් වරට පෙන්වා දුන්නේ  ගෙලිනයිට් හා ඩයිනමයිට් නිපද වූ ඇල්ප්‍රඩ් නොබෙල්ය.  එතුමන්ගේ සොයාගැනීමේ ප්‍රථිඵල පිළිබදව එතුමා පසුකලෙක සතු‍ටු වූ බවක් පෙනෙන්නට නොතිබිණි. මුහුණු පොත සම්බන්ධයෙන් එසේ සිතීමට අවස්ථාවල් නොලැබේවායි අප සියලු දෙනාගේ පැතුම බවට පත්වී ඇත්තේ  මුහුණු පොතේ අවකාශය තුළ ගොඩනැගුණු  තාරුණ්‍යයේ සබදතා  හා ඒ ආශ්‍රිතව  බොහෝ දෙනෙකුගේ ජීවිතවලට පවා  ඇතිකරන ලද අයහපත් බලපැම්වල  අඳුරු සෙවනැලි තවමත් අප අතර ඇති නිසාය.

මුහුණු පොත තරුණ ප්‍රජාවේ හෘද ස්පන්දනය බවට පත්වන කාලය වැඩි ඇතක නොවේ. වර්තමාන තරුණ පරම්පරාවට ජීවය එක් කරන ඉතා වැදගත් සාධකයක් බවට මුහුණු පොත මෙන්ම අන්තර්ජාලය පත්වෙමින් තිබෙන නිසා මේවායේ යහ භාවිතාව පිළිබදව මෙන්ම  මේවායේ ගොදුරක් නොවී තමන්ගේ ජීවන අභිමතාර්ථයන් ඉ‍ටුකර ගැනීමට හොඳින් මේවා භාවිත කරන්නේ කෙසේද යන මග පෙන්වීමේ කාර්ය භාර්ය දෙමාපියන්ට මෙන්ම සමාජයේ වගකීමක් ඇති සියලු දෙනා වෙත පැවරෙනු ඇත.  ඒ අතර  මේවා වඩා යහපත් ලෙස භාවිත කළ හැකි ආකාරය මෙන්ම වඩා සමාජගත අරමුණක් ඉ‍ටුකරලීම සඳහා මේවා නියාමනය කළ හැකි ක්‍රමවේද, නීතිරීති හා සීමාකම් ද  ඇතිකරලීමට සිතා බැලිය යුතු කාලය වර්තමානය බව අප විසින් පසක් කර ගත යුතුව ඇත.


--චාමලී වනිගසිංහ--

No comments:

Post a Comment