Search This Blog

Wednesday, July 11, 2018

KFC මගින් ගෙනෙන ජනප‍්‍රිය සංස්කෘතිය...

 ජනප‍්‍රිය සංස්කෘතියේ තවත් ප්‍රධාන වාහකයෙක්...

ජනප‍්‍රිය යන්නෙහි වචනාර්ථය "ජනයා අතර ප‍්‍රිය වූ" හා "ජනයා සමග වැඩෙන"  වශයෙන් සරලව දැක්විය හැකිය. මෙයට කදිම යාවත්කාලීන නිදසුනක් ලෙස Kentucky Fried Chicken (KFC)  දැක්විය හැකිය. 1952 දී ආරම්භ කරන ලද Kentucky Fried Chicken (KFC) අද වන විට ලෝකය පුරා ව්‍යාප්ත වීම තුළ එම ආයතනය වටා රොද බැදගත් ජනයා සහ ජනප‍්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස ලෝකය වටා විහිදී පැතිරී ගිය ආකාරය  හඳුනාගත හැකිය. 

2014 අවසානය වන විට, ලොව පුරා පිහිටි රටවල් 118 ක සහ ප‍්‍රදේශයන් විශාල ප‍්‍රමාණයක KFC මධ්‍යස්ථාන 18,875 ක් ඇත. පළමු KFC ආයතනය 1952 දී ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ කිරීමෙන් පසුව  කැනඩාවේ දී වසරකට පසුව විවෘත විය. 1974 දී එක්සත් රාජධානියේ පළමු විදේශීය ශාඛාව ස්ථාපිත කරන ලදී. 1970 ගණන් මුල වන විට කැරිබියන් හා සංවර්ධිත බටහිර රටවල වෙළඳපොළ KFC විශාල සංඛ්‍යාවක් ඇතුළත් විය. ඉන් අනතුරුව මැදපෙරදිග පුරා ව්‍යාප්ත වූ අතර 1970 දශකයේ මැද භාගය වන විටත් 1980 ගණන්වල සිටත් ආසියානු වෙළඳපොළ තුළ සංවර්ධනය විය. 1990 දී චීනයට ඇතුල් වූ අතර 1990 ගණන්වල මුල් භාගයේ යුරෝපීය රටවල් හා දකුණු ඇමරිකාව තුළ පුළුල් කිරීම් සිදු කරන ලදී. වඩාත් මෑත සිදුවු ව්‍යාප්තිය වන්නේ අප‍්‍රිකාව වන අතර එය එම මහාද්වීපයේ වර්ධනය වන මධ්‍යම පන්තියට ඉලක්ක කර ගනිමිනි.

KFC සඳහා ප‍්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථාන ලෙස චීනය (ශාඛා 4,563 ), එක්සත් ජනපදය (ශාඛා 4,491) , ජපානය (ශාඛා 1,181) , එක්සත් රාජධානිය (ශාඛා 784 ), දකුණු අප‍්‍රිකාව (ශාඛා 736), කැනඩාව (ශාඛා 663), ඔස්ටේ‍්‍රලියාව (ශාඛා 579 ක්) , රුසියාව (ශාඛා 576) සහ තායිලන්තය (ශාඛා 531) ලෙස දැක්විය හැකිය.

අධ්‍යයතනය වන විට ජනප‍්‍රිය සංස්කෘතිකාංග බෙදා හැරීමේ කර්තව්‍යය වෙළද දැන්වීම් හරහා සිදු කරනු ලබයි. අමෙරිකාවේ  මුල් කාලයේ දී ප‍්‍රචාරණය වූ වෙළද දැන්වීම් සෑම එකකම පාහේ සැන්ඩර් විසින් ඉදිරිපත් කරනු ලැබීය. නමුත් අදවන විට ජනප‍්‍රිය පුද්ගලයින් යොදා ගෙන නිර්මාණිත වෙළද දැන්වීම් පාරිභෝගිකයා වෙත ගෙන එනුයේ  පාරිභෝගික ආකර්ෂණය තව දුරටත් තම ආයතනය කෙරෙහි ලබා ගැනීමටය.

  • උදා: රොබ් රිග්ල් යනු ඇමෙරිකාවේ සුප‍්‍රසිද්ධ නළුවෙකි. ඔහු සිනහව කැන්දන ප‍්‍රහසන චිත‍්‍රපට ගණනාවක රංගනයෙන් දායක වී ඇත. එසේම ඔහු දක්ෂ රග්බි ක‍්‍රීඩකයෙකි. මෙම වෙළද දැන්වීමේ දී ඔහු රගර් ක‍්‍රීඩාවේ යෙදී සිටි අතරතුර තුවාල ලැබීමකට ලක් වී සිටියි. මෙම අවස්ථාවේ දී කර්නල් ලෙස සැරසුණු පුද්ගලයෙකු ප‍්‍රථමාධාර පෙට්ටියක් රැගෙන පැමිණෙයි. නමුත් ප‍්‍රථමාධාර විවෘත කළ පසු තිබෙනුයේ KFC ආහාරය. එය ආහාරයට ගත් විගස ඔහුට ජීවය ලැබෙයි. ඔහු නැවතත් තරගයට අවතීර්ණ වෙයි.   (https://www.youtube.com/watch?v=h_IVhBBLq-I)




රොබ් රිග්ල්ගේ දකුණු ඇස වටා දම් පැහැයක් ඇති අතර එමගින් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පෙන්වයි. නමුත් KFC බැදපු කුකුල් මස් ආහාරයට ගත් සැනින් ඔහුට ජීවය ලැබෙයි. නමුත් මෙය යථාර්තයෙන් බැහැර වුව ද පේ‍්‍රක්ෂකයා ඒ පිළිබඳ තර්ක කරන්නේ නැත. පේ‍්‍රක්ෂකයා තුළට ජනප‍්‍රිය සංස්කෘතිය ගෙනෙන්නේ මේ ආකාරයෙනි.

  • කුඩා දරුවන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ද KFC ආයතනය වෙළද දැන්වීම් නිර්මාණය කොට ඇත. ඒ හරහා දෙමාපියන්ගෙන් දරුවන් KFC ආහාර ඉල්ලා සිටින සංස්කෘතියක් නිර්මාණය කරයි. (https://www.youtube.com/watch?v=0YtAVIGq1ko)



දෙමාපියන් සමග ගමනක් යන දරුවන් දෙදෙනා ගමන යනුයේ නොරිස්සුම් ස්වභාවයෙනි. නමුත්  KFC දුටු විගස දරුවන් සතුටින් ඉපිල යයි. දෙමාපියන් වාහනයේ ගමන් ගන්නා අතරතුර දරුවන් සමග කුකුල් මස් ආහාරයට ගනියි. දරුවන් තොල කට ලෙවකමින් ඉතා කෑදරකමින් බදින ලද කුකුල් මස් ආහාරයට ගනියි. මෙතෙක් සතුටක් නොමැතිව පැමිණි ගමන KFC ආහාර කෑමෙන් පසු ඉතා විනෝදජනක බව හැගවීමට කාරය දෙපැත්තට පද්දයි.

මේ වූකලී පේ‍්‍රක්ෂකයා අභිමුවට ගෙනෙන ජනප‍්‍රිය සංස්කෘතිය නොවෙද. ආහාර නොමැති කළ දරුවන්ට එකිනෙකා නොරුස්සනා සුළුය. දරුවන් සතුටු කරලීමට නම් ඔවුන් ඉල්ලන දේ මිලට රැගෙන දිය යුතුමය. දරුවන්ගේ නෙත ඉක්මනින් මෙම වෙළද දැන්වීමට යොමු කරවා ගැනීමට කාටූන් චරිත යොදා ගනිමින් සුමිහිර ගීත කණ්ඩයක් ද යොදා ගෙන ඇත.

මෙම වෙළද දැන්වීමෙහි පසුබිම යොදා ගනිමින් කාටූන් චරිතවලින් බැහැරව සජීවී දරුවන් දෙදෙනෙකු යොදා ගනිමින් පසුකාලයේ දී නැවතත් මේ අයුරින්ම වෙළද දැන්වීම නිර්මාණය කෙරෙයි. නමුත් ඒ සඳහා යොදා ගන්නා දරුවන් තාරුණ්‍ය වියට එළඹෙන දරුවන් වීම සුවිශේෂී වෙයි. මේ හරහා කුඩා ළමයින්ට පමණක් නොව තරුණයින්ට ද ආමන්ත‍්‍රණය කිරීමක් සිදු වේ. මේ සඳහා යොදා ගන්නා සංගීතය ගායනය පෙරට වඩා උද්යෝගිමත් බවකින් යුක්ත වෙයි.
                                                                             (https://www.youtube.com/watch?v=TTqAYhhx64E)




 👉 ශී‍්‍ර ලංකාවේ KFC ආයතනයේ ආරම්භය හා වෙළද ප‍්‍රචාරණය මගින්  ගෙනෙන ජනප‍්‍රිය සංස්කෘතිය

1995 වසරේදී  KFC ශ‍්‍රී ලංකාවට පැමිණියේ මැජෙස්ටික් සිටිහි පළමු අවන්හල විවෘත කරමිනි. එතැන් පටන් අද දක්වා ආයතන 25 කට වැඩි සංඛ්‍යාවක් ලංකාව තුළ ව්‍යාප්ත වී පවතී. මේ තුළින් විද්‍යමාන වනුයේ KFC ශි‍්‍ර ලංකාව තුළ ද ජනප‍්‍රිය සංස්කෘතියක් බවට පත් වී ඇති ආකාරයයි. විශේෂ අවස්ථා එනම් උපන්දින සැමරුම්, විවාහා වර්ෂ පූර්ණ සැමරුම්, ආදරවන්තයින්ගේ දිනය සැමරීම සඳහා මෙන්ම විවේකී නිවාඩු දිනවල දී KFC වෙත යාමට ශී‍්‍ර ලංකාවේ ජනතාව ද හුරු පුරුදු වී ඇත. ඒ සඳහා වෙළද දැන්වීම් යොදාගෙන පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබී ඇත. 

  • එම වෙළඳ දැන්වීමේ පාත‍්‍රවර්ගයා වන්නේ ජාතික ඇඳුම් ඇඳගත් සීයා කෙනෙකුත්, ඔසරියකින් සැරැසුණු ආච්චි කෙනෙකුත්, එදිනෙදා සාමාන්‍ය ඇඳුමින් සැරසුණු මුණුපුරාත්ය. මුණුපුරා  සංවාදයට මුල පුරමින් "තාත්තා කිව්වා අද සීයලා KFC ගෙනියනවා කියලා" යනුවෙන් මුණුපුරා පවසයි. සීයා ගත් කටටම "ඒ කොහෙද පුතේ" කියා මුණුපුරාගේ අසයි. මුණුපුරා එයට උත්තර දෙනවා වෙනුවට මහත් කෑදරකමින් තොලකට ලෙවකමින් ම්ම්ම්..... ගාමින් රස ලෝකයක් මවා පායි. ඊළඟ ජවනිකාවෙන් පෙන්වන්නේ සීයා සහ ආච්චී අකුරු තුනේ බුරියානි තිබෙන සුපිරි අවන්හල්ට ගොඩ වදින මොහොතයි. එම අවස්ථාවේ දී ආච්චි, සීයාට "සුද්දන්ගේ කෑම අපිට දිරවයිද දන්නේ නෑ" යනුවෙන් පවසයි.  ඒ් සමගම බුරියානි මේසයට ළඟාවෙයි. "ආ... බුරියානි" කියා ඇස්ගෙඩි දෙක නළලේ රඳවා ගන්නා තරමට විශ්මයෙන් පිනා යන සීයාට ඇතිවන්නේ පුදුම  සහගත විනෝදයකි. ඒත් සමඟම පසුබිමෙන් මගුල් බෙර  වාදනය ඇසෙයි. මෙම බෙරවා වාදනයට සීයාට නැටවෙයි. ඉන්පසු අකුරු තුනේ බුරියානි මහත්  උජාරුවෙන් සීයා සහ ආච්චි ආහාරයට ගනියි. මුණුබුරා ද එයට  එලෙසම  හවුල් වෙති . "ඉංග‍්‍රීසි අකුරු තුනේ බුරියානි එක පංකාදුයි" කියා  ආච්චි සීයාට පවසයි. "චිකන් බුරියානි චිකන් වැඩ කෝටියයි" යනුවෙන් පවසමින් ජවනිකාව අවසන් වෙයි. (https://www.youtube.com/watch?v=Q_m9kEIYIs0)

දේශිය සම්ප‍්‍රදායන් යොදා ගනිමින් (ජාතික අඳුම, ඔසරිය, මගුල් බෙර වාදනය) අප බෙහෙවින් ගරු කරන වැඩිහිටි පරපුර ද යොදා ගෙන පාරිභෝගිකයා මුලාවට ලක් කිරීමක් මෙහිදී සිදු වෙයි. ශී‍්‍ර ලංකාවේ ආච්චි සීයා චිකන් බුරියානි කනවාට වඩා කොස්, දෙල්, අල, බතල ආහාරයට ගැනීමට මහත් රුචියක් දක්වයි. බොහෝ දුරට ඔවුන් වයසින් මුහුකුරා යද්දී බණට දහමට සිත ලැදි කර ගනිමින් නිර්මාංශික වෙයි. නමුත් මෙමගින් අප වෙත ගෙන එන ජනප‍්‍රිය සංස්කෘතිය වනුයේ ආච්චි සීයා ගමේ සිට මුනුබුරා බැලීමට පැමිණි විට රසකාරක අඩංගු චිකන් බුරියානි කෑමට ලබා දිය යුතු බව නොවෙ ද...නමුත් මෙහිදී පේ‍්‍රක්ෂකයා බුද්ධිමය සංවාදයකට නොගොස් භාවමය සංවාදයක නිරත වෙයි. ඒ හරහා ඔහු ද වෙළද දැන්වීම් මගින් මවන  KFC  සංස්කෘතියට යොමු වෙයි.

  • තවත් වෙළද දැන්වීමක් වෙත අවධානය යොමු කිරීමේ දී ක්‍ෂණික ආහාරයක් ලෙස සැලකෙන  KFC මෙම වෙළඳ දැන්වීම තුළ දී ආරම්භයේදීම රගර් කී‍්‍රඩකයින් පිරිසක් එක් වී ආහරයට ගනු ලබන ආකාරය පෙන්වයි. රගර් ලොව ජනප‍්‍රිය කී‍්‍රඩාවක් වුව ද මෙරට තවමත් ජනප‍්‍රිය වෙමින් පවතින කී‍්‍රඩාවකී. ශක්තිය වැය වන ක‍්‍රීඩාවක දී  KFC උචිත ආහාරයක් බව මෙයින් පෙන්වීමට උත්සහ දරනු ලබයි. එමෙන්ම මෙමගින් නව සංස්කෘතියක් බිහි කිරීම දක්නට ලැබෙයි. කී‍්‍රඩාවක් හෝ වෙනත් කටයුත්තක් අවසානයේ  KFC වෙළඳ සැලකින් ආහාර ලබා ගැනීමට යැම යි. එමෙන්ම පවුලක විවේකී අවස්ථාවක දී පිරිස එක් වී විවේකයෙන් කාලය ගෙවීමට මෙන්ම ආහාර වේලක් ලබා ගැනීමට  KFC සුදුසු බව පෙන්වයි. පවුලක් එක් වී ආහාර ගනු ලබන දර්ශන, කුඩා දරුවන් පිරිසක් අයිස් කී‍්‍රම් ආහාරයට ගනිමින් සතුටුවන දර්ශන මගින් එය පෙන්වයි. එවැනි සංස්කෘතියක් මෙරට තුළ නොමැත. එවැන්නක් පවතිනුයේ නාගරික ප‍්‍රදේශවල වුව ද සීමා සහිතවය. නමුත් මෙමගින් එවැනි සංස්කෘතියක් ඇති කිරීමට හා ව්‍යාප්ත කිරීමට උත්සහ ගනී. එමෙන්ම මෙහිදී තරුණ ගැහැණු හා පිරිමි ළමුන් පිරිසක් එකට එක්වී  KFC නිවසට ගෙන්වා ගෙන කි‍්‍රකට් තරගයක් නරඹන දර්ශනයක් පෙන්වයි. මෙරට තුළ එවන් සංස්කෘතියක් හෝ සිරිතක් නොපැවතියමුත් මෙමගින් එවන් සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට තරුණ පිරිස තුළ උත්තේජනයක් ඇති කරනු ලබයි. මෙහිදී මනාල යුවලක් මංගල රථයේ යන අතරතුර  KFC ආහාරයට ගනු ලබන ආකාරය හා පෙම්වතුන් යුවලක්  KFC වෙළඳ සැලක් තුළ සතුටින් ආහාර ගනු ලබන ආකාරය පෙන්වයි. මෙරට තුළ විවාහයේ දී  එවන් ආහාර ආහාරයට නොගනී. විවාහය යනු මෙරට තුළ වෙනමම සංස්කෘතියක් මෙන්ම සිරිත් විරිත් රැසක් සහිත සුභ කටයුත්තකී. එසේ වුවද මෙමගින් එවැනි අවස්ථාවක වුව ද භාවිතයට ගත හැකි ආහාරයක් ලෙස  KFC පෙන්වයි. කැවුම් කිරිබත් ආදී ආහාර වලින් සපිරුණු විවාහ මංගල්‍යයට වෙනමම නව සංස්කෘතියක් මෙමගින් ගොඩනැගීමට උත්සහ දරන බව පෙන්වාදිය හැකිය. පෙම්වතුන්ගේ දර්ශනය මගින් ද සිදු කරනුයේ පෙම්වතුන්ගේ හමුවීමට කාලය ගත කිරීමට සුදුසු ස්ථානය  KFC බවයි. පේ‍්‍රමය පිළිබඳව සෘණාත්මක ආකල්ප අදහස් ඇති මෙරට සමාජය තුළ නව සංස්කෘතියක් පේ‍්‍රමය වටා ගොඩනැගීමට මෙයින් උත්සහ ගනී.   (https://www.youtube.com/watch?v=9wCV_fyuvKs)
වර්තමානය වනවිට සමාජයේ සෑම අංශයක් කෙරෙහිම ජනප‍්‍රිය සංස්කෘතිය හිතකර සහ අහිතකර ලෙස බලපෑම් කෙරෙන අතර  ජනප‍්‍රිය සංස්කෘතියකින් තොරව කිසිදු සමාජ සාධකයක් විචාරය කිරීමට  නොහැකි තත්ත්වයට පත්ව ඇත. ආර්ථිකය, කලාව, දේශපාලනය, ආගම, අධ්‍යාපනය ආදී සෑම ක්ෂේත‍්‍රයක් තුළම  ජනප‍්‍රිය සංස්කෘතිය සිය අණසක පතුරුවා ඇතැයි පැවසීම නිවැරදිය. වර්තමානයේ ජනප‍්‍රිය සංස්කෘතිය සීමාව ඉක්මවා සමාජයට බලපෑම් සිදු කරන්නේ මානව  ක‍්‍රියාකාරිත්වය පදනම් කරගෙනය. ජනප‍්‍රිය සංස්කෘතිය විලාසිතාවක් බවත් ඒ පිළිබඳව සීමාව ඉක්මවා අවධානය යොමු කිරීමක් ද දැකගත හැකිය. ජනප‍්‍රිය සංස්කෘතිය තුළ පවත්නා සියල්ල ඒ ආකාරයෙන් භාර ගැනීම කළ යුතු යැයි හෝ අපේ සියලු  සමාජ  ක‍්‍රියාකාරකම් ජනප‍්‍රිය සංස්කෘතිය පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක කළ යුතුය යන නිගමනය  පිළිගත  නොහැකිය. කුමන  හෝ සංස්කෘතියක් ක‍්‍රියාත්මක වන්නේ මානව චින්තනය හා මානව  ක‍්‍රියාකාරකම් පදනම් කර ගැනීම තුළ බැවින් මානවයාගේ වගකීම වන්නේ යහ සමාජයක් ගොඩනැඟීම සඳහා ඒ ඒ සංස්කෘතීන් මුවහත් කිරීමය. එහෙත් අවාසනාවකට මෙන් ජනප‍්‍රිය සංස්කෘතිය කෙරෙහි අනවශ්‍ය අවධානයක්, සීමාරහිත අවධානයක් යොමුවීම නිසා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එයට අප අයත් විය යුතු බවය. එයින් ගම්‍ය වන්නේ මානවයාට මානව ක‍්‍රියාකාරකම් පාලනය කරගත නොහැකි බවයි.

මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය කරන්නේ මානවයාය. එසේනම් මාධ්‍ය සංස්කෘතියේ නිර්මාණකරු ද මානවයා බව පැහැදිලිය.  KFC ආයතනය එයට කදිම නිදසුනකි. පවතින සංස්කෘතිකාංග තුළට නව අංග එක් කරමින් ජනප‍්‍රිය සංස්කෘතියක් නිර්මාණය කොට මාධ්‍ය හරහා පාරිභොගික ජනතාව ආකර්ෂණය කර ගනිමින් ලාභ අපේක්ෂාවන් ඉටු කර ගනියි. නමුත් KFC මගින් ජනප‍්‍රිය සංස්කෘතියක් නිර්මාණය කළ ද ඒ තුළ පවතින මුසාවාදිත බව පිළිබඳ මෙන්ම එම ආහාර ආහාරයට ගැනීමේ දී ශරීර සෞඛ්‍ය පළිබඳව ද අවධානය යොමු කළ යුතුය.

සැබෑ යථාර්තය පිළිබඳව ට ගවේෂණය කරන්නේ නම් වඩාත් ස්වාධීන, අදින, නිරවුල් ඇසකින්  විද්‍යාත්මකව හා  නිවැරදි පදනමක් යටතේ ලෝකය අවලෝකනය කළ හැකිය. එනිසා නව සංකල්ප බිහි වන තරමට මෙම  සංකල්ප අන්ධානුකරණයෙන් වැළඳ ගැනීම නො නොකළ යුත්තක. වඩාත් කාලීන විධිමත් මිනුම් දඬු ඇසුරු කරගනිමින් නව සංකල්ප විචාරයකට ලක්විය යුතු කාලය එලඹී ඇතැයි මා හැඟි අදහසයි.

--චාමලී වනිගසිංහ--



No comments:

Post a Comment